Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...
සීලය ජීවිතයට ආභරණයකි. සීලයෙන් තොර තැනැත්තා ජීවත් වූයේද මළ තැනැත්තෙකු හා සමානය. සිල් බිඳ දමා කටයුතු කරන්නට ඕනෑම කෙනෙකුට හැකිමුත් සිල් රැකීම නුවණැති වීර්යවන්තයෙකුට පමණක් කළ හැකි දෙයකි. ශික්ෂාපද ලෙස සුරකින සීලය යනු කය, වචන දෙකේ සංවරයයි. ඒ කය, වචන දෙක සංවර කරගැනීමට නම්, මානසික සංවරය අත්‍යවශ්‍යය. ඒ නිසා මානසික සංවරයෙන් තොරව, කිසිම සීලයක් රැකිය නොහැකිය. සීලය බොහෝ ආනිසංස ගෙනවිත් දෙන දෙයකි.
සිල්වත් තැනැත්තාට විපිළිසර බවක් නැත. මානසික පසුතැවීම් හෝ දුකෙන් තමා කළ කී දෑ සිහි කරන්නට වන්නේ දුසිලුන්ටය. නමුත් තම පැවැත්ම තමන්ම තමන්ට දොස් නොකියන්නක් නම්, යහපත් පැවැත්ම ඇති ඒ තැනැත්තා සිතේ විපිළිසර බවක් නැතිව වාසය කරයි. ඔබේ සිතේ සිල් බිඳහෙළීම් ආදී අකුසල් හා රහස් වැඩී නම්, ඔබ සුවසේ වාසය කරන්නෙක් නොවේ. ඔබට බිය තැති ගැනීම හා ඇතැම් තැන්වලට පිවිසෙන්නට බිය හෙවත් විසාරද බවක් නැතිකම බොහෝවිට සීලය නැති වීමෙන් ඇති වේ. ලෝකයා ඔබව පිළිකුල් කරයි. පෙනෙන්නට නොකළද රහසින් හෝ ඔබව පිළිකුල් කරයි. ඒ දුසිල් බවේ ප්රතිවිපාකය. සීලය යම් කෙනෙකු තුළ ඇත්නම් ඔහුට,
1. මහත් වූ භෝගස්කන්ධ ලැබීම,
2. කල්‍යාණ කීර්තිශබ්ද නැගීම,
3. පිරිස් කරා විසාරදව එළැඹීම,
4. සිහි මුලා නොවී කාලක්‍රියා කිරීම,
5. මරණින් මතු දෙව්ලෝ උපදීම
ආදී ආනිසංස ලැබිය හැකිය. සිල්වතාට තමාට තමා පිළිබඳව සතුටු විය හැකිය. ආත්ම තෘප්තියෙන් මානසික වෙහෙසක් නැතිව කටයුතු කළ හැකි වේ. අතීතයේ ඇතැම් උපාසකයන් තම දිවි දෙවැනි කොට සිල් රැක්කේ ඒ නිසාමය. කැලයට දැව පිණිස ගිය එක් උපාසක මහත්මයෙක් එක්වරක් පිඹුරෙක් විසින් වෙළා ගන්නා ලදී. උපාසකතුමාට තම අත් පොරවෙන් පිඹුරාට හානිකොට බේරිය හැකිවූ නමුදු, එසේ කළේද නැත. අත්පොරව ඈතට වීසි කළේ පිඹුරාට හානි කිරීමට සිතුවත්, එය කළ නොහැකි පරිද්දෙනි. ඔහු තම සීලයම සිහි කරමින් සිත් පහදවාම සිටියේය. ඒ සීලානුභාවයෙන් පිඹුරාට උපාසකතුමාව රත්වූ යකඩයක් වෙලා ගත්තාක් මෙන් දැනෙන්නට වීය. එකෙනෙහි පිඹුරා එතුමාව අත්හැර ඉවත් වීය. මේ සීලයේ, මේ ජීවිතය තුළම ලද හැකි ආනිසංසය. සිල් රකින්නාට පවතින ආත්ම තෘප්තිය වෙනත් දෙයකින් ලබාගත නොහැකිමය. සීලය ඒ තරම් සැනසිලිදායක දෙයකි. එසේම එය මේ සාසනයේ වැදගත්ම අංගයයි. හිරුගේ උදාවට පෙර පහළ වන අරුණෝදය මෙන් මේ සාසනයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිරීමට පෙරටුව පෙනෙන්නේද සීලයයි. ඒ නිසා බෞද්ධයෙකුට සීල ප්‍රතිපදාව ඉතාම වැදගත්ය.
සීලය වැටක් නම් ඒ වැටට වටිනාකමක් ලැබෙනුයේ ඉන් සුරකිනා දේ අනුවය. ඒ නිසාම කෙනෙක් පුරනා සීලය අර්ථ පූර්ණ වන්නේ ඔහුගේ දර්ශනය අනුවය. නිගන්ඨ නාථයනුත් එකල සතුන් නොමැරීම ආදී දුශ්චරිත අනුමත නොකළහ. නමුත් ඒ සීලය සීලබ්බත පරාමාසයක් වූවා විනා, සීලයක් වූයේ නැත. එසේ නම් සීලය වැදගත් වනුයේ එයට අනුරූප දර්ශනය තිබූ කලය. බෞද්ධයෙක් රකින සීලයේ හා අබෞද්ධයෙක් රකින සීලයේ වෙනස ඇත්තේ එතැනය. බෞද්ධයා සීලය රකින්නේ සීලයෙන් විමුක්තිය ලැබේයැයි සලකා හෝ සිල් රැකිවිට තව කෙනෙකු තමා විනිශ්චය කොට සුගතියට පමුණවන නිසා නොවේ. ඔහු සීලය තුළින් නිරවද්‍ය දිවි පැවැත්ම බලාපොරොත්තු වේ. ඒ පැවැත්ම සමාධියට උපකාර බව හේ දනී. නිවැරදිව ගොඩනැගුන සමාධිය ඇති තැනැත්තාට ඇත්ත ඇති සැටිය දැනගත හැකිය. එසේ දැනගෙන මිදීම හෙවත්, නිර්වාණය අවබෝධ කළ හැකි බව බෞද්ධයා හොඳින් දනී. ඒ නිසාම සීලයට තම ජීවිතය හා සමානකමක් නිවැරදි බෞද්ධයා ලබාදෙයි. සීල, සමාධි, ප්‍රඥා යනු අප ශික්ෂණය ලබන ගමන් මගයි.
කෙනෙක් එය ප්‍රඥා, සීල, සමාධි ලෙස නිවැරදි විය යුතු යැයිද අදහස් කරයි. එයට හේතු ලෙස ඔවුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්මා දිට්ඨියෙන් ආරම්භව, සමාධියෙන් අවසන් වීම දක්වයි. දුතිය සීල සූත්‍රය ආදිය විමසන කල, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පහළ වීමට පූර්ව නිමිත්ත ලෙස සීලය දක්වයි. ඒ අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව ආදී අංගයන්ගෙන් කතා කෙරෙන ලෝකෝත්තර අර්ථය, ශික්ෂාපද ලෙස රකින සීලයේ නොදත යුතුය.
ඒ නිසා සීලය ලෝකෝත්තර සම්මා දිට්ඨියට පෙර පවතින්නකි. ඒ නිසා මේ සාසනයේ කෘත්‍ය ආරම්භ වන්නේ සීලයෙනි. සීලයට පෙරටු වන්නේ සුතමය ඤාණයයි. සුතමය ඤාණය ලෝකෝත්තර සම්මා දිට්ඨිය හා පටලවා නොගත යුතුය. අසා මග දැනගත් තැනැත්තා ක්‍රියාත්මක වනුයේ සීල, සමාධි, ප්‍රඥා යන පිළිවෙළටය. සුතමය ඤාණයද ප්‍රඥාවම යැයි ගෙන තර්ක කළහොත් ඔවුන්ට ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්මා සමාධියෙන් අවසන් නොකොට, සම්මා ඤාණ, සම්මා විමුක්ති අංග දෙකත් ඇතිව කතා කරන්නට වෙයි. එවිට සමස්තය ප්‍රඥා, සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් වේ. ඒ අනුව ප්‍රතිපදාව ක්‍රියාත්මක වීම සීල, සමාධි, ප්‍රඥා අනුවම වන බව විමසන්නෙකුට වඩාත් පැහැදිලි වේ. එය ලෞකිකත්වයෙන් ආරම්භව, එය ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයට පත්වන මගයි. එසේ නම් අප යායුතු මගේ පළමු තැන සීලයට හිමි වේ.
සීලය පස් වැදෑරුම්ව සාකච්ඡා කළ හැකිය.
1. පරියන්තපාරිසුද්ධ සීල
2. අපරියන්තපාරිසුද්ධ සීල
3. පරිපුණ්ණපාරිසුද්ධ සීල
4. අපරාමට්ඨපාරිසුද්ධ සීල
5. පටිපස්සද්ධිපාරිසුද්ධ සීල
ශික්ෂාපද පර්යන්තයක් ඇති සීලය පරියන්තපාරිසුද්ධ සීලයයි. එනම් පන්සිල්, අටසිල් ආදී සීලයයි. එහිදී සිල් පද ගණනක් ඇත. ඒ ගණනින් සීමා ඇති සීලය එනමින් හැඳින්වේ.
එසේ වූ පර්යන්තයක් නැති උපසම්පදා සීලය අපරියන්තපාරිසුද්ධ සීලයයි. කෝටියක් සංවර ශීලය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේද එයයි. ඒ සීලය සාමාන්‍ය තැනැත්තන් රැක්ක නොහැකි, පුරුදු කළ වැඩූ සිත් ඇති උත්තමයන් විසින්ම රැක්ක යුතු සීලයකි.
පෘථග්ජන කල්‍යාණ මිත්‍රයන් විසින් හා සෝවාන් ආදී මාර්ගඵල ලාභීන් විසින් ජීවිත පර්යන්තව, පරිපූර්ණව අත්නොහැර රකින සීලය පරිපුණ්ණපාරිසුද්ධ සීලයයි.
ආර්යන්ගේ සීලය අපරාමට්ඨපාරිසුද්ධ සීලයයි. අනෙක් පුද්ගලයන් සීලය තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය කළ හැකිය. ඒ හේතුවෙන් දුගතියකට වුවද යා හැකිය. ඒරකපත්ත නා රජුගේ කතාව ඔබ අසා ඇති. මරණ මොහොතේ සීලය පරාමර්ශනය කළ නිසාම අහේතුක ආත්මභාවයකට පත්වන්නට උන්වහන්සේට සිදුවිය. ඒ ආකාරයේ පරාමර්ශනයක් මාර්ගඵල ලාභී (ශෛක්ෂ) උතුමන්ට නැත. ඒ නිසාම උන්වහන්සේලාගේ සීලය අපරාමට්ඨපාරිසුද්ධ සීලයකි.
රහතන් වහන්සේලාගේ, පසේ බුදුරජාණන් වහන්සේලාගේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සීලය පටිප්පස්සද්ධිපාරිසුද්ධ සීලයයි.
රහතුන්ට සිල් නැතැයි ඇතැම් ලබ්ධිකයන් නගන තර්කයකි. පටිප්පස්සද්ධිපාරිසුද්ධ සීලය කුමක්දැයි ඔවුන් විමසා නැති සේය. රහත්හු භාවිත සිත මෙන්ම, භාවිත සිල් ඇත්තාහුය. එසෙයින් රකින්නට දෙයක් උන්වහන්සේලාට නැත. උන්වහන්සේලාගේ ජීවිතයම සීලයය. යම් යම් කෙලේසයක් හේතු කරගෙන සීලය බිඳේ නම්, ඒ කෙලේසය උන්වහන්සේලාට නැත. ඒ නිසාම සිල් බිඳීමක් උන්වහන්සේලා සතුව නැත. සචිත්තකව හෙවත් චේතනාන්විතව සුලු හෝ සිල් පදයක් කැඩීම රහතන් වහන්සේලා සිදු නොකරති. අවාසනාවකට වගා කරගෙන ජීවත් වෙන, විනය ප්‍රතික්ෂේප කරන, රහතුන් ලෙස පෙනී සිටිනා පිරිසක්ද අද බිහිවී තිබීමය. බුදුරජාණන් වහන්සේ පැනවූ සික පදයක් දැන දැන ජීවිතය හේතුවෙන්වත් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් නොකඩති. රහතන් වහන්සේ ගැන කවර කතාවක්ද?
පරිපුණ්ණපාරිසුද්ධ සීල හා අපරාමට්ඨපාරිසුද්ධ යන කරුණු දෙක ඉතාමත් වැදගත්ය. පර්යන්ත හා අපර්යන්ත සීලයද මේ කරුණු දෙකට බැහෑලිය හැකිය. පරිපූර්ණ ලෙස සීලයක් පාරිශුද්ධ වන්නේ එයට අදාළ දර්ශනය සම්පූර්ණ වන කලය. දර්ශනයකින් යුතුව සිල්වත් වන තැනැත්තා, අමාරුවෙන් සිල් පදය රකිනු වෙනුවට සීලය කැඩීමට ඇති හේතුව සොයා ඒ හේතුව දුරු කරලයි. 'යෙ සංඛො අහං සංයොජනානං හෙතු පාණාතිපාතී අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො', යම් හේතුවක් මුල්කොට කෙනෙක් සතෙක් මරයි නම්, ඒ හේතුව දුරු කිරීම සතුන් නොමරා ඉඳීමට ඇති වැදගත්ම ක්රමවේදයකි. පාණාතිපාතාවට හෙවත් සතුන් මැරීමට ඇති හේතුව විමසන්නෙකුට, තමන් තම සිතෙහි පවත්නා ද්වේශය නිසා සතුන් මරණ බව තේරුම් ගත හැකිය. එනම් පටිඝසංයෝජනයයි. රූපය අමනාප රූපයක් වනවිට ඔබේ සිතේ පටිඝසංයෝජනය ඇති වේ.
තමා අමනාප දේ ඉවත් කිරීමට බොහෝදෙනා විවිධාකාර ක්‍රම අනුගමනය කරති. ධර්මය නොඇසූ පුහුදුන් තැනැත්තෙකු ගැටීම් සහිත අරමුණු නැති කිරීමට දන්නා එකම ක්‍රමය නම් භෞතික දේ වෙනස් කිරීම පමණකි. මදුරුවෙක් කනවිට ධර්මාවබෝධයක් නැති තැනැත්තා එය වැළැක්වීමට දන්නා ක්‍රමය නම් මදුරුවා මරා දැමීමය. එයට හේතු වූ පටිඝ සිත හෝ පටිඝ සිතට අරමුණු වූ දේ ගැන අවබෝධ කිරීමට විවේක බුද්ධියක් ඔහුට නැත. දර්ශනයකින් තොරව සිල්වත් වන තැනැත්තෙක් නම්, ඒ ප්රස්තුතයේදී අපහසුවෙන් නමුත් මදුරුවා එලවීමට උත්සහ දරයි. අපහසුවෙන්, සීලය නිසා ඔහු ඉවසයි. නමුත් දර්ශනයකින් යුතු තැනැත්තා සංයෝජනය පිළිබඳව අවධානය යොමු කරයි. තරහ සිතක් තමන්ට ඇති වූයේ තම අනවබෝධය මත බව, එවිට ඔහුට තේරුම් ගත හැකිය.
ගහක පුංචි කටුවක් ඔබට ඇනුණවිට, ඔබ ඒ කටුව තැලීමට උත්සහ ගන්නේ නැත. ඒ එය සතෙක් නොවන බවට ඔබ සිතන නිසාවෙනි. නමුත් ඒ ඔබටම, මදුරුවෙකුගේ තුඩක් ඉවසිය නොහේ. ප්‍රධාන හේතුව රූපය වේදනාව ආදිය පිළිබඳව ඔබ සිතන ආත්ම සංඥාවයි. ඔබට තරහ පවත්වන්නට හේතු වූයේ මදුරුවා යන තැන රූපය නොව, ඔබේ සන්තානගත එහි මදුරුවෙක් ජීවත් වන බවට ඇති වැරදි සංකල්පයයි. එය ඔබ තේරුම් ගත්තේ නම් මදුරුවා මරණු වෙනුවට, ඔබ ආත්ම සංකල්පය නැති කිරීමට මගක් සොයනු ඇත. තරහව කෙනෙකුට පවත්වා ගෙන යාහැක්කේ පුද්ගල සංඥාව මතය. කෙනෙක් මෙසේ කළා, මෙසේ කීවා කියන අදහස් හා සමග තරහා තව තවත් ඔබට වැඩි කරගත හැකිය.
ඒ කෙනා හෝ සත්වයා මරා දැමීම ඔබේ සිතේ පහළ වූ ඒ අමනාප සිත නිසා සිදු වූවකි. එසේ නම්, ඒ අමනාප සිත ඇති වූ තැන පවත්නා යථාර්ථය ඔබ තේරුම් ගැනීමට උත්සහවත් විය යුතුය. කිසිම කලෙක ඇසට පෙනෙන රූපය, නොඑසේ නම් වර්ණ සටහන ඔබට අමනාපය ගෙනාවේ නැත. එය ඇසට විත්, 'මම මදුරුවෙක්' යැයි කීවේද නැත. ඒ වර්ණ රූපය හටගෙන නැතිව යන තැනෙක ඔබේ මනස මීට පෙර අත්දැකීම් ඔස්සේ සැරිසරයි. ඔබ දැනගන්නේ ඔබ පීඩාවට පත්කරන බාහිර ඉන්නා සත්වයෙක් ගැනය. ඒ දැනගත් දේට හේතුවූ වර්ණ රූපය ඒ මොහොතේම නැතිවෙමින් පැවතියද, ඒ හැම එකම තම මනසින් එකතු කොට කරදරකාර මදුරුවෙක් ඔබට පෙන්වයි. එය ඇසින් පමණක් ගෙන ආවක් නොව, ඔබේ මනසින් ගෙන ආවකි. එසේ නම් කරදරකාර මදුරුවා නැති කිරීමට ඔබට දැන් සිතිය හැකිය. ප්‍රාණ ඝාතයට පදනම එයයි.
එසේ නම් ඔබ මදුරුවා කියන තැන ඇති අනාත්ම ධර්මය තේරුම් ගැනීමෙන්, ඔබට මරන්නට මදුරුවෙක් හසු නොවනා තැනට පත්විය හැකිය. රහතන් වහන්සේ මදුරුවා නොමරන්නේ සිල් කැඩෙන නිසා නොව, මරන්නට මදුරුවෙක් හෝ තමා හෝ හමු නොවෙනා නිසාවෙනි. එය වෙනම විද්‍යාවකි. සැබවින්ම එය විද්‍යාවකි, අවිද්‍යාව දුරටම පළවා හරින. ඒ විද්‍යාව උපදවා ගැනීමට ඇති මග දර්ශනයයි. ඒ අනුව සීලය නිවැරදිව පිරීමට ඔබට දර්ශනයක් අවැසි බව පෙනී යයි. දර්ශනය භාවිතයෙන් සීලය බිඳීමට ඇති හේතුව සොයා, හේතුව විනාශ කොට දැමිය හැකිය. එසේ නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය පිළිබඳව ඔබ පවත්වන ආත්ම සංකල්පනාව හා නිත්‍ය සංකල්පනාව මුලින්ම ඔබ ඉවත් කරගත යුතුය. සිතෙහි පවත්නා සංකල්ප බාහිර ආයතන වෙත නොපිහිටවා, රූපාදියේ අනිත්‍යානුපස්සනාව වැඩීම ඒ සඳහා ඇති මගයි. එවිට ඒ පර්යන්ත හෝ අපර්යන්ත සීලයම පරිපුණ්ණපාරිසුද්ධ සීලයක් බවට පත් වේ.
සීලය මෙසස්නේ පමණක් නොව, මින් බැහැරවත් ඇත. මෙසස්නෙන් බැහැර ලෝකෝත්තර සම්මා දිට්ඨියක් නැති බැවින්, ඒ සියල්ලක්ම සීලබ්බත පරාමාසයට වැටෙයි. නමුත් කෙනෙක් මේ සාසනයේ වුවද පරාමාස සහිත වූවක් බවට සීලය පත්කර ගනී. ඇතමුන් සිල්වත් වෙන්නේ දෙව්ලොව යන්නටය. දෙව්ලොව යන්නට හෙවත් භවය පිළිබඳව පැතීමකින් සිල් රකින්නාගේ සීලයද පරාමාස සහිත සීලයකි. කෙනෙක් &මම සිල්වත්, අනෙක් අයට වඩා මගේ සීලයම විශිෂ්ටයි* ආදී ලෙස දෘෂ්ටිගත වෙයි. ඒ සීලයද පරාමර්ශනය සහිත සීලයකි. සීලයෙන්ම සුද්ධිය හෙවත් නිවන ලැබේ යැයි ඇතමුන් සිතති. එයද පරාමර්ශනය සහිත සීලයකි. මේ ඕනෑම තැනකට පුහුදුන් කෙනෙක් පත්විය හැකිය. නමුත් අපරාමට්ඨපාරිසුද්ධ සීලය යනු මේ පරාමර්ශනයෙන් තොර සීලයකි. එනම් අරහත් ඵලයෙන් මෙපිට ආර්යන් වහන්සේලාගේ සීලයයි. සෝතාපන්න ආර්යන් වහන්සේගේ නිත්‍ය සීලය පඤ්ච සීලයයි. එය කඩ කිරීමකට උන්වහන්සේ නොයයි. නමුත් තමා සෝවාන් ලෙස හුවා දක්වන, පන්සිල් පද පහවත් රැකගත නොහී ලතවෙන ඇතමුන් අද බිහිවී ඇත. ඔවුන් පිළිබඳව සානුකම්පිත දැක්මක් ඇති කරගත යුතුය.
සීලය පෘථග්ජනයාට මෙන්ම ශෛක්ෂයාටද එක සේ උපකාර කරන ධර්මයකි. ඒ නිසාම දුසිල් බවේ ආදීනව දැක සත්පුරුෂයන් විසින් සීලය තුළම තම ජීවිතය හික්මවා ගත යුතුය.
සියලු දෙනාටම තෙරුවන් සරණයි..!
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd