ʻʻධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය තැන තැන කඩ සල්පිල් ගාණට වැටිලා” යැයි අස්ගිරි අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නා හිමියෝ පැවසූහ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජමහා විහාර පුදබිමේ පැවැත්වෙන ‘හෙළ බොදු කලා අසිරිය‘ වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (01දා) සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
‘‘අද මේ ධාතු ප්‍රදර්ශන නැති තැනක් සොයාගන්න බැරි තරමටම මේ ධාතු ප්‍රදර්ශන පවත්වනවා. ඊළඟට මේ මාධ්‍යවලින් භාවිත කරනවා මේ නිසැක සර්වඥ ධාතුන් වහන්සේලා කියලා. එයින් තව පැත්තකින් පැහැදිළි කරනවා සැක සහිත සර්වඥ ධාතුන් වහන්සේලාත් තවත් හුඟක් ඉන්නවා කියලා. ඒ නිසා මේ නිසැක කියන වචනය යොදා ගැනීමෙන් එක අතකින් සමහර ධාතුන් වහන්සේලා සැක සහිත ධාතුන් වහන්සේලා බවට පත්වීම නිසාත්, මම හිතන්නේ එතරම් සුදුසු නොවේ යැයි ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. සමහර විට ඒ සීමාව ඉක්මවලා නිසැක රහත් සර්වඥ ධාතුන් වහන්සේලා කියන්නත් පටන් ගනීවි.
සමහර ධාතු ප්‍රදර්ශනවලට ගියාම ශ්රද්ධාවට වඩා ශ්‍රද්ධාව හීනවන තත්ත්වයක් තියෙනවා. සමහර ප්‍රදර්ශනවලට ගියාම අපි අහලාවත් නැති රහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. රහත් ධාතුන් වහන්සේලාටත් අපි ඉතාම ගෞරවයෙන් වැඳුම් පිදුම් කරනවා. සර්වඥ ධාතුන් වහන්සේලාටත් අපි හොඳින් වැඳුම් පිදුම් කරනවා ගෞරවයෙන්. නමුත් ඒවා වර්තමානය වන විට ඉතාමත්ම සුලභ ධාතු ප්‍රදර්ශන බවට පත්වෙලා තිබෙන අතර කෙළවරක් නැති ධාතු ප්‍රදර්ශන බවට පත්වෙලා. හැමතැනම අර කඩ සල්පිල් දාන මට්ටමට ධාතු ප්‍රදර්ශන මේ රටේ පවත්වන්නට ගිහිල්ලා සැදැහැවතුන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය එක අතකින් දුර්වල කරන්නටත් ඒක හේතු වෙලා තියෙනවා කියලා සිහිපත් කරන්නට කැමැතියි.ʼʼ යැයි ද පවසා සිටියහ.