ශ්රී ලංකා රග්බි කණ්ඩායමේ එළඹෙන ආසියානු රග්බි ශූරතාවේ නායකත්වයට ඔමල්ක ගුණරත්න පත්කර තිබේ. කොළඹ ඉසිපතන විදුහලේ ආදි සිසුවෙකු වන ඔමල්ක එම විදුහලේ නායකයා ලෙසින් ක්රියාකර ඇති අතර, වර්තමානයේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම නියෝජනය කරයි. ඔමල්ක මීට පෙර ශ්රී ලංකා යොවුන් (20 න් පහළ) කණ්ඩායමේ උපනායකයා ලෙසින්ද ක්රියා කළේය.
මීට පෙර ශ්රී ලංකා කණ්ඩායමේ මැලේසියානු පුහුණු රග්බි තරගාවලියේ නායකයා ලෙසින්ද ඔමල්ක ක්රියා කළේ, එම තරගාවලියේ නායකත්වයට පත්කර සිටි රොෂාන් වීරරත්න පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙනි. තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා සංචිතය මේ වන විට එළි දක්වා ඇති අතර, සී.ආර්. කණ්ඩායමේ කවිඳු පෙරේරා හා හැව්ලොක් කණ්ඩායමේ ජේසන් මෙල්ඩර්ට උපනායකත්ව හිමිවී තිබේ.
තරග දෙකකින් යුතු ආසියානු රග්බි ශූරතාවේ ශ්රී ලංකාව සහභාගි වන පළමු තරගය එලඹෙන මැයි 29 වැනිදා පිලිපීනයට එරෙහිව පැවැත්වේ. එම තරගයේ ප්රතිඵලය අනුව දෙවැනි තරගය ජූනි පළමුවැනිදා මුහුණදෙන කණ්ඩායම තීරණය වේ.
ක්රීඩකයන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම
ඔමල්ක ගුණරත්න (නායක), ජේසන් මෙල්ඩර් (උපනායක), කවිඳු පෙරේරා (උපනායක), රොෂාන් වීරරත්න, සජිත් සාරංග, ප්රසාද් මධුෂංක, තිළිණ විජේසිංහ, උමේෂ් මධුෂාන්, නිවංක ප්රසාද්, මිතුන් හපුගොඩ, තීක්ෂණ දසනායක, සචිත් සිල්වා, බුද්ධිම පියරතන, ලසිදු ඉෂාන්, ගිහාන් පෙරේරා, උචිත ජයසූරිය, චාල්ස් ප්රවීන්, තිලිණ බණ්ඩාර, ප්රභාත් කුමාර, සැමුවෙල් මධුවන්ත, රීසා රෆයිඩීන්, දිනුක් අමරසිංහ, සුධාරක දික්කුඹුර, කසුන් ද සිල්වා, යාකූබ් අලි, අශාන් බණ්ඩාර