ශ්‍රී ලංකා රජය සහ මෙරට සෞඛ්‍ය අංශ මගින් අවසර ලබා දෙනුයේ නම් පාපන්දු ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කළ හැකි බවත්, එහෙත් ජාත්‍යන්තර තරග පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක පාපන්දු සම්මේලනය (FIFA) මෙතෙක් කිසිවක් දැනුම් දී නොමැති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා 'අද' ට පැවසීය.
එමෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මේ වනවිට කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු අනෙකුත් සාමාජිකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදුන් බවත්, පාපන්දු සම්මේලනය මගින් තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.
“ අපිට මේ වනවිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක ප්‍රතිපාදන ලබාදීලා තියෙනවා. එහෙත් අපිට ඒවා වෙන වැඩවලට යොදවන්න අවසර නැහැ. ඒනිසා එම නිර්නායක අනුව අපි ඒ මුදල් කෝවිඩ් - 19 හේතුවෙන් පීඩාවට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු අනෙකුත් සාමාජිකයින් සඳහා ලබාදුන්නා. එහෙත් අපිට ඒ මුදල් ප්‍රමාණවත් නැහැ. එබැවින් අපි තවත් ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලලා ෆිෆා එකට ලිව්වා. මේ වනවිට වැරදි මතයක් යනවා අපිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඩොලර් ලක්ෂ 05ක මුදල් ප්‍රතිපාදන ලැබුණා කියලා. මම ඒක නිවැරදි කළ යුතුයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් පාපන්දු දියුණුවට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 05ක මුදල් ප්‍රතිපාදන අපට ලබා දෙනවා. ඒ ලැබෙන්නේ විවිධ නිර්නායක මත වරකට ඩොලර් 50,000 බැගින්. අපට නිර්නායක 10ක් තිබෙනවා සපුරාලන්න. ඒ සමස්ත ඩොලර් ලක්ෂ 05ක මුදල් ලැබෙන්න නම්.” යැයි පාපන්දු සභාපතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය.
“අපි ආරම්භ කරපු කෝවිඩ් -19 සහන සැලසීමේ ව්‍යාපෘතියෙන් මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග් තරගාවලි, පාපන්දු සමාජ, ක්‍රීඩකයන්, තරග විනිසුරුවන්, පුහුණුකරුවන් වගේම ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් සහ හිටපු විනිසුරුවන් සඳහා වියදම් කරනවා.
ඒ අනුව පළමු පියවර යටතේ මුදල් නිකුත් කිරීම මෙම මස 12 හෝ 13 දින සහ දෙවැනි පියවර යටතේ මුදල් නිකුත් කිරීම මෙම මස අග හෝ ජුනි මස මුල සිදු කරනවා” යැයි සභාපති අනුර ද සිල්වා මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.
ජාතික කණ්ඩායමේ පුහුණුවීම් සම්බන්ධයෙන් සභාපතිවරයා දැක්වූයේ මෙවැනි අදහසකි.
“අපට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තවමත් දැනුම් දීලා නැහැ තරග කාල සටහන සම්බන්ධයෙන්. ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරග අපට තිබෙනවා. අනෙක් කාරණය ක්‍රීඩකයන් සංචාරයක් ගොස් පැමිණියාම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුයි. ඒනිසා ඒ පිළිබඳවත් අපේ අවධානය යොමුව තිබෙනවා. ඒ කෙසේ වෙතත් රජය සහ මෙරට සෞඛ්‍ය අංශ අවසර දෙනවා නම් අපිට ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කළ හැකියි. ඒ පිළිබඳවත් අපි සොයා බලනවා.” යැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.