බෙල්ලන්විල විහාරස්ථානය පුරාවෘතාන්තය දෙස බැලීමේදී 1850 වසරේ වැඩ විසූ තෙත්ගොඩ ගෙදර නාහිමියන් එකවරම මතකයට එන සංඝ පිතෘෘන් වහන්සේ නමකි. එවකට සයවැනි පැරකුම්බා රජුන්ගේ අත්තිඩියේ තැනූ රාජ මාලිගය අභාවයට යෑමෙන් අනතුරුව උන්වහන්සේ එහි කුඩා ආවාස ගෙයක් සාදාගෙන වැඩ වෙසෙමින් දහම් කටයුතුවල නිරත වී ඇත. උන්වහන්සේ කුමන විහාරස්ථානයක සිට අත්තඩිය පුරාණ විහාරස්ථානයට වැඩම කළේද යන්න පිළිබඳව තොරතුරු නොමැත. අත්තිඩිය ගලඋඩ පුරාණ විහාරාධිපති වහන්සේ ලෙස එය මුලින්ම ආරම්භ කරන ලද බව පැරණි ජනප්‍රවාදවල දැක්වේ.
එහි සිටිමින් එවකට ඝන වනාන්තර බඳු වූ මේ කලාපයේ රාජ කාලයේ ගමන් පහසුව සඳහා ඇති කළ ඇළ මාර්ගවලින් එකක් වන වත්මන් කටුඇළ ඔස්සේ නිතර තොටියෙක් සමගින් ගමන් කරමින් උන්වහන්සේ තොරතුරු ගවේෂණයේ යෙදී සිටි බව ග්‍රන්ථවල සඳහන් වෙයි.
ඒ අනුව දිනක් අත්තිඩිය දෙස සිට එම ඇළ මාර්ගය ඔස්සේ ගමන් කරන අතරතුර උන්වහන්සේට කැලෑව තුළින් කනට මිහිරි හේවිසි හඬක් අසන්නට ලැබී තිබේ. ඒ ඔස්සේ කැලෑව පීරමින් ගමන් කර සෙව්වද උන්වහන්සේට හේවිසි හඬ නැගුණු ස්ථානයේ ඝන කැලෑවක් පමණක් දක්නට ලැබී ඇති අතර, හේවිසි හඬද නතර වී තිබේ. එම ස්ථානයේ සරුවට වැවී තිබූ බෝගසක් දක්නට ලැබී ඇති අතර සිද්ධියෙන් උන්වහන්සේ පුදුමයට පත් වූහ.
අනතුරුව ගැමියන් කැඳවා කැලෑව හෙළි පෙහෙළි කර බෝධීන් වහන්සේ මතු කර ගත්හ. එය සිංහල බෝධි වංශයේ සඳහන් ඵෙතිහාසික බෙල්ලන්විල බෝධිය බවට හඳුනා ගනු ලැබූ අතර, අනතුරුව ඒ අසල ආරාමයක් කරවා උන්වහන්සේද එහි වැඩ වසමින් තේවාවන් කර ගෙන යනු ලැබිණි.
උන්වහන්සේගේ අපවත්වීමත් සමග උඩුගම්පළ ශ්‍රී රතනපාල නාහිමියන්ද, අනතුරුව උඩුගම්පල ශ්‍රී ධම්මක්චන්ධ නාහිමිද, අනතුරුව අස්ගිරියේ දේවරක්ඛිත නාහිමියන්ද විහාරාධිපතීත්වයට පත්විය.අනතුරුව බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි විහාරාධිපතිත්වයට පත්වීමෙන් බෙල්ලන්විල පුරාවෘත්තය නව දිසාවකට යොමු වන්නට විය. ඒ උන්වහන්සේ 1947 වසර විහාරස්ථානය භාර ගැනීමත් සමගය.
ඒ අනුව මුලින්ම දුරුතු පෙරහැර පවත්වා වසර තුනක් තුළ ලබා ගත් අත්දැකීම් උපයෝගී කර ගෙන 1950 වසරේ බෙල්ලන්විල ඇසළ පෙරහර ආරම්භ කරනු ලැබිණි. එවකට අලි ඇතුන්ද සහභාගි කරවා ගෙන අලි ඇඳුම් පවා ගස් පොතුවලින් සාදා අලංකාර ලෙස පෙරහර පැවැත්වීය.
