රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා පිලිස්සෙන විට අඟුරු දකින්න පුළුවන්. නමුත් සිතේ හටගන්නා රාග ගින්නේ එවැනි ගිනිදැල්, දුම් හෝ අඟුරු පවතින්නේ නැහැ. ඒත් මේ සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසුම් බව මුළු ශරීරයටම දැනෙනවා. රාගය නමැති ගින්න විසින් බෙහෙවින්ම පුලුස්සා විනාශ කර දමන්නේ, ජීවිතයක ඇති ‘යහපත් ගුණයයි.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී එක්තරා කුල දැරියක් නිමිති කරගෙන සිදුකළ විශේෂ ගාථාවක් තමයි, ධම්ම පදය ඇසුරෙන් මේ ගෙනහැර දැක්වෙන්නේ. මේ කුල දැරියගේ දෙමවුපියන් ඇය විවාහ කරදෙන ආවාහ විවාහ උත්සවයක් සැවැත් නුවර පැවැත් වුණා. නිවැසියන් කල්පනා කළේ සැමටම ප්‍රථම භාග්‍යවතුන් වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයා වඩම්මවා දානය පිරිනැමීමටයි. ඔවුන් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව දානය පිළියෙළ කළා. බුදුරදුන් ප්රමුඛ සංඝයා වැඩම කළා.
අලුත් මනාලිය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඇය ඉතා ලස්සන ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ඇප උපස්ථාන කරමින් ඔබමොබ හැසිරුණා. ඇය සරණ පාවාගත් තරුණයා මාර්ගඵල ලැබීමට පින් ඇති කෙනෙක්. නමුත් ඔහු ඒ මොහොතේ ඇය කෙරෙහි ලොල් සිතින්මයි, වාසය කළේ. ඔහුගේ සිතට පිනක සේයාවක්වත් පැමිණියේ නැහැ. ඇය දෙසම බලාගෙන, රාග සිතින් කෙලෙස් මුදා හැරියා. ඔහුගේ සිතට හරිම පීඩාවක්, සැනසිල්ලක් නම් නැහැ. ඇය සමග හුෙදකලාවේ වාඩිවී කතාබස් කරන්නමයි, ඔහු සිහින මැව්වේ.
කෙලෙස් නිසා අතරමං වී සිටි මේ තරුණයාගේ සිතේ ස්වභාවය දුටු බුදුරජාණන් වහන්සේ කුල දැරිය ඔහුට නොපෙනී යෑමට අදිටන් කළා. දැන් තරුණයාගේ සිත භාග්‍යවතුන් වහන්සේ දෙසට යොමු වුණා. සිතේ ශ්‍රද්ධාව උපන්නා.
භාග්‍යවතුන් වහන්සේ හඬ අවදි කරමින්, "පින්වත් කුමාරය, රාග ගින්න හා සමාන වෙනත් ගින්නක් නැහැ. දේවේශය හා සමාන කිලුටකුත් නැහැ. ස්ඛන්ධ පරිහරණය තරම් දුකක් නැහැ. ඒ වගේම තමයි, අමාමහ නිවන් සුවය හා සමාන වෙනත් සැපයකුත් නැහැ" යැයි දේශනා කර වදාළා.
නත්ථි රාගසමො අග්ගි
නත්ථි දොසසමො කලි
නත්ථි ඛන්ධසමා දුක්ඛා
නත්ථි සන්තිපරං සුඛං
"රාගය හා සමවූ ගින්නක් නැත. ද්වේෂය හා සමවූ කිලුටක් නැත. පඤ්චස්කන්ධය පරිහරණය හා සමවූ දුකක් නැත. අමාමහ නිර්වාණයට වැඩි වෙනත් සුවයක් නැත."