ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 'විස්සයි20 ලෝක කුසලාන' ක්‍රිකට් තරගාවලියේ අතිශය තීරණාත්මක අදියරට මේ වනවිට ළඟා වී තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන සටනේ අවසන් මහා තරගයට පළමුවෙන්ම දොරටුව විවර කර ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය හා පාකිස්තානය අතර සිඩ්නිහිදී අද (09දා) දින ප.ව. 1.30ට පැවැත්වේ.
සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ ශූරයන් ලෙසින් නවසීලන්තය මෙම තරගයට සුදුසුකම් ලබාගත් අතර, ඔවුන් සත්කාරක ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාව හා අයර්ලන්තය පරාජය කර මෙම අවස්ථාව උදා කර ගත්තේය. එහිදී ඔවුන් එංගලන්තය හමුවේ පමණක් පරාජය විය.
කෙසේ නමුත් ආසියානු අනුශූරයන් වූ පාකිස්තානයට සුපිරි 12 වටයේදී ඉන්දියාව හා සිම්බාබ්වේ හමුවේද පරාජය වීමට සිදුවිය. ඒ අනුව ඔවුන් මෙම අවස්ථාව උදාකර ගෙන සිටින්නේ, දකුණු අප්‍රිකාව නෙදර්ලන්තය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයේ ප්‍රතිඵලය මතය. දෙවැනි කාණ්ඩයේ අනුශූරයන් වූ පාකිස්තානය විසින් දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය හා බංග්ලාදේශය පරාජය කළේය.
වැඩි ගෞරව පාකිස්තානයට
නවසීලන්තය හා පාකිස්තානය විස්සයි20 තරග බිමේ මේ දක්වා (2007 - 2022) අවස්ථා තරග 28කදී තරග වැදී ඇති අතර, ඉන් වැඩි ගෞරව හිමිකර ගෙන සිටින්නේ පාකිස්තානයයි. ඔවුන් තරග 17ක්ම ජයගෙන ඇති අතර, නවසීලන්තය ජයගෙන ඇත්තේ තරග 11ක් පමණි.
එමෙන්ම ඉහත තරග 28න් අවස්ථා 13කදී එකිනෙකා හමු වී ඇත්තේ, පාකිස්තානය හෝ නවසීලන්තය සත්කාරක්වය නොදැරූ ස්ථානයකදී වන අතර, ඉන්ද තරග 10ක්ම ජයගෙන පාකිස්තානය ඉදිරියෙන් සිටියි. එහිදීද නවසීලන්තය ජයගෙන ඇත්තේ තරග 03ක් පමණි.
විශේෂයෙන් 2016 වසරෙන් පසු පාකිස්තානයේ හෝ නවසීලන්තයේ නොවන ක්‍රීඩාංගණයකදී අවස්ථා 04කදී එකිනෙකා තරග වැදී ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම ජයගෙන ඇත්තේ, පාකිස්තානයයි.
මෙහිදී නවසීලන්තයට ඇති එකම ගෞරවය නම්, ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරගය (ඔක්. 14) පමණක් ජයගෙන තිබීම පමණි. කෙසේ නමුත් මෙම කණ්ඩායම් දෙක ඔස්ට්‍රේලියාවේදී එකිනෙකා හා තරග වදින පළමු අවස්ථාව මෙයයි.
නවසීලන්තය සහ පාකිස්තානය වි20 හා එක්දින තරග බිමේ අවසන් පූර්ව වටයකදී හමුවන 06වැනි අවස්ථාවද මෙය වේ. ඉන් පාකිස්තානය තෙවතාවක්ද, නවසීලන්තය දෙවතාවක්ද ජයගෙන ඇත.
කණ්ඩායම් දෙකේ ශක්තීන්
නවසීලන්තයේ ප්‍රධානම ශක්තීන් වන්නේ, ඔවුන්ගේ ඉදිරිපෙළ පිතිකරුවන් සහ දඟපන්දු යවන්නන්ය. එහිදී ග්ලෙන් පිලිප්ස් (ත-4, ල-195) පිතිකරුවෙකු ලෙසත්, මිචෙල් සැනට්නර් (ත-4, ක-8) පන්දු යවන්නෙකු ලෙසත් සාර්ථක වී සිටියි.
කෙසේ නමුත් පාකිස්තානයේ තරග ජයග්රහණයන්ට වැඩි දායකත්වයක් ලැබී ඇත්තේ, ඔවුන්ගේ මැදපෙළ මෙන්ම පසුපෙළ පිතිකරුවන් හා ශහීන් අෆ්රිඩි ප්රමුඛ වේගපන්දු බලඇණියේ වැඩි දායකත්වය නිසාය.
කාසියේ වාසියේ බලපෑම
තරගය පැවැත්වෙන සිඩ්නි ක්‍රීඩාංගණයේ මෙවර ලෝක කුසලානයේ තරග 06ක් පවත්වා ඇති අතර, ඉන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම අවස්ථා 05කදීම ජයගෙන ඇත. මෙහි එකම සාර්ථක හඹා යාම වූයේ, ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 142ක ඉලක්කය එංගලන්තය සම්පූර්ණ කර ගැනීම පමණි.
ශ්‍රී ලංකාව හැරෙන්න මෙහි ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය (ඔස්.,200/3), දකුණු අප්‍රිකාව (බංග්., 205/5), ඉන්දියාව (නෙදර්., 179/2), නවසීලන්තය (ශ්‍රී ලං., 167/7) හා පාකිස්තානය (ද.අ., 189/9) ලකුණු 160 සීමාවද පසුකර ඇත.
මෙහිදී දෙවනුව පන්දුවට පහරදෙන කණ්ඩායම් පවර්ප්ලේ අවස්ථාවේදී ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගත්තද, ලකුණු හඹායෑම අපහසු වී ඇත. සෑම තරගයක්ම ඒ ඒ කණ්ඩායම් ජයගෙන ඇත්තේද ලකුණු 50කට වැඩි පරතරයකිනි. ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය සිය තරගය ජය ගත්තේද පන්දු 02ක් පමණක් ඉතිරිව තිබියදීය. ඒ අනුව මෙම තරගයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනු ඇත.
සිඩ්නි තණතීරුව
දඟපන්දු යවන්නන්ට සාපේක්ෂව සිඩ්නි තණතීරුවේ වැඩි සාර්ථකත්වයක් අත් කරගෙන සිටින්නේ, වේගපන්දු යවන්නන්ය. කඩුලු 30කට වේගපන්දු යවන්නන් හිමිකම් කියන අතර, දඟපන්දු යවන්නන් දවාගෙන ඇත්තේ, කඩුලු 22ක් පමණි.
කණ්ඩායම්
නවසීලන්තය - ෆින් ඇලන්, ඩෙවන් කොන්වේ, කේන් විලියම්සන් (නායක), ග්ලේප් පිලිප්ස්, ඩැරි්ල් මිචෙල්, ජේම්ස් නීෂාම්, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති, ඉෂ් සෝදි, ලොකී ෆර්ගසන්, ට්‍රෙන්ට් බෝල්ට්
පාකිස්ථානය - මොහොමඩ් රිස්වාන්, බාබර් අසාම් (නායක), මොහොමඩ් හැරිස්, ෂාන් මසූඩ්, ඉෆ්තිකාර් අහ්මඩ්, මොහොමඩ් නවාස්, ෂදාබ් ඛාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, හැරිස් රාවුෆ්, ෂාහින් ෂා අෆ්රිඩි