Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...
මේ ලෝකයෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් විද්‍යමාන වෙති. එක් පුද්ගලයෙකු භෝග ඉපයීමට හෝ කුසලාකුසල ධර්මයන් විනිශ්චයට නොදන්නා පුද්ගලයෙකි. බුදුරජාණන් වහන්සේ ඔහු අන්ධයෙකු හා සමාන පුද්ගලයෙකු ලෙස දැක්වූහ. ඇතැම් පුද්ගලයෙකු මෙලොව ජීවත් වීමට අවශ්‍ය භෞතික සම්පත්තීන් සෙවීමට දන්නේ නමුදු, කුසල කර්මයන් සිදුකිරීමට නොදනී. ඔහු එක් ඇසක් ඇති පුද්ගලයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. එසේම ඇතැම් පුද්ගලයෙකු මෙලොව ජීවත්වීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නාක් මෙන්ම, පරලොව පිළිබඳවද සිතා බලමින් කටයුතු කරයි. ඔහු ඇස් දෙකක් ඇති පුද්ගලයෙකු ලෙසට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. ඒ ඇස් දෙකක් ඇති පුද්ගලයා කුසලාකුසල ධර්මයන් විනිශ්චයෙහි ඉතාමත් දක්ෂ තැනැත්තෙකි.
අංගුත්තර නිකායෙහි දක්නට ලැබෙන මේ සූත්‍රය පිළිබඳව විමසා බැලීමේදී පරලොව යහපත් කර ගැනීමට අවශ්‍ය කුසල කර්ම සිදුකිරීමෙහි වැදගත්කම තේරුම්ගත හැකිය. ඒ අනුව බුද්ධ දේශනාව තුළ ලෞකික කුසල ප්‍රතිපදාව කිසිසේත් ප්‍රතික්ෂේප වී නැති බව අපට තේරුම් යයි. නමුත් වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු අතර පවත්නා මිථ්‍යා මතයක් වනුයේ පින් සිදුකිරීමෙන් සසර දික්වන්නක් නිසා ඉන් වැළකිය යුතු අතර, කුසල ධර්මයන් අප විසින් සිදුකළ යුතුය යන්නයි. එයින් කුසලය යනු නිවන් දැකීම සඳහා කෙනකු සිදු කරන දේ වන අතර, ලෞකික කුසල ධර්මයන් පින් ලෙස වැඩි දෙනෙක් හඳුන්වති. ඒ අනුව පින සහ කුසලය අතර පවත්නා වෙනස පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් පළ කරනු දක්නට ලැබේ. ඒ නිසාම පින සහ කුසලය අතර පවත්නා වෙනස පිළිබඳව අප ධර්මානුකූලව විමසා බැලීම සහ තේරුම් ගැනීම ඉතා වැදගත් හා කාලෝචිත දෙයකි.
මේ කාරණාව පිළිබඳව විමසා බැලීමේදී මජ්ඣිම නිකායාගත මහා චත්තාරිසක සූත්‍රය ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවකි. මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කොටස් දෙකක් ලෙස දේශනා කොට ඇත. එහි පළමු සම්මා දිට්ඨිය &සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්ඛා* යන වචනයන්ගෙන් පරිභාවිත සම්මා දිට්ඨියක් ලෙස දක්නට ලැබේ. ඒ අනුව කර්මය හා කර්මඵලය අදහන නුවණත් සම්මා දිට්ඨියට අදාළ දෙයකි. එහි ලක්ෂණ ලෙස සාසවා හෙවත් ආශ්රවයන්ගෙන් ඇසුරු කළ හැකි බව පින් පක්ෂයෙහි වැටීම, විපාක ගෙනැවිත් දීම යන කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්විය හැකිය. එනම් සරල ලෙසම එය කම්මස්සකතා සම්මා දිට්ඨියයි.
කම්මස්සකතා සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක ප්‍රතික්ෂේප නොකළහ. නිරන්තරයෙන්ම පුණ්‍යය ධර්මයන්ගේ ඇති වටිනාකම පිළිබඳව උන්වහන්සේ දේශනා කළහ. ඇතැම් අවස්ථාවක &මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ යදිදං අධිවචනං පුඤ්ඤානං* යනුවෙන් &මහණෙනි, පිනට භය වන්නට එපා, පින යනු සැපයට ඇති තවත් එක නමක්* ලෙස දේශනා කළහ. ඒ අනුව පින යනු බුද්ධ දේශනාව තුළ ප්‍රතික්ෂේප වූ ධර්මයක් නොවන බව අපට හොඳාකාරව තේරුම් ගත හැකිය. විශේෂයෙන්ම අපදාන පාළිය ථේර ථේරී ගාථා අධ්‍යයනය කරන්නෙකුට පින් හෙවත් ලෞකික කුසල ධර්මයන්ගේ ඇති ප්රයෝජනභාවය සහ එයින් ලද හැකි උත්තරීතර තත්ත්වයන් පිළිබඳව විශාල අවබෝධයක් ලබාගත හැකිය.
