මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති බලත්ගමුව පුරාණ තපා ගල්ලෙන මෙ වන විට කැලෑ වැදී එහි ඇති වටිනා චිත්‍ර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් ඇති සියල්ල විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
බලත්ගමුව පුරාණ විහාරය අයත් බලත්ගමුව කන්දේ පිහිටා ඇති මෙම තපා ගල්ලෙන් විහාරය වළගම්බා යුගයට නෑකම් කියන අතර, නුවර යුගයට අයත් චිත්‍ර මෙන්ම පිළිම මෙහි දැකගත හැකි බවත්, පසුගිය කාලවකවානුවේ මෙහි නිධන් වස්තු ඇතැයි සිතා නිධන් හොරු මෙහි ඔත් පිළිමය කඩා බිඳ දමා ඇති බවත් ප්‍රදේශවාසීන් මෙන්ම දැනට මෙම ස්ථානය අයිති විහාරස්ථානයේ විහාරාධිපති බලත්ගමුව සුදර්ශනාරාම විහාරාධිකාරී කෙහෙල්පන්නල චන්ද්‍රජෝති හිමියෝ පවසති.
දැනට මෙම ස්ථානයට හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ ගමන් කර බලත්ගමුව සුදර්ශනාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ඇති කන්දේ කැලෑ වැදුණු කොටසකින් ගමන් කළ යුතුය.
තපා ගල්ලෙන් විහාරයේ බාහිර පෙනුම අතීතයේදී අලංකාරව සකස් කර ඇති අතර, දැනට එහි ඇති පෞරාණික ස්ථානයන් ගරා වැටෙමින් පවතී. එමෙන්ම නුවර යුගයට නෑකම් කියන මෙහි පිටත බිත්තියේ ජාතක කථා සිතුවම් බොහෝමයක් විනාශ වී ඇති අතර, සපුමල් යොදා ගනිමින් ඇඳි මෝස්තර ඇතුළත් සිතුවම්ද විනාශ වෙමින් පවතී.
මෙහි ප්රතිමාගාරයට පිවිසෙන විට යොදා ඇති බිත්තියේ බිතුසිතුවම් සහ පිවිසෙන ද්වාරයේ අඹරාව සහිත මකර තොරණද බොහෝ ස්ථාන විනාශ වී ගොස් පවතී. ඇතුළත ප්‍රතිමාද නිදන් සොරුගේ ග්‍රහණයට ලක් වී ඇත. කිසිදු නඩත්තු කිරීමක් නොමැති නිසා මෙම ඓතිහාසික ගල්ලෙන දැන් වවුලන්ගේ පරාදීසයක් බවට පත්වී තිබේ.
දැනට කිසිදු ස්වාමීන් වහන්සේ නමක් වැඩ නොසිටින මෙම ස්ථානය ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටීමට උචිත පරිසරයක් මෙන්ම භාවනා යෝගීව කටයුතු කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයකින් සමන්විත වන අතර, ජල පහසුකම් පවා මෙම ස්ථානයේ පවතී. අතීතයේ මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවත්, කිසිදා ජලය නොසිඳෙන පොකුණක්ද මේ ආසන්න ස්ථානයක තවමත් පවතින බවත් ප්‍ර‘දේශවාසීහු පවසති.
වසර 100කටත් වඩා වැඩි කාලයකට නෑකම් කියන මෙම ස්ථානය ආරක්ෂා කළ යුතු ස්ථානයක් වන අතරම, වරක් මෙහි ගරා වැටෙමින් තිබූ ස්ථානයක් ප්‍රදේශවාසින් විසින් පිළිසකර කිරීමට යෑමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය සිදු නොකරන ලෙස ප්‍රදේශවාසීන්ට පවසා ඇත. නමුත් මේ වන තෙක් එය ඔවුන් අතින්ද නඩත්තු නොවීම කනගාටුවට කරුණකි.
මෙම පූජනීය ස්ථානයේ ඇතුළත ඇති සූවිසී විවරණ බිතුසිතුවම්, අරිහත් රූප, වෘක්ෂලතා සිතුවම්, ජාතක කතා සිතුවම්, මකර තොරණ, බෝසත් ප්‍රතිමා නැවත සංරක්ෂණය කිරීම මගින් මෙම පූජනීය ඉපැරණි ස්ථානය ආරක්ෂා කරගත හැකිය.
දැනට මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගයද මංතීරු දෙකට සංවර්ධනය කර ඇති හෙයින් ඉදිරියේදී බොහෝමයක් බස් රථ මෙන්ම වන්දනා නඩද ගමන් කරන බැවින් දැනට ප්‍රදේශයේ නැරඹීමට ඇති අසුපිණි ඇල්ල, සැලව පුරාණ රජ මහ විහාරය, බතලේගල, මා ඔය, දෙවනගල, මැදිලිය පූරාණ විහාරය, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය මෙන්ම එම ගමන් මාර්ගයේ ඇති මෙම පූජනීය ස්ථානයත් ඉතා ඉක්මනින් නඩත්තු කිරීම මගින් ඔවුන්ට දැක බලාගත හැකි බව ප්‍ර‘දේශවාසීහු පවසති.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කෙහෙල්පන්නල, බලත්ගමුව, අම්බලාව කොට්ඨාසයෙන් තේරී පත් වී සිටින මංජුල අධිකාරී මහතා පැවසූයේ මේ පිළිබඳව දේශපාලන අධිකාරිය මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ආදාළ ස්ථානය රැක ගැනීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන බවයි.
ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පූජනීය ස්ථානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.
මාවනැල්ල - හෙම්මාතගම විජය බංඩාර