ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුනේදී අසාර්ථක වීම පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බවත්, ඉදිරියේදී කණ්ඩායමට උපරිම දායකත්වය ලබාදෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.මැතිව්ස් සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය. මැතිව්ස්, ලීඩ්ස්හිදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී අනගි ඉනිමක් ක්‍රීඩා කරමින්, නොදැවී ලකුණු 85ක් රැස්කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවෙකු බවට පත්විය. ශ්‍රී ලංකාව එම තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීය. මෙහිදී ඔහු මෙසේ අදහස් දැක්වීය.
පළමු තරග තුනේදී ඔබ අසාර්ථක වීම කණ්ඩායමේ පසු බෑමට විශාල බලපෑමක් කළා නේද?
මම එම තරග තුනේදී හොඳින් ක්‍රීඩා කළේ නැහැ. ක්‍රීඩකයෙක් හැටියට මම එය පිළිගන්න ඕනේ. එම තරග තුන්දීම මම අසාර්ථක වුණා. පළමු තරග දෙකේදී පන්දු දහයකට අඩුවෙන් දැවී ගියා. පළමු තරග තුනේදී පිතිකරු අංශයෙන් පසුබෑමකට ලක්වීම පිළිබඳව අපි සියලු දෙනාම බොහොම කනගාටු වෙනවා. මම ඇතුළු මැඳ පෙළ පිතිකරුවන් එම තරග තුනේදීම අසාර්ථක වුණා. තරග දෙකත් පරාජය වෙන්න ප්‍රධානතම හේතුව වුණේ ඒකයි.
පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. හොඳ ආරම්භයත් සමග මැද පෙළ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළොත් ඉදිරියට යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. පිතිකරුවෙක් ලකුණු 20ක් 25ක් ලබාගත්තම ලොකු ඉනිමකට යන්න ඕනේ. හැම වෙලාවෙම ලකුණු ගහන්න බැහැ. එහෙම දවසට කණ්ඩායම ගොඩ යන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් රැස් කරන්න ඕනේ. ඉදිරි තරගවලදී උපරිමයෙන් එය කරන්න බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත කඩා වැටීමට හේතුව හැටියට ඔබ දකින්නේ කුමක්ද?
අපි මූලිකවම කරන්න ඕනේ ක්‍රීඩකයන්ට අඛණ්ඩව අවස්ථාව දීලා බැලීම. පසුගිය කාලේ ඒ සමහර දේවල් වුණේ නැහැ. නමුත් අපිට ක්‍රීඩකයන් වශයෙන් ඒ දේවල් පාලනය කරන්න බෑ. ගොඩක් රටවල් වසර හතරක් පහක් එක දිගට ක්‍රීඩා කරපු කණ්ඩායම් ඉන්නේ. අපේ අවාසනාවට මෑතකදී නොවෙයි, කලින් ඒ දේවල් වුණේ නැහැ. අපි පසුගිය දේවල් කතා කරලා වැඩක් නැහැ. දැන් ඒ දේවල් ගිහිල්ලා අවසන්.
නායකයාට පුහුණුකරු සහ තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කරන්න දීලා ක්‍රීඩකයන් විදිහට අපි කළ යුත්තේ ලැබෙන අවස්ථාවේදී කණ්ඩායමට උපරිම දීම පමණයි. ක්‍රීඩකයන් වශයෙන් කළ හැක්කේ ඒ ලැබෙන සෑම අවස්ථාවකදීම හොඳින් ක්‍රීඩා කිරීම පමණයි. බාහිර දේවල් ගැන වැඩිය හිතන්නෙ නැතුව, ඒවට ඔළුව යොමු නොකර ක්‍රීඩකයන් වශයෙන් අපි උපරිම කරන්න ඕනේ.
අපි තරගයේ මැදට ගිහිල්ලා කණ්ඩායම කොහොමද ගොඩදාන්නෙ කියලා බලන්න ඕනේ. පන්දු යවන්නන් පස්දෙනාගෙන් සියලුදෙනා එක දවසේ හොඳට කරන්නෙ නැහැ. ඒ වගේම පිතිකරුවන් හත්දෙනා හෝ හයදෙනා එකම දවසෙ හොඳට කරන්නේ නැහැ. ඒ ගහන දවසට කණ්ඩායම ජයග්‍රහණය දක්වා ගෙනියන්න ඕන කියලා මම විශ්වාස කරනවා.
බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගාවලියේ පෙරළිකාරයන් බවට පත්ව සිටිනවා.
ඒ සාර්ථකත්වයට හේතුව හැටියට ඔබ දකින්නෙ මොකක්ද?
බංග්ලාදේශ කණ්ඩායම කිසිදු අවස්ථාවක සැහැල්ලුවට ගන්න බැහැ. මොකද බංග්ලාදේශයේ එකම කණ්ඩායම වසර 10ක් පමණ එක දිගට ක්‍රීඩා කළා. මාත් සමග වයස 19න් පහළ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හත් අට දෙනෙක්ම මේ බංග්ලාදේශ කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒ සියලු දෙනාම දැන් වසර 10ක් පමණ එකට ක්‍රීඩා කරනවා. එහෙම ක්‍රීඩා කළාම ඔවුන් පරිණත වෙලා මොනම හෝ අවස්ථාවක ඒ පරිණතභාවය ප්‍රදර්ශනය කරනවා.
අවසන් වසර දෙක තුනේදී බංග්ලාදේශ කණ්ඩායම සෑහෙන්න ඒ පරිණත බව ප්‍රදර්ශනය කළා. ඔවුන් එකට දිගින් දිගටම ක්‍රීඩා කළා. එය තමයි ෙමම පෙනෙන රහස සහ වෙනස.
ඔබේ පාසල් මිත්‍රයා වන දිමුත් කරුණාරත්නගේ සාර්ථකත්වය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?
දිමුත් නායකයා මෙන්ම පිතිකරුවකු ලෙසත් ඉතාමත් හොඳට ක්‍රීඩා කරනවා. ඔහු කණ්ඩායමට අවශ්‍ය ආරම්භය අරන් දුන්නා. අවාසනාවට මැද පිතිකරුවන්ට ඔහුට අවශ්‍ය සහයෝගය දෙන්න බැරි වුණා.
අපි කවුරුත් අසාර්ථක වෙන්න මැදට යන්නේ නැහැ. අපි උපරිම වෙර දරනවා කණ්ඩායමට අවශ්‍ය දේ කරන්න. අවාසනාවකට ඒ තරග තුනේදීම එය කරන්න බැරි වුණා. ඉදිරි තරගවලදී එය අනෙක් පැත්තට හරවලා පුළුවන් උපරිම සහයෝගය දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
යොහාන් භාසුර (එංගලන්තයේ ලීඩ්ස්හි සිට)