හොංකොංහි පැවැති 03 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, ඒ අනුව රටවල් 19ක් අතරින් ආසියාවේ 14 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. සෙන් කවාන් ඔ ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා (15 – 17) පැවැති මෙම තරගාවලිය ඊයේ (17දා) අවසන් විය.
මෙහිදී රිදී පදක්කමක් දිනාගැනීමට මීටර 400 ඉසව්ව නියෝජනය කළ මොරටුව ශා. සෙබස්තියන් විදුහලේ ඩබ්.එම්. නවිශ්ක සංදේශ් සමත් විය. තරගය අවසන් කිරීම සඳහා නවිශ්ක තත්.48.26ක කාලයක් වාර්තා කළ අතර, එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලයද විය.
නවිශ්කට වඩා දශම 09ක් (තත්.48.17) ඉදිරියෙන් සිටි ඉන්දියාවේ අබ්දුල් රසාක් මෙහි රන් පදක්කම දිනාගත්තේය. ලෝකඩ පදක්කම කසකස්තානයේ යෙෆිම් ටරාස්සෝව් (තත්. 48.59) විසින් දිනාගත්තේය.
ශ්‍රී ලංකාව දිනූ අනෙක් රිදී පදක්කම මිශ්‍ර සහාය දිවීම ඉසව්වෙන් හිමිවිය. මී.100, මී.200, මී.300 හා මී.400 ලෙස අදියර 04ක් යටතේ මෙම ඉසව්ව පැවැත්වේ. මේ සඳහා බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හිරුෂ හෂෙන් (මීටර 100), හලාවත ශාන්ත මරියා විදුහලේ මිලින්ද පෙරේරා (මීටර 200), මතුගම ආනන්ද ශාස්ත්රාලයේ ඉසුරු අබේවර්ධන (මීටර 300) හා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ඩබ්.එම්. නවිශ්ක සංදේශ් (මීටර 400) සහභාගි වූහ.
මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව(වි. 1.54.04) දිනාගත් අතර, ලෝකඩ පදක්කම චීනයට (වි. 1.55.45) හිමිවිය.
ශ්‍රී ලංකාව දිනූ එකම ලෝකඩ පදක්කමට හිමිකම් කීමට මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ අමීෂා පියුමන්ති සමත් වූවාය. අමීෂාට තරගය අවසන් කිරීම සඳහා විනාඩි 1.32.42ක කාලයක් ගත වූ අතර, එහි රන් පදක්කම තායිලන්තයේ අරිසා වෙරුවනාරක්ද (වි. 1.00.68), රිදී පදක්කම චීන තායිපේ යන්ග් ජුයි හුවාන් (වි. 1.00.68)ද දිනාගත්තාය.
මීට අමතරව පදක්කම් දිනාගත නොහැකි වුවත්, ඉහළ දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන්ට හැකි වූහ. එහිදී කාන්තා මීටර 800 ඉසව්වට සහභාගි වූ ගම්පහ සිරිකුරුස විදුහලේ ශානිකා ලක්ෂානි එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත් අතර උසපැනීම කාන්තා ඉසව්වට සහභාගි වූ ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහලේ ඉෂාරා පල්ලේගමද මීටර 1.65ක දක්ෂතාවක් දක්වමින් සිව්වැනි ස්ථානය දිනාගත්තාය.
මීට අමතරව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩසන් සිය පෞද්ගලික හොඳම කාලය (තත්. 24.98) වාර්තා කරමින් එම ඉසව්වේ 05 වැනි ස්ථානය දිනා ගත්තේය.
දෙවසරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් වරට (2017දී) තායිලන්තයේදී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ආසියාවේ 17 වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.
කෙසේ නමුත් මෙහි ආරම්භක තරගාවලිය වන 2015 වසරේ කටාර් දේශයේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් දිනා රටවල් 26ක් අතරින් 11 වැනි ස්ථානය හිමිවිය.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සමග නිලධාරින් තිදෙනෙකු සහභාගි වූහ.