රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් කොට්ටිඹුල්වල රජමහා විහාරස්ථානය මේ වන විට විනාශවීමේ අවදානමට ලක්ව තිබේ. වැලිගෙපල නගරයේ සිට හටංගල මාර්ගයේ සැතපුම් හයක් පමණ ගිය විට මෙම විහාරස්ථානයට ළඟා විය හැකිය.
ඉතිහාසයට අනුව මෙම ස්ථානය ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ වළගම්බා රජ දවස දක්වා දිවයන අතර තවමත් නිසි ආකාරයෙන් කැණීමකට ලක් නොවුනද මෙම ස්ථානය හා අවට ප්රාග් ඓතිහාසික මානවයන්ගේ නිජබිම් දක්වා අතීතයට දිව යා හැකි බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.
යුග ගණනාවක්ම විවිධ රජවරුන්ගේ කාලසීමාවන්හිදී සංවර්ධනයට පත් වූ කොට්ටිඹුල්වල රජමහා විහාරය මේ වන විට පුරාවිද්‍යා උරුමයක් ලෙස මහා සංඝරත්නයේ භාරකාරත්වයෙන් පැවැතුනද විහාරයට සිදුවෙමින් පවතින විනාශය පිළිබඳව කිසිවෙකුගේ අවධානයට ලක් නොවීම ඉතා කනගාටුදායකය.
මේ වන විට ඇතුළු විහාරයේ පර්වත සිවිලිමේ බිතු සිතුවම් විශාල ප්‍රමාණයක් මැකී යමින් පවතී. විහාරගෙයි බිත්තිද පුපුරා කඩාවැටීමට ආසන්නව පවතී. විහාර භූමියද නාය යෑමේ තර්ජනයට ලක් වී තිබේ. ගල් කටාරමද උතුරා යමින් පවතී. විහාරස්ථානයේ දායක සභාව කොතරම් ශත්තිමත් වුවද මේ කිසිවක් ඔවුන්ට ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකිව පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරයකින් තොරව ඒ කිසිවක් කළ නොහැකි නිසාවෙනි.
පවතින අවදානමත් සමග දෙපාර්තමේන්තුවේ නිලධාරින්වත් මේ වෙනුවෙන් කිසිදු උනන්දුවක් නොදක්වන බව දායක සභාව සහ විහාරාධිපති හිමියෝ සඳහන් කරති. පුරාවිද්‍යා ස්මාකර එලෙස කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ගෙන යද්දී හය වතාවක් නිධන් හොරුන්ගේ ග්‍රහණයට ද මෙම විහාරස්ථානය පත්ව තිබේ.
මේ සියලු විනාශයන් බලධාරීන්ගේ අවධානය යොමු කර ගැනීමට පසුගියදා වැලිගෙපොළ නගරයේ උද්ඝෝෂණයක්ද පැවැත්විණි.
රජමහා විහාරය පත්ව ඇති තත්ත්වය පිළිබඳව විහාරාධිපති නැදුන්ගමුවේ සුමනසාර හිමියෝ මෙසේ පවසා සිටියහ.
“අපේ විහාරස්ථානයේ තිබෙන පුරාවිද්‍යාත්මක උරුම විනාශ වෙලා යනවා. නිධන් හොරුන්ගේ ග්‍රහණයට විහාරස්ථානය ලක් වුණා. ඒත් මේ කිසි දෙයක් ගැන මේ වන තෙක් බලධාරීන්ගේ අවධානයට යොමු වී නැහැ. අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර දෙන්න කියලා.
වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී හෙතෙම මෙසේ පවසා සිටියේය.
“කොට්ටිඹුල්වල වගේම මේ කලාපයේ ආරක්ෂා කළ යුතු ජාතික උරුම රාශියක්ම තිෙයනවා. මෙම විහාරස්ථානයට පුරාවිද්‍යා එකේ අවධානය යොමුවීම අඩුද කියලත් පුද්ගලිකව මට හිතෙන කාරණාවක්. කෙසේ නමුත් මගේ පැත්තෙන් ඒ අවශ්‍ය අවධානය යොමු කිරීමට කටයුතු කරනවා.
මේ පිළිබඳව සබරගමු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ තිස්ස කුමාර මධුරප්පෙරුම මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ පවසා සිටියේය.
“ඔය චෝදනා කිසිවක් පිළිගන්න බැහැ. අපි මේ වන විටත් විහාරස්ථානයේ පැරණි සංඝාවාස කොටසක් ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් වෙන් කරගෙනත් තියනවා. අපට තිබෙන්නේ පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීමයි. ඔය කියන විදිහේ ස්මාරක විනාශ වෙලා කියල අපිට කවුරුත් ලිඛිතව හෝ වාචිකව මේ ෙවනකම් දැනුම් දී නැහැ. එහෙම දැනුම් දී තිබුණා නම් අපි ඒ වැඩේ මුලින්ම කරනවා. විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා සවි කිරීමට අපෙන් අනුමැතිය ඉල්ලුවා. පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොවන ආකාරයෙන් එය සවි කරගැනීමට අපි අනුමැතිය දී තියෙනවා. ඒ වගේම විහාරස්ථානයේ අනෙතුක් පිළිසකර කිරීම් කිරීමට අවශ්‍ය සොයා බැලීම් සිදු කරනවා.
බලන්ගොඩ - අරුණ දිසානායක