මනුෂ්‍යය ජීවිතය යනු ලෞකික කුසලයක විපාකයකි. එසේම තීක්ෂණ බුද්ධිමත් බවකින් සහ සුදුසු ප්රතිරූප දේශයක ඉපදීම ආදී සියලුම දේවල් කුසල කර්මයක විපාක ලෙස අප ලබාගන්නා දේවල්ය. ඒ අනුව, ඒ සියල්ලටම උපස්ථම්භක වනුයේ අප විසින් සිදුකර ගනු ලබන ලෞකික කුසල ධර්මයෝය. එහෙයින් ලෞකික කුසල ධර්ම යනු නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍ය පසුබිම සකසන ධර්ම කොට්ඨාසයකි. සද්ධර්මයෙහි අමාකිර බඳුව පවත්නා අභිධර්ම පිටකයෙහි කිසිදු තැනක පින් සිත් පිළිබඳව විස්තර වී නොමැති අතරම, සෑම තැනකම විස්තර වී ඇත්තේ කුසල් සිත්ය. පින් ලෙස අප හඳුනාගනු ලබන අවස්ථාවන්හි පවත්නා සිත කාමාවචර කුසල චිත්තය ලෙස විස්තර වී ඇති අයුරු දැකගත හැකිය.
එසේම රූප භූමියෙහි ඉපදීමට හේතුවන දේ රූපාවචර කුසලය ලෙසද, අරූප භූමියෙහි ඉපදීමට හේතුවන දේ අරූපාවචර කුසලය ලෙසට විග්රහ වී ඇති අයුරු මැනවින් දත හැකිය. ඒ අනුව ගත් කල, කාමාවචර කුසල සිත් යනු ලෞකිකව යෙදෙන සිත් විශේෂයකි. එසේ නම් කුසල් සිත් යනුවෙන් නිවන් අරමුණු කළ කුසල් පමණක් යැයි කීමම මිථ්‍යාවකි.
පින හෙවත් ලෞකික කුසල ධර්මයක ස්වභාවය, පසුව ආශ්රවයන්ගෙන් එය ඇසුරු කළ හැකි බවයි. එයම මතු විපාක ගෙනැවිත් දෙන විපාක ශක්තියකින් යුක්ත වූවකි. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිදු අවස්ථාවක ඒ කුසලය හෙවත්, පින සිදු නොකළ යුතු බවට භික්ෂූන් වහන්සේලාට හෝ කිසිවෙකුට දේශනා නොකළහ. පින යනු සසර දික්කරන වැරදි දෙයක් නම්, බුදුරජාණන් වහන්සේ කිසිම විටෙක එය කළ යුතු දෙයක් හැටියට දේශනා නොකරනු ඇත. ධම්මපදයෙහි දක්නට ඇති ගාථාවක 'පුඤ්ඤ පාප පහීනස්ස නත්ථි ජාගරතෝ භයං' ලෙස දක්නට ඇත.
මෙය වරදවා ගත් බොහෝ දෙනෙකු සිතනුයේ මාර්ගය තුළද පින් සහ පව් නොකොට සිටිය හැකි යැයි කියාය. නමුත් කිසිම අවස්ථාවක ප්‍රතිපදාවක් ලෙස බුදුරජාණන් වහන්සේ පින් නොකර සිටීම සහ පව් නොකර සිටීම යන දෙකම එකට නොවදාළහ. වදාළේ සියලු අකුසලයන් නොකර සිටීම පමණකි. උන්වහන්සේ කුසලයන්ගේ අභිවෘද්ධිය නිරන්තරයෙන්ම දේශනා කළහ.
කුසලයන් යනු ලෞකික කාමාවචර කුසල් මෙන්ම, රූපාවචර ආදී සියලු භූමීන්ට ඇතුළත් දෙයකි. නමුත් ඒ සෑම තැනකම රැඳී සිටීමට අවශ්‍යතාවක් නැත. ඒ නිසා ඒ සෑම තැනකම තෘෂ්ණාවෙන් ඇසුරු නොවන ලෙස සිත සකසා ගැනීම හෙවත්, 'සචිත්ත පරියෝදපනය' බුදුරජාණන් වහන්සේ පනවා වදාළහ. අප අනුරාධපුරයේ සිට කොළඹට පිටත් වනවිට 'කොළඹ' හෙවත් 'ගමනාන්තය' අනුරාධපුරයේ සිට මග දෙපස දක්නට නැත.
එමෙන්ම නිර්වාණයෙහි දක්නට ඇති කුසලාකුසල හේතු විරහිතභාවය කිසිලෙසක මාර්ගයෙහි දක්නට නොහැකිය. යම්කිසි කෙනෙකු කුසලය සහ අකුසලය යන දෙකම නොකර සිටීමක් පනවන්නේ නම් ඔහු 'කොළඹ', අනුරාධපුර සිට යන මාර්ගය දෙපස ඇත්තක් කොට දකින්නෙකු හා සමානය. කිසිදු ලෙසක ප්‍රතිඵලය මාර්ගයෙහි නැත. මාර්ගයෙහි ගමන් කිරීමෙන් ප්‍රතිඵලයට පැමිණිය යුතු වන්නාක් විනා, ප්‍රතිඵලය මාර්ගයෙහි නැත. ඒ නිසාම 'පුඤ්ඤ පාප පහීනස්ස' යනුවෙන් දැක්වෙනුයේ පින් පව් දෙකටම හේතු දුරු කළ උත්තමයෙකුගේ ලක්ෂණයක් විනා මාර්ගයෙහි දැකිය යුත්තක් නොවේ. ලෝකෝත්තර මාර්ගය යනු කුසලාකුසල කර්ම රැස්කර ගැනීමට ඇති හේතු දුරු කරන මාර්ගයක් හෙවත්, හේතුව නසන මගකි. එය ලෝකෝත්තර සම්මා දිට්ඨිය විමසීමෙන් දත හැකිය.
ලෝකෝත්තර සම්මා දිට්ඨිය දේශනා කරන බුදුරජාණන් වහන්සේ 'අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා' යනුවෙන් දේශනා කොට ඇත. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු ආර්ය වූ දෙයකි. එය ආශ්රවයන්ගෙන් කිසි ලෙසක ඇසුරු නොවෙයි. එය මාර්ග අංග හා පරියාපන්න වූවකි. එම සම්මා දිට්ඨියෙහි විශේෂත්වය නම්, එය සම්‍යක් දර්ශනය තුළින් කර්ම ක්ෂය කිරීමට හැකියාව ලැබීමයි. ඒ නිසාම එහි පවත්නා ලක්ෂණය පිළිබඳව විමසා බැලීම බොහෝ වටී.
දන්දීම කුසලයකි. දානයක් දෙනු ලබන විට ඒ දන්දීම කුසලයක් වුවද, ඒ කුසල සංස්කාරයට හේතු වූයේ අවිද්‍යාව හෙවත්, යථාර්ථය නොදන්නාකමය. දන්දෙනු ලබන කුසලයක් සිදුකරනු ලබන තැනැත්තා කුසලය සිදුකිරීමට පදනම සකසා ගනු ලබන්නේ අවිද්‍යාව මත පිහිටා සිටිමිනි. ඒ නිසාම පුඤ්ඤාභි සංස්කාරයට හේතුව ලෙසත් බුදුරජාණන් වහන්සේ අවිද්යාවම පෙන්වා වදාළහ. ඒ අනුව ලෞකික කුසලයද අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදිනු ලබන්නකි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඉපදුනද යහපත් විපාක ගෙනවිත් දෙන බව නිසාත්, නිර්වාණගාමී ප්‍රතිපදාවට අවැසි පරිබාහිර සාධක සැකැස්මට උපකාර වන නිසාත්, බුදුරජාණන් වහන්සේ ලෞකික කුසලය අනුදැන වදාළහ.
කෙනෙක් යම්කිසි ක්‍රියාවක් සිදුකරනු ලබන්නේ අලෝභසහගත සිතින් නම්, අද්වේශසහගත සිතින් නම්, අමෝහසහගත සිතින් නම් එබඳු වූ ක්‍රියාව කුසලයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව අප විසින් කරනු ලබන අලෝභ, අද්වේශ, අමෝහසහගත සිතින් කරනු ලබන දේ යහපත් ක්‍රියාවකි. එය කිසිදු ලෙසක අයහපත් ක්‍රියාවක් විය නොහැකිය. ඒ නිසාම කුසල් හෙවත් පින් නොකර හැරීම කෙසේවත් කළ නොහැකිය.
