ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඇති කරගත් එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පරිපාලන කමිටුවක් (Manegement committee) සතියක් ඇතුළතදී පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා මේ වනවිට මාස 02ක් ඉක්ම ගොස් තිබියදීද එම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත්ව සිටියි.
ක්‍රිකට් පරිපාලනය සඳහා මෙම කමිටුව පත් කරන බව අමාත්‍යවරයා පවසා සිටියේ, පසුගිය සැප්තැම්බර් මස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානීන් හමුවීමත් සමගිනි. මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ සඳහා වන ගැසට් පත්‍රයේ ප්‍රමාදයක් පවතින බවකි.
කෙසේ වෙතත් මේ වනවිට ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුව පත් කිරීමට දින යොදා ඇති අතර, ඒ සඳහා වන විශේෂ මහා සභා රැස්වීම ලබන මස 12 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
පත්කිරීමට යෝජිත පරිපාලන කමිටුවේ සභාපති ධුරය සඳහා මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයේ දැවැන්තයන් කිහිපදෙනෙකුගේම නම් යෝජනාවී ඇතත්, පසුව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ, එහි සභාපති ධුරයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කරන බවයි.
සාමාජිකයන් 05 දෙනෙකුගෙන් යුත් පරිපාලන කමිටුවට ක්‍රිකට් ආයතන නිසි බලධාරියා වන ක්‍රීඩා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒ.එම්.ඩබ්ලිව්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමන්ත රාජපක්ෂ, හයිඩ්රාමනි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තියඩෝර් ගුණසේකර සහ ටැමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කළ ඩිනාල් පිලිප්ස් යන නිලධාරීන් ඇතුළත්ව තිබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවද අනාවරණය වේ.
කෙසේ වෙතත් පරිපාලන කමිටුවේ අනෙකුත් සාමාජිකයා සඳහා තවමත් නම් නිර්දේශ කර නොමැති බව වාර්තා වන අතර, පිළිගත් නීති වෘත්තිකයෙක්ද මෙම කමිටුවට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබුණි. එහෙත් තවමත් මෙම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත්ව සිටියි.