පෙරහර යනු අපේ පෞරාණික සම්ප්‍රදායන් මූර්තිමත් කරවන සංස්කෘතික මංගල්‍යයකි. ඓතිහාසිත කතරගම පුදබිම ආශ්‍රිතව පැවැත්වෙන ඇසළ මංගල්‍යය පෙරහරද එවැනිම වූ පෞරාණික සාම්ප්‍රදායන් ඉස්මතු කරන මංගල්‍යයකි. හෙට (13දා) දිනයෙන් ආරම්භ වන පෙරහර 28 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් අවසන් වේ. එය තවත් ආකාරයකට ප්‍රකාශ කළොත් අපේකම ප්‍රදර්ශනය කරන පෙරහරක් ලෙසද හැඳින්විය හැකිය. මෙම කාලසීමාව තුළ විවිධ චාරිත්‍ර හා සාම්ප්‍රදායික වත්පිළිවෙත් සිදු කරන අතර, පරිසර හා මනා සම්බන්ධයක් දක්වන කතරගම දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය මෙවර %සුරකිමු සොබාදම^ යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.
බෞද්ධ ජනතාවට මෙන්ම හින්දු ජනතාවටද කතරගම එකසේ වැදගත් වන්නේ සැමගේ ගෞරවයට පාත්‍ර වී ඇති කතරගම මහා දේවාලය නිසාවෙනි. ජාති, කුල, ආගම් භේදවලින් තොරව අපේකම රැකගන්නා අපේ දේවාලයක් ලෙස සෑම ජාතියක්ම, සෑම ආගමිකයෙකුම මෙම ස්ථානයෙන් ආශීර්වාද ලබා ගැනීමට යොමුවෙයි. මහ දෙවොලේ චාරිත්රවාරිත්රද ඉතිහාසයේ ඈතට දිවයන අතර, ඒවායේ ඇති බෞද්ධ ආගමික හා හින්දු ආගමික සිරිත් විරිත් සම්ප්‍රදායානුකූලව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් අපේ සංස්කෘතියේ ඓතිහාසික උරුමයන් මේ වන විට ආරක්ෂා වෙමින් පවතී.
බුද්ධත්වයට පත්වන දෙවියෙකු ලෙසද, සතරවරම් දෙවිවරුන්ගෙන් අයෙකු ලෙසද බෞද්ධයන් විසින් කතරගම දෙවියෝ සලකනු ලබති. කෝට්ටේ රාජධානී සමයේ පවා කතරගම දෙවියන් පූජෝපාහාරයට ලක්වූ දෙවියෙකු බව අපේ ඓතිහාසික සංදේශ කාව්‍ය අධ්‍යයනය කිරීම තුළින් පැහැදිලි වන කරුණකි. එමෙන්ම මහ කතරගම, සෙල්ල කතරගම, සෙල්ල කතරගම හා වැඩහිටි කන්දට දිවැස්හෙළන කතරගම දෙවියන් දේව මණ්ඩලයේ ප්‍රධාන දෙවි කෙනෙකි. බෞද්ධ බැතිමතුන් තුළ කතරගම දෙවියන් සතු කාර්යභාර කිහිපයක් වේ. සත්‍යය වශයෙන්ම එකී කාර්යභාරය දෙවිඳුගෙන් ඉටුවේය යන දැඩි විශ්වාසයක් භක්තිකයන් තුළ තිබේ. තමන් විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතුවලින් සාර්ථකත්වයක් ලබා ගැනීමේ අටියෙන් ව්‍යාපාරික ප්‍රජාව වාර්ෂිකව කතරගම වන්දනා කරයි. විශේෂයෙන් ඇසළ පෙරහර කාලසීමාවකට පමණකුදු වර්ෂයේ අවසාන මාස දෙක, තුන තුළ කතරගම පුදබිම ජනයාගෙන් පිරී පවතී. ඊට අමතර දේශපාලන ක්ෂේත්රයේ නියැළෙන්නෝද, ආරක්ෂාව පතා පැමිණෙන සාමාන්‍ය ජනතාවද පුදපුජා කිරීමට කතරගමට පැමිණෙති. කතරගම දෙවියන්ගේ උපකාරය අනවරථයෙන් තමන්ට ලැබෙනු ඇතැයි ඔවුහු සෑම විටම විශ්වාස කරති.
සිංහල බෞද්ධයන්ට වඩා ද්‍රවිඩ, හින්දු ජනතාව කරතගම දෙවිඳු වෙනුවෙන් දැඩි වෘත අනුගමනය කරනු දැකගත හැකිය. පිටේ සම ඇදී යන පරිදි කටු ගසාගෙන කරත්තවල ගමන් කිරීම, කටු ගැසීම, ගිනී පැගීම, කතරගම දේවාල භූමියේ වැලි පොළොවේ පෙරළි පෙරළී ගමන් කිරීම ඒ අතර වේ. අතිඋත්කර්ෂවත් ලෙස පවත්වන කතරගම දේව පෙරහර දින කිහිපයක්ම පවත්වනු ලබන අතර, යාපනය, මඩකලපුව සිට පාගමනින් වනගත මාර්ගවලින් කතරගම කරා එන ද්‍රවිඩ හින්දු ජනතාව ඒ සඳහා කල්තියා සූදානම් වේ.
බැතිමත්හු කතරගම දෙවියන් උදෙසා පස් කැවිලි සහ පස් පලතුරුවලින් පුදපූජා පවත්වති. රක්ත වර්ණ දේව පැහැය වන බැවින් තිර, කොඩි, විදුලි පහන් මෙන්ම පූජා පිණිස තබන මල් වර්ගද, මල් මාලාද රතු පාටින් වර්ණවත් වේ. කතරගම දෙවියන් උදෙසා තබන සෑම පුදපූජා වට්ටියක්ම නෙරළු ඵලයකින් සමන්විත වන්නේ කතරගම දෙවිඳුන්ගේ සහෝදර ගණදෙවිඳුන්ට උපහාරයක් වශයෙනි.
වර්තමානයේ කතරගම බහුදේව පුද බිමක් බවට පත්ව ඇති අතර, කතරගම දෙවියන්ගේ භූමිකාව වඩාත් ජනප්‍රියත්වයට පත්වත්ම ප්රදේශීයකරණයක් ලක් වූ දෙවි කෙනෙකුට වඩා විශ්වීයකරණයට ලක් වූ දෙවි කෙනෙකු ලෙස කතරගම දෙවියන් හැඳින්විය හැකිය. ඒ නිසා මේ පුණ්යභූමියට උත්සව සමයේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණීම සුවිශේෂීය. විශේෂයෙන් පෙරහර දැක බලා ගැනීමට විදේශිකයන් පවා පැමිණෙන අතර, සාම්ප්‍රදාය මූර්තිමත් කරමින් විවිධ ආගම්, ජනවාර්ග සාමූහිකව කරන සංහිඳියාව ප්‍රදර්ශිත මංගල්‍යයක් ලෙස රුහුණු කතරගම ඇසළ මහා මංගල්‍යය හැඳින්විය හැකිය.
ෂෙහානි දිල්රුක්ෂිකා