ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය තරග පහම අමතක කර නව මනසකින් එංගලන්තයට එරෙහිව ලීඩ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ අද (21දා) පැවැත්වෙන තරගයට පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ (20දා) පස්වරුවේ පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ දිමුත් කරුණාරත්න මෙසේ පැවසීය.
“අපිට තියෙන්නේ මනස හදාගන්නයි. තරග ජය ගන්න නම් හොඳ මානසික තත්ත්වයකට යන්න ඕනේ. අපි දැන් සූදානම් වෙන්නේ පැවැති සියලුම තරග අමතක කරලා මෙම තරගයට අලුත්ම තරගයක් ලෙස එන්නයි. අපි කණ්ඩායමක් විදිහට කතා කරලා සැලසුම් සකස් කරලා තියෙන්නේ.
අපිට මැද පෙළ වෙනසක් කරන්න හැකියාවක් නෑ. ඉන්නේ ඔය පිතිකරුවන් තමයි. ඔවුන්ට වෙලා තියෙන්නේ පසුගිය තරග තුනේදීම සාර්ථක වීමට නොහැකි වීමයි. ඔවුන්ට කියලා තියෙන්නේ අලුත් විදියට හිතන්න කියලයි. අපේ මැද පෙළ සාර්ථක නොවුණොත් අපිට ලකුණු 300ක් වගේ විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම අපහසු වෙනවා.
අපි ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම පරාජය කළා. එම ශ්‍රී ලංකා කණ්ඩායමේ පොඩි වෙනස්කම් පමණයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා ඉදිරි තරග ජය ගෙන අවසන් පූර්ව වටයට ඒමේ හැකියාව ඇති බවට.
අවසන් 11 තවම තීරණය කරලා නෑ. හෙට තණතීරුවේ තත්ත්වය මතයි කණ්ඩායම තීරණය කරන්නේ. තණතීරුව හොඳ වුණොත් අවිෂ්ක ප්‍රනාන්දුට අවස්ථාවක් ලැබෙයි. දඟපන්දු යවන්නන් දෙන්නෙක් ක්‍රීඩා කරනවාද, එසේ නැත්නම් අතිරේක පිතිකරුවකු යොදා ගන්නවද කියලා තවම තීරණය කර නැහැ.
එංගලන්ත පිතිකරු ලැයිස්තුව ගොඩක් ප්‍රබලයි. ඒ නිසා අපි ඔවුන්ව ලකුණු 300කට අඩුවෙන් තියන්න තමයි සැලසුම් කරන්නේ. එංගලන්ත සියලුම පිතිකරුවන් භයානකයි. අපි සියලුම පිතිකරුවන් වගේම පන්දු යවන්නන් ගැනත් අවදානය යොමු කළා”
(යොහාන් භාසුර, ලීඩ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ සිට)