මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත් එය බෞද්ධ,ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
රටක් ලෙස මේ අවස්ථාවේ අප යම් අර්බුදයකට ලක්ව සිටින අවස්ථාවක ඉන් ගොඩඒමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන මොහොතක ජාති හා ආගම් බේද මතු කිරීමට කිසිවෙකු උත්සහ කරන්නේ නම් එය රටට කරන අයහපතක් බවද කොවිඩ්-19 වෛරසය ශරීරගත වීම නිසා මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ආගමික පසුබිමක් තුළ නොව සෞඛ්‍ය නිර්දේශ කරනු ලබන ආරක්ෂිත ක්‍රමවේද අනුව බව උන්වහන්සේ සඳහන් කළහ.
කොරෝනා වෛරසය ශරීරයෙන් ශරීරයට පැතිර යන්නේ ජාති,ආගම් හෝ වෙනත් කිසිදු බේදයක් නොසලකා බවත් ඉන් පුද්ගලයින් මරණයට පත්වන්නේද කිසිදු වර්ගීකරණයකින් තොරව බවත් මරණයෙන් පසු බේද ඇතිකර ගැනීම අනවශ්‍යය ගැටලුවකට පාර කැපීමක් බවද උන්වහන්සේ සඳහන් කළහ.
මරණයෙන් පසු ආදාහනය හා භූමදානය කිරීමට පෙර මළ ගිය තැනැත්තා වෙනුවෙන් බෞද්ධාගමක වශයෙන් ඉටුකළ යුතු චාරිත්‍ර තිබෙන නමුත් මෙම අවස්ථාවේ බෞද්ධ ජනතාව එය තේරුම් ගෙන අදාළ ආගමික වතාවත් ඉටු නොකර කොවිඩ් ආසාධිතයින් ආදාහනය කිරීමට ඉඩදී තිබෙන බවද උන්වහන්සේ පැවැසූහ.