එවකට ගම පුරා පැතිර ගිය වසංගතයකින් බහුතර දුප්පත් ජනතාවගේ ගව සම්පත විනාශ වූ අතර ජීවනෝපාය පවා අස්ථාවර තත්ත්වයකට පත් විය. ඇසළ පෙරහැර ආරම්භ වීමෙන් පසු එම තත්ත්වය දුරු වී ගමට ශාන්තියක් ලද බව ජනප්‍රවාදවල සඳහන් වෙයි.
පෙරහරේ ආශීර්වාදයෙන් ගමට යහපතක් වූ බව විශ්වාස කළ ගම්වැසියෝ ගරාවැටෙමින් තිබූ ගොඩනැගිලි වැඩිදියුණු කරමින් විහාරස්ථානයට කුළුපගව තමන්ට හැකි අයුරින් උදව් උපකාර කරමින් නායක හිමියන්ට ශක්තියක් ලබාදුන්හ. ඒ අනුව නවාංග සහිත ප්‍රසාද, ලැගුම්හල්, වන්දනා ස්ථාන, ආරාම, චෛත්‍ය වෙහෙර, බුදුමැදුර ඉදිවෙමින් ශ්‍රී සෝමරතන නාහිමියන් යටතේ ස්වර්ණමය යුගයක් උදා විය.
ඒ අනුව බෙල්ලන්විල රජ මහා විහාරයෙහි ඉදිකරන ලද විහාර මන්දිරයෙහි මුල්ගල තබන ලද්දේ එවකට නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි. විහාර සැලසුම් සියල්ල නාහිමියන්ගේ සිතෙහි තැන්පත් කර ගෙන ඒ අනුව ඉදි කිරීම් කරගෙන යනු ලැබුවේද අද මෙන් ඉංජිනේරු ශිල්පීන්ද නොමැතිවයි. ඒ උන්වහන්සේගේ චිත්ත විශ්වාසයයි.
මෙහි ඉදිකිරීම් සාර්ථකද යන්න පරීක්ෂා කිරීමට සර් සිරිල් ද සොයිසා මහතා ඉංජිනේරුවරයෙකු යොමු කර සිදු කළ විමර්ශනයේදී ද අනාවරණය වී ඇත්තේ නාහිමි ඉතාමත් ශක්තිමත්ව සියලු ඉදිකිරීම් සිදු කරවා ඇති බවයි. ඒ අනුව දෙස් විදෙස් සුපතල පුදබිමක් පමණක් නොව ආශ්චර්ය සිදුවන ජනතා විශ්වාසයක් දිනූ විහාරස්ථානයක් බවටද බෙල්ලන්විල පත් වී ඇත.
එවකට පැවති ශ්‍රී දළදා ඇසළ පෙරහරද නරඹමින් සෝමරතන නාහිමියන් එහි ඓතිහාසික චරිතාංගද බෙල්ලන්විල ඇසළ පෙරහරට එකින් එක ගෙන වසරින් වසර පෙරහැර සාර්ථකත්වයට පත් කරමින් වරක අලි ඇතුන් 103ක් පවා සහභාගි කරවා දීර්ඝතම ඇසළ පෙරහැරක්ද පැවැත් වූ බව ජනප්‍රවාදවල සඳහන් වෙයි. ඒ නිසාම අද වන විට නුවර ඇසළ පෙරහරට පමණක් දෙවැනි වන ඇසළ පෙරහරක් පැවැත්වීමට සෝමරතන නාහිමියෝ සමත් වූහ
ඒ අනුව බෙල්ලන්විල කීර්ති නාමය ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ශ්‍රී සෝමරතන නාහිමියන් අධිපති බවට පත්වීමෙන් පසුවය. විහාරස්ථානයේ භෞතික සංවර්ධනය මෙන්ම ගමේ අධ්‍යාපනය නගාසිටුවීමටත් අඩිතාලම දමමින් සෝමරතන නාහිමියෝ එදා බෝධිරාජ දහම් පාසලද ආරම්භ කළහ. එමෙන්ම උන්වහන්සේ දක්ෂ දේශීය වෛද්‍යවරයෙකු වශයෙන් සිදු කළ සේවාවද අතිමහත්ය. එදා උන්වහන්සේ තැනූ කැපුම් තෙල්, වාත තෙල්, අත්දුටු පුදුම ගුණ දෙන ඖෂධම විය. ඒ අනුව විහාරස්ථානය ද නිතර ජනාකීර්ණ වන්නටත් ආධාර උපකාර ගලා එන්නටත් පටන් ගැනුණු අතර, පුද පූජා සඳහා විශාල බැතිමතුන් පිරිසක්ද ඇදී එන්නට විය. අද දක්වාම එම තත්ත්වය දක්නට ලැබේ.
