ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ, එහෙත් මෑතකදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පුහුණු සංචිතයකට කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියන්ජන්, සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා කැඳවා ඇති අතර, ඔවුන්ට 2017 වසරෙන් පසු මේ දක්වා කිසිඳු ජාත්‍යන්තර තරගයක් ක්රීඩාකීමට අවස්ථාවක් ලැබී නැත.
එමෙන්ම ප්‍රභාත් ජයසූරිය, ළහිරු ගමගේ හා මාලින්ද පුෂ්පකුමාරද එම සංචිතයට ඇතුළත් බව වාර්ථා වන අතර, ඔවුන්ද අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2018 වසරේදීය. මීට අමතරව ඇන්ජෙලෝ පෙරේරා, මිලින්ද සිරිවර්ධන, රොෂේන් සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ළහිරු මධුෂංකද පුහුණු සංචිතයට නම්කර ඇති වුවත්, ඔවුන්ට අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ 2019 වසරේදීය.
ඒ අනුව ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය එළඹෙන ඉන්දීය තරගාවලියේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් මේ වනවිට කොළඹ ප්‍රධාන හෝටලක ජෛව ආරක්ෂිත බුබුලක සිටින බව වාර්තා වේ.
කෙසේ වෙවත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරය වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඇති වූ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමේ ගැටළුව තවමත් නොවිසඳී ඇති හෙයින්, එය ඉන්දීය තරගාවලියේදීද ඇතිවුවහොත් ඊට ආරක්ෂිත පියවරක් ලෙස ඉහත ක්‍රීඩකයන් සංචිත ගතකර ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ඉන්දියාව සමඟින් පැවැත්වෙන විස්සයි20 හෝ එක්දින තරගාවලියට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් හෝ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් හෝ කැඳවනවාද යන්න පිළිබඳ මේ වනතෙක් සඳහනක් නොමැත.
ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ජූලි 13, 16, 18 දිනවලදීද, විස්සයි20 තරග ජූලි 21, 23, 25 දිනවලදීද පැවැත්වේ. මෙම සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.