ඇතැම් විට කුසලාකුසල විනිශ්චය හා චේතනාව පිළිබඳව අවබෝධයක් නැති ඇතමුන් වර්තමාන කාලයෙහි කුසලය පිළිබඳව විවේචනය කරනු දක්නට ලැබෙයි. ඇතැම් කෙනෙක් වන්දනාමාන විදියෙන් පුද පූජා චාරිත්‍රයන් විවේචනය කරනු ලබයි. ඔවුහු ලෞකික සම්මා දිට්ඨියවත් නොමැති, ධර්මයෙහි උණුසුමවත් ලබා නොමැති පිරිසකි. ඇතැම්විට භෞතිකවාදී මූලධර්මයන් ඔස්සේ කුසලය පිළිබඳව විවේචනය කරන්නට යෑමද නුවණ මඳ අය මගින් සිදුවේ.
යම් කෙනෙක් මහා සෑයට හෝ බුදුරජාණන් වහන්සේ අරමුණු කොට ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියෙහි කරන පූජාව විවේචනයට පාත්‍ර කරනුද දක්නට ලැබේ. බුද්ධ පූජාවක් පවත්වනු ලබන්නේ සෑයකට හෝ ගසකට හෝ පිළිමයකට නොව බුදුරජාණන් වහන්සේටය. අද එහි ප්රතිග්රාහකත්වය විද්‍යමාන වූවද, නොවූවද ඒ පූජාව බුදුරජාණන් වහන්සේටම කළ පූජාවක් හා ගැනේ. ඒ සිත සමාන බැවිනි.
කුසලය යනු ක්‍රියාව තුළින් සිදුවන්නක් නොව, එය චේතනාව අනුව සිදුවන්නකි. ඒ නිසා ලෞකික කුසලය විවේචනය කිරීමට පෙර ඔබේ සිත තුළ පහළ වන ලෝභ, ද්වේශ හෝ මෝහසහගත අරමුණ පිළිබඳ ඔබ අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් වටින්නේය. කෙනෙකු මහානර්ඝ ලෙස බුද්ධ පූජාවක් පවත්වන කළ කෙනෙක් බුද්ධ පූජාව දෙස බලා මේ වියදමෙන් දුප්පතුන් උදෙසා ආහාර දුන්නේ නම් මැනවැයි කල්පනා කරනු ඇතැම් විට දක්නට ලැබෙයි. එතරම් දුර නොසිතූවද එවැනි ක්‍රියාකාරකම් ඉතාමත් බරපතළ මනෝභාවයන්ය.
දුප්පතෙකුට සලකන කල ඔහුගේ ගුණ විශේෂය පිළිබඳව සිතිය හැකි ප්‍රමාණය සීමා සහිතය. සිතිය හැක්කේ ඔහුගේ අසරණභාවය පිළිබඳව පමණි. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතන්නෙකුට, ඔහුගේ ප්‍රඥාව යම් පමණක්ද, ඔහුගේ සිතීමේ ශක්තිය යම් පමණක්ද, එපමණකටම බුදුගුණ පිළිබඳව සිහිපත් කරමින් ඒ කරන කුසලය සිදුකළ හැකිය. ඒ අනුව ඔහුගේ කුසලය දියුණු වී මෙහිලා බල පවත්වනුයේ චේතනාව නම්, බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිදුකළ ඒ මහා පූජාවේ විපාකය සහ කුසල ශක්තිය ඉතාමත් විශාල බව කරුණු කාරණා විමසන්නකුට මනාව තේරුම් ගත හැකිය. ඒ අනුව කුසලය යනු තම කුසල චේතනාවයි. එය බලවත්ව ඇති වන තැන කුසලයද බලවත්ය.
ලෞකික කුසලය පිළිබඳව අප තීරණය කළ යුත්තේ ලෞකික දර්ශනයට අනුව මිස ලෝකෝත්තර දර්ශනයට සමානුපාතව නොවේ. ලෝකෝත්තර දර්ශනයට අනුව භවය යනු නුසුදුසු දෙයක් වන අතර, කර්ම සකස් කිරීමද නුසුදුසු දෙයකි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ නිර්වාණයට සාපේක්ෂව සියලු උත්පත්තීන් දුගතීන් ලෙස දේශනා කළහ. එසේ සියලු උත්පත්තීන් දුගතීන් ලෙස දේශනා කළද සුගතියක් නැති යැයි ඉන් ගම්‍ය නොවේ. එසේ නම් ලෞකික අර්ථ හා ලෝකෝත්තර අර්ථ පටලවා නොගැනීමෙන් අපට කුසලය සහ පින අතර, පවත්නා වෙනස මැනවින් තේරුම් ගත හැකිය.
