සංචාරක ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම පරාජය කර දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (16දා) සමත් විය.මෙම ජයත් සමග තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. මෙම තරගාවලිය කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 20කට සීමාව පැවැත්විණි. ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 195ක් රැස්කිරීමට සමත් විය. ඉන්දීය ඉනිම ගොඩනැගූ අජේ රෙඩ්ඩි ලකුණු (66) හා සුනිල් රමේෂ් (නොදැවී 59) අර්ධ ශතක ගොඩනැගූ අතර, දුර්ගා රාවෝ ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 17.2 වැනි පන්දුවාරයේදී කඩුලු 03ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර යෑමට සමත් විය.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ කොළඹගේ අජිත් සිල්වා (පූර්ණ දෘශ්‍යාබාධිත /B1) පන්දු 50කට මුහුණදෙමින් නොදැවී ලකුණු 90ක් රැස්කළේය. ඔහුට අමතරව සහන් කුමාර (පූර්ණ දෘශ්‍යාබාධිත/ B1) පන්දු 43කට මුහුණදෙමින් නොදැවී ලකුණු 70ක් ලබාගත්හ. අජිත් හා සහන් සිවුවැනි කඩුල්ලට ලකුණු 153ක නොබිදුණු සබඳතාවක් ගොඩනැගූ අතර, මෙය දෘශ්‍යාබාධිත තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සබඳතාව ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්විය. මෙහිදී ඉන්දියාව වෙනුවෙන් දීපක් මලික් එක් කඩුල්ලක් (1/38) බිඳළීමට සමත් විය. තරගයේ වීරයා ලෙස කොළඹගේ අජිත් සිල්වා සම්මාන දිනාගත්තේය.
දෙරට අතර පෙරේදා පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 02ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, අවසන් එක්දින තරගය හෙට (17දා) පැවැත්වේ.
ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර ක්‍රිකට් තරග ආරම්භ වූයේ 1998 වසරේදී පැවැති දෘශ්‍යාබාධිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ සිටය. එතැන් සිට වසර ගණනාවක් ලෝක කුසලාන තරගාවලිහිදී දෙරට තරග වැදුනද, ඒ සෑම අවස්ථාවකදීම ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය විය. එමෙන්ම ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන පළමු අවසස්ථාවද මෙය වේ. ඒ අනුව ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු තරගාවලි ජය මෙය වේ. දෘශ්‍යාබාධිත තරග ආකෘතිය අනුව එක්දින තරගයක එක් කණ්ඩායමකට පන්දුවාර 40ක් හිමිවේ.
සංජීව ධර්මසේන/ ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු