බළපිටිය, වැලිතර සිරි සුගතසාසනෝදය මහා පරිවේණාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් වෙත 'සිරි විමලනන්දි තිස්ස වංසාවතංස' යන ගෞරව නාම සම්මුතිය සහිතව අමරපුර මූලවංසික මහා නිකායේ අනුනායක ධුරය පිළිබඳ අක්ත්‍රපත්‍ර ප්රදානය, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මේ මස 26 වැනිදා පස්වරු 2.00ට බළපිටිය වැලිතර අම්බරුක්ඛාරාම මූල මහාවිහාරස්ථ ශ්‍රී ඤාණවිමල තිස්ස ධර්ම මන්දිරයේදී සිදු කෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
රත්නපුරය, වියලගොඩ ග්‍රාමයේ බෞද්ධ පිළිවෙතින් තම ජීවිතය ආලෝකවත් කරගත් වීරද්දන ගුණසේකර හා දකුණු සිරිලක ගාලු පුරවර අහුන්ගල්ලේ පුනලින් නෝනා යන මවුපිය දෙපළට පින්වත් දරුවෝ නව දෙනෙක් වූහ. ඔවුන් අතරින් නව වැනි දරුවා වන වීරද්දන විමලසිරි ද සිල්වා, 1962 පෙබරවාරි මස 06 වැනිදා ජන්ම ලාභය ලැබීය. මෙම කුමරුවා 11 හැවිරිදි විය සපිරුණු කල්හි 1973 ජූලි මස 12 වැනිදා රාජකීය පණ්ඩිත පූජ්‍ය අහුන්ගල්ලේ විමලනන්දි තිස්ස හිමිපාණන් ගුරුකර අඹගහපිටි මූල මහා විහාරයේදී පූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස නමින් පැවිදි දිවියට ඇතුළත් විය.
අම්බරුක්ඛාරාම ශ්‍රී සුගතශාසෝනදය පිරිවෙන හරහා මූලික පිරිවෙන් අධ්‍යාපනය හදාරා, අමරපුර නිකායික භික්ෂුවක ලෙස 1983 අගෝස්තු 09 වැනිදා බළපිටිය මෝදර සීමා මාලකයේදී උන්වහන්සේ උපසම්පදාව ලැබූහ. 1983 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන විමලධම්ම තිස්ස හිමියෝ, 1988 වසරේදී ප්‍රදේශයේ මුල් වරට ශාස්ත්‍රවේදී උපාධිධාරී භික්ෂුවක ලෙස කොස්ගොඩ එගොඩමුල්ල පුරාණ විහාරස්ථානයේ වැඩ වසමින් එම විහාරස්ථානය සංවර්ධනය කළහ.සතර පේරුවේ දායක දායිකාවන්ගේ සියලු කටයුතුවලදී විහාරස්ථානයෙන් ඉටු විය යුතු සියලු කාර්යයන් මනා ලෙස ඉටු කරමින් දායක දායිකාවන්ගේ ගෞරවාදරයට මෙන්ම ප්රසාදයටද උන්වහන්සේ පාත්‍ර වූහ. තවද 1990දී අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කරමින් වෘත්තීමය ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමට විමලධම්ම තිස්ස හිමියෝ සමත් වූහ.
රටට, ගමට හා සාසනයට සේවය කිරීමේ උදාර පරමාර්ථය මූලික කරගත් උන්වහන්සේ, පන්සල මූලික කරගෙන බොහෝ වැඩසටහන් දියත් කිරීමට පෙරමග ගත්හ. 1985 ජූලි 06 වැනිදා ශ්‍රී සමුද්‍රාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ශ්‍රී විමලධීර දහම්පාසල හරහා දහම් අධ්‍යාපනය ලබාදීම පුළුල් කෙරිණි. වසර 33ක් පුරා අදටද පවත්වාගෙන යනු ලබන ශ්‍රී විමලධීර දහම්පාසල බිහිකළ සුවහසක් දරුවෝ වර්තමානයේ සමාජයේ බොහෝ උසස් තැන්වල සිටිති. දහම්පාසල් දරුවන්ට තම පෞද්ගලික වියදමින් සෑම වසරක් පාසා නිල ඇඳුම් ප්රදානය කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කළ උන්වහන්සේ, පසුකාලීනව දහම්පාසලට පැමිණෙන දුවා දරුවන් සඳහා දිවා ආහාරය තම පෞද්ගලික වියදමින් ලබාදුන්හ.
අධ්‍යාපනයට නිපුණතා දක්වන දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන උන්වහන්සේ, කෝට්ටේ ශ්‍රී මහින්දාරාමය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ අහුන්ගල්ල මධ්‍යස්ථානාධිපති ලෙස ජපන් කැපකරු දෙමවුපියන් මගින් අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.ශ්‍රී සුගතශාසනෝදය පිරිවෙණෙන් ගුරු වෘත්තිය අරඹන උන්වහන්සේ, දහස් ගණනක් ගිහි පැවිදි ශිෂ්‍යයන් සසුනට දායාද කිරීමෙහිලා දායකත්වය දැක්වූහ. ගුරු වෘත්තියෙහි දැක් වූ නිපුණතාව, දක්ෂතාව හා ප්‍රවීණත්වය මත වර්තමානය වන විට උන්වහන්සේ ශ්‍රී සුගතශාසනෝදය පිරිවෙණෙහි පරිවේණාධිපති ධුරය හොඹවති.
පූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස හිමියන්ගේ සාමාජීය සුභසාධන දිවිය පෙරළිකාර මාවතකට යොමු කිරීමට 2004 සුනාමි ව්‍යසනය සමත් විය. ඒ සිය ගණනක් ප්‍රදේශවාසීන්ගේ හා දායක දායිකාවන්ගේ වගකීම උන්වහන්සේට බාරවීම හරහාය.
පුළුල් වූ විදේශ සබඳතාවන් උපයෝගී කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආපදා අවස්ථාවේදී උන්වහන්සේගේ ආරාධනය අනුව ජර්මන් ජාතික එල්ෆ්රීඩේ සූස් මහත්මිය ඇතුළු පිරිසක් දිවයිනට ළඟා වූහ. ඇයගේ හා ජර්මන් යුනෙස්කෝ සංවිධානයේ ආධාර මත පළමු අදියර ලෙස නිවාස අහිමි වූවන් සඳහා ඔවුන්ගේ ඉඩම්වල නිවාස ඉදිකර දීම සිදු විය. සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වූවන් 15 දෙනෙකුට තමන්ගේ ඉඩමේම නවීන නිවාස ඉදිකර දීමට උන්වහන්සේ ඇතුළු පිරිස කටයුතු කළහ.
මුහුදු සීමාවෙන් බැහැරව නිවාස ඉදිකර ජනතාව පදිංචි කර වීමේ අනාගත සැලසුම දියත් කරමින් දෙවැනි අදියරේදී කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේ අක්කර 08කින් යුත් භූමි ප්‍රදේශයක් මිලදී ගෙන නිවාස 52ක් ඉදිකිරීමේ විශාල ව්‍යාපෘතියකට උරදීමට උන්වහන්සේ එකඟතාව පළ කළහ. ඒ අනුව පර්චස් 10ක භූමි ප්‍රමාණයකින් යුත් නිවාස 52ක් ඉදිකර තෝරාගත් පවුල් සඳහා ප්රදානය කිරීමට උන්වහන්සේ කටයුතු කළහ.
විවිධ ප්‍රදේශවලින් තෝරාගත් පවුල් 52ක් එහි පදිංචි කෙරුණු අතර, ඔවුන්ගේ දුවා දරුවන්ගේ අනාගතය උදෙසා අත්‍යවශ්‍ය සියලු දෑ එම ගම්මානය තුළම ස්ථාපිත කිරීමට උන්වහන්සේ සමත් වූහ. ඒ අනුව පූර්ව ළමා විය සංවර්ධනය, ද්විතීයික අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, ඖෂධ, ආහාර, ජලය, විදුලිය ආදී සියලු යටිතල පහසුකම්වලින් සපිරි අංග සම්පූර්ණ ගම්මානයක් ඉදිකිරීමේ ගෞරවය උන්වහන්සේට හිමි වේ.
එයට ගරු බුහුමන් දැක්වීම උදෙසා සියලු විදේශ සංවිධානයන්ගේ එකඟතාව මත ‘විමලධම්ම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය’ ලෙස වෘත්තීය අධ්‍යාපන ආයතනය නම් කෙරිණි. එමෙන්ම නවීන උපකරණවලින් යුත් දන්ත ශල්‍යාගාරයක් හා වෛද්‍ය මධ්‍යස්ථානයක් ගම්මානය තුළ පිහිටුවා සුවපත් දිවියක් ජනතාවට ලබාදීමට උන්වහන්සේ කටයුතු කළහ.
අමරපුර මූලවංශික පාර්ශ්ව නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවිය දරමින් නිකායෙත්, සම්බුද්ධ ශාසනයෙත් අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේ සිදු කළ සේවාව මිල කළ නොහැකිය. ඒ හේතුවෙන්ම 2018 වසරේදී අමරපුර මූලවංශික පාර්ශ්වයේ අනුනායක පදවිය එම නිකායේ මහානායක කොස්ගොඩ සරණංකර තිස්ස නාහිමියන් ප්රමුඛ කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත ප්රදානය කරන ලදී.
සටහන - අහුන්ගල්ල තමිදු මධුසර ලියනගේ