තමන් ඇතුළු කණ්ඩායමට පාකිස්ථානයේ අත්දැකීම් අඩුවුවත් කලක් පාකිස්තාන කණ්ඩායමේද පුහුණුකරු ලෙස ක්‍රියා කළ මිකී ආතර් සිය කණ්ඩායමට එක්වීම කණ්ඩායමේ ආත්ම ශක්තිය වැඩි කරවන්නක් බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවැසීය.
හෙට ආරම්භවීමට නියමිත ටෙස්ට් තරාගවලිය සම්බන්ධයෙන් පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මම ඇතුළු කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයින් පාකිස්ථානයේදී ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ පළමු වතාවටයි. මේක වේග පන්දු වන්නන්ට හොඳ තණතීරුවක්. නමුත් පාකිස්ථානු කණ්ඩායම පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරය හොදින් සිදු කළේ නෑ. අපිට තරගාවලියට පොඩි සැලසුමක් තිබෙනවා. නිවැරදි දේ නිවැරදි අවස්ථාවේ කළ යුතුයි.
ඒ වගේම පාකිස්ථානු කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන මිකී ආතර් දැන් අපේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුයි ඔහු පාකිස්ථානු කණ්ඩායම ගැන හොඳින් දන්නවා. මම හිතන්නේ ඒක අපිට හොඳ දෙයක් වෙයි. අපිට ඒක ලොකු ආත්ම ශක්තියක් වෙයි.
අපි හෙට දිනයේදී හොදින් ක්‍රීඩා කරල ඒක ඊළඟ දවසට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කණ්ඩායම ගත්තොත්, තිරිමාන්න, චන්දිමාල්, ඇන්ජලෝ මම වගේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා. නමුත් පාකිස්ථානු කණ්ඩායම ගත්තත් ඔවුන්ගේ රටේදි හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්.”
පාකිස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද තමන්ට ලොකු විශ්වාසයක් ඇති බව දිමුත් අවධාරණය කලේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට ක්‍රීඩාංගණය අවට 2500 කින් පමණ සමන්විත යුද හමුදා හා පොලිස් නිළධාරීන් පිරිසක් යෙදවීමට පාකිස්තාන රජය තීරණය කොට ඇති බව පාකිස්ථාන ක්‍රිකට් ප්‍රකාශකයෙකු පැවසීය. එමෙන්ම ක්‍රිකට් කණ්ඩායම ගමන් කරන කාලයේදී අදාළ මාර්ග වසා දැමීමටද පාකිස්ථාන ආරක්ෂක අංශ ක්‍රියා කොට ඇත.