සංචාරක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට (25දා) ඩකා හිදී පැවැත්වේ. දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 33කින් ජයගත් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති. තවදුරටත් තරගාවලියේ රුදි සිටින්නටනම් හෙට පැවැත්වෙන තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.
පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ඇතුළත් නොවූ අකිල ධනංජය හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. තරගාවලිය ආරම්භයේ දී අප සඳහන් කර සිටියේ අකිල සහ වනිදු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු සුසංයෝගය විය යුතු බවයි. එහෙත් පළමු තරගයේ දී එම සුසංයෝගය දැකගැනීමට නොහැකි විණි.
අකිල වෙනුවට කැදවූ ලක්ෂාන් සඳකැන් සිය පන්දුවාර 10 අවසානයේ ලකුණු 55ට එක් කඩුල්ලක් දවාගත්තද, තරගය පුරාවටම ඔහුගෙන් පිතිකරුවන්ට පීඩනයක් එල්ල නොවුණි. විශේෂයෙන්ම ලක්ෂාන් ඉදිරියේ බංග්ලාදේශ පිතිකරුවන්ට අවදානමක් රුගෙන පන්දුවට පහරදීමට කිසිම අවස්ථාවක අවශ්‍ය නොවුණි.
ඒ ලක්ෂාන් සෑම විටම පාහේ පිතිකරුවන්ට ඉතා පහසුවෙන් ලකුණු රුස් කළ හැකි පන්දු ලබාදීමයි. ලක්ෂාන් කාළයක් තිස්සේ මෙම ගැටලුවට මුහුන දෙමින් සිටියි. එහෙයින් හෙට (25දා) පැවැත්වෙන තරගයට අකිල කැදවීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය.
විශේෂයෙන්ම වනිදුගෙන් කඩුලු බලාපොරොත්තු වන්නේනම් අනිත් අන්තයෙන් පන්දු යවන්නා ද පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ යුතුය. ඒ සඳහා මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුදුසුම පන්දු යවන්නා අකිලය. එපමණක් නොව තරගාවලිය ආරම්භයට පෙර අප සඳහන් කළ පරිදි අකිල කණ්ඩායමට අවශ්‍ය මොහොතේ දී කඩුලු දවාගන්නා පන්දු යවන්නෙක් බැවින් ඔහු කණ්ඩායමේ සිටිය යුතුය.
පළමු තරගයට ක්‍රීඩා කළ පිතිකරණ සංයුතිය හෙට (25දා) පැවැත්වෙන තරගයට ද නම්කළ යුතු බවද අප විශ්වාස කරන්නෙමු. විශේෂයෙන් මීළඟ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් කණ්ඩායම නිර්මාණය කරගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින්ට තව තවත් අවස්ථාව ලබාදිය යුතුය.
කෙසේ වෙතත් පළමු තරගයට ක්‍රීඩා කළ තරුණ පිතිකරුවන් එම තරගයේ දී අමතර පීඩනයක් සහිතව පන්දුවට පහරදුන් ආකාරයක් දැකගත හැකිවිණි. විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් පිටියේ ස්ථාවරවීමට වැයකළ පන්දු සංඛ්‍යාව වැඩිය.
කුසල් යනු එතරම් පීඩනයක් සහිතව පන්දුවට පහරදිය යුතු ක්‍රීඩකයෙකු නොවේ. කුසල් බංග්ලාදේශ තරග සංචාරයට සහභාගී වන්නේ කණ්ඩායමේ උප නායකයා ලෙසය. එහෙයින් ඔහු මෙම තරගාවලියේ තරග තුනම ක්‍රීඩා කරනු ඇත.
එබැවින් කුසල්, කුසල් ගැනම විශ්වාසය තබා පන්දුවට පහරදිය යුතුය. එහෙත් අපට පෙනෙන්නට තිබෙන්නේ කුසල් කුමන හෝ කාරණයක් නිසා පීඩනයක් සහිතව පන්දුවට පහර දෙන බවයි. ඉන් පැහැදිලි වන්නේ තේරීම් කමිටුවට තවමත් කුසල් මෙන්ඩිස්ට ඔහුගේ විශ්වාසය ලබාදීමට හැකියාවක් ලැබී නොමැති බවයි.
එක් තරගයකින් සියල්ල වෙනස් නොවන නිසා අප මේ තරුණ ක්‍රීඩකයින් දෙස ඉවසීමෙන් බලා සිටිය යුතු වුවත් ඔවුන්ගේ විශ්වාසය ගොඩ ගැනීමට කණ්ඩායම් කළමණාකාරිත්වයේ වගකීමකි. කුසල් මෙන්ඩිස් පමණක් නොව සෙසු තරුණ ක්‍රීඩකයින්ගේ ද විශ්වාසය වැඩි කළ යුතුව තිබේ. පළමු තරගයේ පන්දු රුකීමේ දී අප දුටු විශ්වාසය පන්දුවට පහරදීමේ දී දැකගන්නට නොලැබීම ගැටලුවකි.
හෙට (25දා) පැවැත්වෙන දෙවැනි තරගයේ දී ද නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් හිමිවන බවක් මෙම සටහන තබන මොහොතවන විටත් පෙනෙන්නට නොතිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව සහ ශ්‍රී ලංකා තේරීම් කමිටුව එක්ව සිදුකළ වර්ග කිරීමට අනුව කාන්ඩ තුනේම කොන්ත්‍රාත්තුව හිමිවූ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙකු වන දික්වැල්ලට එක්දින කණ්ඩායමේ අවසන් 11 දෙනා අතර ස්ථානයක් හිමිනොවන්නේ ඇයිද යන්න සිතා ගැනීමට නොහැකිය.
කණ්ඩායම සමබර කිරීම සඳහා ඕනෑම ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවිය හැකිවුවද වාර්ෂික කොන්ත්‍රාත්තුවේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින දික්වැල්ල අවසන් 11 දෙනා අතරට ඇතුළත් නොවීමට කොන්ත්‍රාත්ගත කිරීමේ දී හෝ එක්දින කණ්ඩායමේ අවසන් 11 දෙනා නම් කිරීමේ දී හෝ කොතැනක හෝ යම් අතපසුවීමක් සිදුව තිබෙන බවක් නම් පෙනෙන්නට තිබේ.