රට, ජාතිය හා ආගම වෙනුවෙන් සුවිශාල සේවයක් කර මෙරට වැඩිම දරු පරපුරක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් .දිඹුලාගල හාමුදුරුවෝ හෙවත් මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව අපවත් වී පෙරේදා (26දා) දිනයට වසර 23ක් සපිරිණි. සිංහල, දමිළ, මුස්ලිම් හා ආදිවාසී ජනතාවට එක සේ සේවය කර, ඉඩම් මැන දී ගොවි ජනපද බිහිකර, පළාතේ වෙහෙර විහාරස්ථාන 86ක් ඉදිකිරීමට මුල් වූ සීලාලංකාර නාහිමියන් 1995 මැයි 26 වැනිදා උදෑසන ගොවිපළට වැඩම කරමින් සිටියදී මැණිකේ ඇළ අසලදී වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්වූහ.
'දිඹුලාගල හාමුදුරුවෝ' නමින් ලෝප්‍රකට වූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර, කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් වහන්සේගේ චරිතයෙන් වත්මන් මහසඟ පරපුරට ගත හැකි පූර්වාදර්ශයන් බොහෝය.දිඹුලාගල නාහිමියන් පැවිදි ශාසනයට ඇතුළත් කරගෙන ඇති භික්ෂූන් වහන්සේලා ගණන 1500කට අධිකය.
පොළොන්නරුව, මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය ඇතුළු ප්‍ර‘දේශ රැසක බෞද්ධ ජනතාව වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඇති දිඹුලාගල නාහිමියන් මහවැලි බී කලාපයේ ගම්මාන බිහිකිරීමට පුරෝගාමී වූහ.මාදුරුඔය ජලාශය ඉදිකිරීමට පෙරමුණ ගත් දිඹුලාගල නාහිමියන්, ගම්මාන ඉදිකරමින්, ජනතාව පදිංචි කරවමින් ඔවුන්ගේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම සඳහා බලධාරීන් අවදි කරවීමට කටයුතු කළ සංඝපීතෘ නමකි.
පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවි ජනතාව යම් ආපදාවකට, ගංවතුරකට හෝ වෙනත් උවදුරකට ලක්වූයේ නම්, ජනතාවගේ එකම ගැලවුම්කරුවා වූයේද දිඹුලාගල හාමුදුරුවන්ය.ගම්, නියම්ගම් පුරා පිඬුසිඟා වඩිමින් එකතු කරගත් දානවේල පවා අසරණයෙකුට දන් දෙමින් කටයුතු කළ දිඹුලාගල නාහිමියන් අප රටේ වත්මන් භික්ෂු පරපුරටද පූර්වාදර්ශයක් ලබාදුන් සඟරුවනකි.
දශක ගණනාවකට පෙර රජදහනක්ව පැවැති දිඹුලාගල වන සෙනසුන වෙත උන්වහන්සේ වැඩම කරවීමත් සමග ඇති වූ බෞද්ධ ප්‍ර‘බෝධයෙන් භික්ෂූන් වහන්සේලාගෙන් එම අරණ පිරී ඉතිරී ගියේය.සිංහල, දමිළ, මුස්ලිම් හා ආදීවාසී ගම්මාන 148ක වෙසෙන ජනතාවගේ සෞඛ්‍යය පහසුකම් නංවාලීම සඳහා මානම්පිටිය නගරය ආසන්නයේ 1991 වසරේදී දිඹුලාගල ආයුර්වේද රෝහලක් ඉදිකිරීමට කටයුතු කළ දිඹුලාගල නාහිමියෝ, මහවැලි බී කලාපය පුරා පාසල් රැසක්ද ආරම්භ කිරීමට කටයුතු කළහ.
මාදුරුඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට 1977දී පැවැති රජයේ මැති ඇමතිවරුන් දිරිගැන්වූ දිඹුලාගල නාහිමියෝ, එම ව්‍යාපාරය තුළින් ගොවි පවුල් පනස්දහසකට යලමහ දෙකන්නයේ වී වගා කිරීමට අවශ්‍ය මහවැලි ජලය ලබා දීමට ඉඩ සැලසූහ.අසරණ සරණ සිරි කාශ්‍යප ගෞරව නාම සම්මුතියෙන් උන්වහන්සේට උපහාර දැක්වීමට අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත සංඝනායක සභාව කටයුතු කළේය.
1979 ජුනි 12 වැනිදා උතුරු - නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ දිඹුලාගල නාහිමියෝ, ශ්‍රී ලාංකාවේ ප්‍රථම වරට ආදිවාසී පරපුර නියෝජනය කරමින් 20 දෙනෙකුට වැඩි පිරිසක් සඟ පරපුරට ඇතුළත් කර ගත්හ.දිවයිනේ විශාලතම ආරණ්‍ය සේනාසනය දිඹුලාගල බවට පත්කොට පැවැදි සිසු පරපුරට පිරිවෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් 1967 ජුනි මාසයේ දිඹුලාගල මහා කාශ්‍යප ධර්මායතන පිරිවෙන ආරම්භ කිරීමටද මුල් වූයේ දිඹුලාගල නාහිමියන්ය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වැදි ගෝත්‍රික දරුවන් 20 දෙනෙකු සසුන්ගත කරවා දිඹුලාගල සිට මහියංගනය දක්වා පෙරහර ආරම්භ කිරීමේ ගෞරවයද උරුම වන්නේ දිඹුලාගල නාහිමියන්ටය.එලෙස ආදිවාසී පරපුරෙන් පැවිදි බිමට පිවිස වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ධුරය හොබවන පූජ්‍ය මිල්ලතේ සිරියාලංකාර නාහිමියන් දිඹුලාගල නාහිමියන්ගේ ප්‍රධාන ගෝලයෙකු වීමද විශේෂත්වයකි.
වටිනාකමින් අධික අලංකාර සිවුරු, පිරිකරවලට දිඹුලාගල නාහිමියෝ ලොල් නොවූහ. පින්කමට වැඩම කිරීම සඳහා වාහනයක් එනතුරු බලා සිටියේ නොසිටියහ. පාගමනින් වැඩම කර පිඬුසිඟා වැඩි දිඹුලාගල නාහිමියන්ට හිමි වූ දානය සහ පිරිකර ආදියද අසරණ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළහ.
දේශපාලන නායකයන්ට හා ජනාධිපතිවරුන්ට කුඩ මිටෙන් පහරදී අවවාද අනුශාසනා කරමින් උතුරු - නැගෙනහිර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලබා ගැනීමට නොබියව මැදිහත්ව පළාතේ ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට දිඹුලාගල නාහිමියෝ මැදිහත් වූහ.
දිඹුලාගල මහා ගල් පර්වතය මත අලංකාරවත් 'අහස් මාලිගාවක්' ඉදිකර රජරට ගොවි පරපුර පමණක් නොව සකල ලක්වාසීන් අතර බෞද්ධ ප්‍ර‘බෝධය වපුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අති උතුම් සේවයක් ඉටුකළ දිඹුලාගල හිමියන්ගේ අපවත් වීමෙන් පසු ඇති වූ හිදැස කිසිවෙකුටත් මකාලිය නොහැකිවනු ඇත.
මනම්පිටිය - නිමල් ජයරත්න