තරග පරාජයන් පිළිබඳ කිසිවෙකුටත් ඇඟිල්ල දිගු කළ නොහැකි බවත්, තවමත් තම කණ්ඩායමට තත්ත්වය පාලනය කරගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙන බවත් ශ්රී ලංකා නායක දසුන් ශානක පැවසීය. නවසීලන්තය සමගින් පෙරේදා (29දා) පැවැති තරගයේ පරාජයෙන් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, අතීත වැරදි අමතක කර නැවත එක්වීම මේ අවස්ථාවේදී සිදුකළ යුතු බවත්ය. එමෙන්ම ක්රීඩකයන් බහුලව ආබාධයන්ට ගොදුරු වීම පිළිබඳව පරීක්ෂා කර බැලීම සිදුකළ යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
"මම හිතන්නේ (තරග පරාජය) හැකියාවෙවත්, මානසිකත්වයෙවත් ප්රශ්නයක් නෙමෙයි. එදා දවසේ ක්රීඩා කරන විදිහයි. අපි ඇතිවෙන්න මේ තත්ත්වයන් වල ක්රීඩා කරල තියෙනවා. භානුකයි, චාමිකයි වගේම භානුකයි මායි හොඳ සම්බන්ධතාවලට යන්න උත්සාහ කළා. නමුත් භානුකගේ දැවීයාමත් එක්ක අපිට තිබ්බ අවස්ථාවන් ගොඩක් අඩු වුණා"
මෙහිදී නවසීලන්තය සමග පැවැති තරගය පිළිබඳවද අවධාරණය කළ ශානක පැවසුවේ, උඩපන්දු අතහැරීම එම තරගයේ තීරණය ශ්රී ලංකාවට අවාසිදායක වීමට මූලික වශයෙන් බලපෑ බවයි. තරගය අතරතුරදී පැතුම් නිශ්ශංකගේ අතින් තරගයේ තීරණයට වැදගත් වූ උඩපන්දුවක් අතහැරීම පිළිබඳවද ඔහු අදහස් දැක්වීය.
"පැතුම් දක්ෂ පන්දු රකින්නෙක්, ඔහු මීට කලින් උඩපන්දු අතඇරල තිබ්බේ නෑ. ඒ වගේම වනිඳුට මීට පෙර තරගයේදී එතරම් හොඳින් පන්දු යවන්න හැකි වුණේ නෑ. ඒ නිසා ඔහුට යම් පීඩනයක් තිබ්බා. නමුත් අනෙක් ක්රීඩකයන්ට ප්රශ්නයක් තිබ්බෙ නෑ. වැදගත් වෙන්නේ එතැනින් එහාට නිවැරදිව තරගයට අවතීර්ණ වීමයි. අපිට ඔවුන්ව 130-140 ප්රමාණයකට තබාගන්න තිබ්බා. නමුත් අපේ පිතිකරණයත් හොඳ වුණේ නෑ" යැයි හෙතෙම එහිදී පැවසීය.
මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී ශ්රී ලංකාව තවත් තරග ද්විත්වයකට සහභාගි වීමට නියමිතය. එහිදී ඔවුන් ප්රබල එංගලන්තය හා ඇෆ්ගනිස්තානය සමගින් තරග වැදීමට නියමිතය. මෙම තරග දෙකම ජයග්රහණය කළහොත් ශ්රී ලංකාවට තවමත් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් ඇත.