මෙපමණ සේවාවක් සිදු කළ ශ්‍රී සෝමරතන නාහිමි 1984 අගෝස්තු 2 වැනිදා අපවත්වීමත් සමග එහි කටයුතු අඩාළවීමට ඉඩනොදී උන්වහන්සේ ඇසුරේ සිටි බෙල්ලන්විල ධර්මරත්න නාහිමියන් විහාරාධිපති ධුරය භාරගෙන දෙස් විදෙස් ධර්මදූත සේවයේද යෙදෙමින් විහාරස්ථානය හරහා සිදුවන කටයුතු තම සොයුරු බෙල්ලන්විල විමලරතන අනුනාහිමිට පවරා කටයුතු කරනු ලැබිණි.
ඒ අනුව දුප්පත් ගම්වාසීන්ට නිවාස තනාදීම, හදවත් රෝගීන්ට ආධාර ලබාදීම, දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීම වැනි බොහෝ සමාජ සේවා කටයුතුද බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානය හරහා සිදු වූ බව කිව යුතුය.
ඒ අනුව පසුගිය දිනවල බෙල්ලන්විල විමලරතන අනුනාහිමි හදිසි අපවත්වීමත් සමග විහාරයේ දියුණුව අඩාළ නොවී පෙරහරද අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අභියෝගය යළිත් වරක් බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ට භාර විය.
ඒ අනුව විමලරතන අනුනාහිමි අපවත්වීමත් සමග පවත්වන ප්‍රථම ඇසළ පෙරහැර ලෙස 68 වැනි ඇසළ පෙරහැර මේ දිනවල අතිසාර්ථක අයුරින් සංවිධානය වෙමින් පවතියි.
ඒ අනුව පෙරහර ආරම්භ කළ ශ්‍රී සෝමරතන නාහිමි අනුස්මරණ ධර්ම දේශන ජූලි මස 26, 27 හා 28 තෙදින පුරා පවත්වා උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම සිදු කිරීමට කටයුතු යොදා තිබේ. 29 දින අරඹන සෙත් පිරිත් දේශනය අගෝස්තු 03 දක්වා පවත්වා 03 වැනිදා සූත්‍ර දේශනාව සිදු කර අගෝස්තු 04 වැනිදා දොරකඩ අස්න හා දේවදූත පෙරහරත්, කුඹල් පෙරහරත් පැවැත්වීමට නියමිතය.
අනතුරුව අගෝස්තු 05-08 දක්වා මල් පෙරහරත් 09 දින පාවාඩ පෙරහරත්, 10 වැනිදා රන් සිවිලි මහා පෙරහරත්, 11දා රන්දෝලි මහා පෙරහරත් අගෝස්තු 12 දින දිය කපන පෙරහරත් පවත්වා දේව දානය ලබාදී රාත්‍රියේ ගරා යක් නැටුමෙන් සියලු වස්දොස් පහකර රට වැසියන්ටත්, පෙරහැර නර්තන කණ්ඩායම්වලටත් ආශීර්වාද පතමින් 68 වැනි ඇසළ පෙරහර පුණ්‍යෝත්සව කටයුතු නිමා කිරීමට සැලසුම් කර තිබේ.
දෙහිවල - එච්.එම්. ධර්මපාල