පාපන්දු උන්මාදී දකුණු ඇමරිකාව අවසන් මොහොතේදී ලෝක කුසලානයේ බේරා ගැනීමේ වගකීම සියතට ගැනීමට ලයනල් මෙසී ප්රමුඛ ආර්ජන්ටිනාව සමත්වූහ.
ඒ් නෙදර්ලන්තය පරදා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති දෙවැනි තරගයෙන් දඩුවම් පහර 4-3ක තියුනු ජයක් හිමිකර ගනිමිනි. කෙසේ වෙතත් තරගය නියමිත කාළයේ මෙන්ම අතිරේක කාළය අවසානයේ නිමා වූයේ ගෝල 2-2 ක් ලෙස සමතත්වයෙන් යුතුවයි.
මෙම තරගය ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ පළමු අර්ධයේ 35 වැනි මිනිත්තුවේදී පසුපෙළ ක්‍රීඩක නවුවෙල් මොලීනා ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ අතර පළමු අර්ධය නිමාවේදී ආර්ජන්ටිනාව ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
දෙවැනි අර්ධයේ 73 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහරක් සාර්ථකව ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යැවීමට ලයනල් මෙසී සමත්වූයේ ආර්ජන්ටිනාවට ජයග්‍රහණයට ආසන්න කරමිනි
නමුත් තරගයේ 78 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත ඉදිරිපෙළ ක්‍රීඩක මෙම්පිස් ඩිපායි වෙනුවට පැමිණි වොට් වෙග්හෝර්ස්ට් තරගය කණපිට හැරවීම ආරම්භ කලේ 83 වැනි මිනිත්තුවේදී වාර්තා කළ ගෝලයත් සමගිනි.
තරගයේ අවසන් මිනිත්තුව දක්වාම ජයග්‍රහණයේ සිටි ආර්ජන්ටිනාවෙන් ජයග්‍රහණය පමාකළ වෙග්හෝර්ස්ට් අවසන් මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහර ගෝලයක් බවට පරිවර්තනය කරමින් අතිරේක කාළය දක්වාම තරගය රැගෙන ගියේය.
ඒහිදීද කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වූ බැවින් තරගයේ ජයග්‍රහණය දඩුවම් පහර මගින් තෝරා ගැනීමට විනිසුරුවන් ක්‍රියාකලේය. එහිදී ආර්ජන්ටිනා දැල් රකින ක්‍රීඩක එමිලියානෝ මාටිනස්ගේ දක්ෂ දැල් රැකීම නිසා ආර්ජන්ටිනාව දඩුවම් පහර 4-3 ක් ලෙස තරගයේ ජය හිමිකර ගත්තේය.
වත්මන් දකුනු ඇමරිකානු පාපන්දු ශූරයින්ද වන ආර්ජන්ටිනාව ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට පිවිසියේ හයවැනි වතාවටයි.