ලෝකෝත්තර කුසලය යනු ලෞකික කුසලය ඉක්මවා සිටි, උත්තරීතර ප්‍රඥාවෙන් ලබන අවබෝධයකි. ඒ තුළ ලෞකික කුසලයට හෝ අකුසලයට පදනම් වූ අවිද්‍යාවට ඉඩකඩක් නැත. අවිද්‍යාව නැති කිරීමෙන් ලබන කර්ම ක්ෂය කිරීම එහි පදනමයි. ඒ නිසා කර්ම ක්ෂය කිරීම පිණිස පවත්නා යම් දැක්මක් ඇත්නම්, ඒ දැක්ම කිසිදු ලෙසක ලෞකික දැක්මක් නොවේ. ලෞකිකත්වය තුළ කර්ම කිරීම සහ කර්ම රැස්වීම දක්නට ලැබුණද, ලෝකෝත්තරය තුළ කර්ම රැස්කිරීමක් දක්නට නැත. කර්ම රැස්කිරීමක් නැත්තේ ආයූහන ලක්ෂණයක් එහි නැති නිසාය. ආයුහන ලක්ෂණය යනු රැස් කිරීමයි. ලෝකෝත්තර මාර්ගයෙහි රැස්වීමක් නැත්තේ රැස්කිරීමට දෙයක් නැති බැවිනි. එම මාර්ගය කුසලයකි.
එලෙස විමසන කල ලෞකික හා ලෝකෝත්තරව කුසල යන පදය භාවිතව ඇති අයුරු ත්‍රිපිටකය තුළින් තේරුම් ගත හැකි අතර, පුඤ්ඤ හෙවත් පින යන යෙදුම ලෞකික කුසල් හැඳින්වීමට භාවිතව ඇති අයුරුද දත හැකිය. පින හා කුසලය දෙකක් ලෙස නොගෙන, සුධීමතුන් ත්‍රිපිටකය අනුව කටයුතු කෙරෙත්වා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි..!
Blurb
1.
අප අනුරාධපුරයේ සිට කොළඹට පිටත් වනවිට %කොළඹ^ හෙවත් %ගමනාන්තය^ අනුරාධපුරයේ සිට මග දෙපස දක්නට නැත. එමෙන්ම නිර්වාණයෙහි දක්නට ඇති කුසලාකුසල හේතු විරහිතභාවය කිසිලෙසක මාර්ගයෙහි දක්නට නොහැකිය. යම්කිසි කෙනෙකු කුසලය සහ අකුසලය යන දෙකම නොකර සිටීමක් පනවන්නේ නම් ඔහු %කොළඹ^, අනුරාධපුර සිට යන මාර්ගය දෙපස ඇත්තක් කොට දකින්නෙකු හා සමානය. කිසිදු ලෙසක ප්‍රතිඵලය මාර්ගයෙහි නැත. මාර්ගයෙහි ගමන් කිරීමෙන් ප්‍රතිඵලයට පැමිණිය යුතු වන්නාක් විනා, ප්‍රතිඵලය මාර්ගයෙහි නැති බව දත යුතුය.
2.
කෙනෙකු මහානර්ඝ ලෙස බුද්ධ පූජාවක් පවත්වන කළ කෙනෙක් බුද්ධ පූජාව දෙස බලා මේ වියදමෙන් දුප්පතුන් උදෙසා ආහාර දුන්නේ නම් මැනවැයි කල්පනා කරනු ඇතැම් විට දක්නට ලැබෙයි. එතරම් දුර නොසිතූවද එවැනි ක්‍රියාකාරකම් ඉතාමත් බරපතළ මනෝභාවයන්ය. දුප්පතෙකුට සලකන කල ඔහුගේ ගුණ විශේෂය පිළිබඳව සිතිය හැකි ප්‍රමාණය සීමා සහිතය. සිතිය හැක්කේ ඔහුගේ අසරණභාවය පිළිබඳව පමණි. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතන්නෙකුට, ඔහුගේ ප්‍රඥාව යම් පමණක්ද, ඔහුගේ සිතීමේ ශක්තිය යම් පමණක්ද, එපමණකටම බුදුගුණ පිළිබඳව සිහිපත් කරමින් ඒ කරන කුසලය සිදුකළ හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd