තම කණ්ඩායම හැමවිටම උත්සාහ කරනුයේ වැරදි අඩුවෙන් කර තරග ජයග්‍රහණය කිරීමට බවත් පළමු පන්දුවාර 10 තුළ අඩුවෙන් කඩුලු ලබාදී ලකුණු රැස්කරන්න හැකිනම් තම ඉලක්කයට යෑමට හැකි බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පැවසීය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට පෙර ඊයේ (16දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ශානක,
"අපි හැම තරගයේදීම උත්සාහ කරන්නේ වැරදි අඩුවෙන් කරන්නයි. අපි මොනම වෙලාවකවත් උඩපන්දු අතහරින්න බලාගෙන තරගයකට යන්නේ නැහැ. ඒවගේම අපිට ස්ථිර පිතිකරණ ලැයිස්තුවක් අවශ්‍යයි. විශේෂයෙන්ම අපේ දඟ පන්දු යවන්නන් දෙදෙනා අද තරගයේදී ඔවුන්ගේ කාර්යය ඉටු කරාවි කියලා අපි විශ්වාසයෙන් පසුවෙනවා* යැයිද පවසා සිටියේය.
පසුගිය තරගවල උසස්වීමක් ලබමින් පිතිකරණයේ යෙදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු මෙසේ පවසා සිටියේය.
"කණ්ඩායමේ අවශ්‍යතාව මත තමයි මම ඉහළින් ඇවිත් පිතිකරණයේ යෙදුණේ. කණ්ඩායමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මම ලෑස්තියි ඉහළින් ඇවිත් පිතිකරණයේ යෙදෙන්න. මම දේශීයව පැවති පසුගිය තරගාවලි කිහිපයේම දක්ෂතා අතර හිටියා. විශේෂයෙන්ම පන්දුවාර 50, සිවුදින තරග වගේම විස්සයි20 තරගවලත් මම ලකුණු අතර හිටියා. මම හිතනවා මගෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩි පන්දුවාර සංඛ්‍යාවක් පිතිකරණයේ යෙදීම බව. මම කඩුල්ලේ හිටියොත් කණ්ඩායමට ලකුණු එනවා වැඩියි. ඉතින් මගෙන් බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායම ඒ භූමිකාවයි."
මෙහිදී එළඹෙන ලෝක කුසලානයට පන්දු යවන්නන්ගේ සූදානම පිළිබඳ කරුණු දැක්වූ ශානක,
"මම හැම පුහුණු සැසියකටම සහභාගි වෙනවා. ඇත්තටම දැන් අපි දන්නවා අපේ දඟපන්දු යවන්නන් දෙදෙනෙක් සෙල්ලම් කරනවා, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන්. ප්‍රධාන වශයෙන් අපි පන්දු යවන්නන් පස්දෙනාගෙන් තමයි යැපෙන්න බලන්නේ. ඒ වගේම මමත් ධනංජය ද සිල්වාත් ඕනෑම අවස්ථාවක පන්දු යවන්න සූදානමින් ඉන්නේ. අපිට විදෙස් රටවල ක්‍රීඩා කරන්න ගියාම අපිට වේග පන්දු යවන්නන් අවශ්‍යයි. ඉතින් ඕනෑම වෙලාවක මම පන්දු යවන්න සූදානමින් ඉන්නේ" යැයිද පවසා සිටියේය.
"ඒ වගේම අපි හොඳ ආරම්භයක් ලබාගත්තොත් අපිට ඒක දිගටම අරගෙන යන්න පුළුවන්. අපිට පහුගිය කාලේ හොඳ ආරම්භයක් නොලැබුණු නිසා තමයි තරග පැරදුණේ. මම හිතන විදිහට ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. පසුගිය කාලේ තරග ගත්තාම අපි දිනලා තියෙන්නේ මුල් පන්දුවාර 10 තුළ අඩුවෙන් කඩුලු ලබාදීලයි. මම හිතනවා අපිට පළමුවැනි පන්දුවාර 10 තුළ අඩුවෙන් කඩුලු ලබාදී ලකුණු රැස් කරන්න පුළුවන්නම් අපේ ඉලක්කයට යන්න පුළුවන්" යැයි තරග පරාජයවීම පිළිබඳ ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.
එංගලන්ත කණ්ඩායමේ නවක වේගපන්දු යවන්නා වන ඔලී ස්ටෝන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශානක,
"අපි ඔහුගේ පන්දු යැවීම මීට පෙර දැකලා තිබුණේ නැහැ. නමුක් පසුගිය දවස් කිහිපයේම අපි ඔහුගේ පන්දු යැවීම අධ්‍යයනය කළා. අපිට ඔහුගේ පන්දු යැවීම ගැන දැන් අවබෝධයක් තිබෙනවා. අපි ඒකට හොඳින් සූදානම් වෙලා ඉන්නවා.
මට ක්‍රීඩා කරද්දි ලොකු පීඩනයක් නැහැ. එහෙත් අපි බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රතිවාදීන් හොඳට පන්දු යවාවි කියලා. මගේ මූලික බලාපොරොත්තුව පළමු පන්දු 10,20 ක්‍රීඩා කරන එකයි. එතැනින් පස්සෙ මම දන්නවා කොහොමද ඉනිම ගොඩනගන්නේ කියලා. මම දන්නවා දැන් කණ්ඩායම මගෙන් දිගු ඉනිමක් බලාපොරොත්තු වෙනවා කියලා" යැයි පැවසීය