උසස් ගණයේ කලා නිර්මාණයන්ගෙන් සැදුම්ලත් හා කෞතුක භාණ්ඩ රැසකින් පිරිපුන් ශ්‍රී ලංකාතිලක රජමහා විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, හන්දෙස්ස, හියාරාපිටිය නම් සුන්දර ගම්මානයේ පැන්හල්ගල පර්වතය මත පිහිටා තිබේ.
ලෝවැසි සියලු දනන්ගේ ගරු බුහුමන්වලට හා ගෞරවයට ලක්වූ මෙම විහාරය අපිරිමිතවූ කලා හැකියාවන්ගෙන් සමන්විත ස්ථානයක් ලෙස ප්රකටය. පිළිමතලාව නගරයෙන් වැටී ඇති දවුලගල මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගියවිට මෙම විහාරස්ථානයට ළඟාවිය හැකිය.
ක්‍රිස්තු වර්ෂ 1344දී ගම්පොළ හෙවත් ගඟසිරිපුර හතරවැනි බුවෙනකබා රජ සමයේ ඉදිකරන ලද ලංකාතිලක රජමහා විහාරය එකල ලංකාධීස්වර හතරවැනි බුවෙනකබා රජුගේ අමාත්‍යවරයෙකු වූ සේනාධිලංකාර අමාත්‍යවරයා විසින් කරවන ලද්දක් වශයෙන් හැඳින්වේ.
මෙම විහාරය 14 වැනි සියවසේ බෞද්ධ හා හින්දු ආගම් මිශ්‍රව සිංහල, ද්‍රවිඩ, ඉන්දු හා චීන වාස්තු නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිත කරමින් මෙරට ඉදි වූ සිද්ධස්ථානයක් ලෙසද සැලකෙයි.
සමතලා නොවූ ගල් තලාවක් මත පිහිටි මෙම විහාරය කළු ගලින් හා ගඩොලින් නිර්මාණය කොට ගොඩනගා තිබේ. ලංකාතිලක තඹ සන්නසට අනුව මුලින්ම මෙම ගොඩනැගිල්ල අඩි 80ක් උස්ව පැවතී ඇත. කුරුසයක ආකාරයෙන් මෙහි භූමි සැලැස්ම නිර්මාණය කොට ඇති අතර ප්‍රථමයෙන්ම මෙය මහල් සතරකින් සමන්විත වූවක් ලෙස සඳහන් වුවද කාලයාගේ අවෑමෙන් එහි මහල් ප්‍රමාණය අඩුවී වර්තමාන තත්ත්වයට පත්ව තිබේ.
විහාරයට ඇතුළුවන ස්ථානයේ සඳකඩ පහණක් ඇති අතර එය අනුරාධපුර හෝ පොළොන්නරු යුගවල සඳකඩ පහන් මෙන් සමෘද්ධිමත් බවක් නොපෙනේ. තවද විහාර මණ්ඩපයට ඇතුළුවනවිට ගම්පොළ යුගයට අයත්වන විශාල මනස්කාන්ත මෙන්ම චිත්තාකර්ෂණීය දෙරටුව නිර්මාණය කොට ඇත. මෙහි විහාර මණ්ඩපය තුළ තිබෙන බිත්ති දෙපස සූවිසි විවරණ කතා ඇතුළත් මනස්කාන්ත චිත්‍ර රැසක්ද මෑතකදී සොයා ගන්නා ලද සිංහ රූප සහිත චිත්‍ර දෙකක්ද මෙහි දක්නට තිබේ.
මේ අතර විහාර භූමිය තුළ චෛත්‍යයක්ද බෝධි ශාඛා දෙකක්ද ඇති අතර ධර්ම ශාලාවට බටහිරින් ඇතුළුවන දොරටුවේ වාහල්කඩක්ද ඉදි කොට තිබේ.
සිංහල හා ද්‍රවිඩ භාෂාවලින් නිමකරන ලද සෙල්ලිපි දෙකක් විහාර භූමියේ දක්නට ලැබේ. මෙකී සෙල්ලිපිවලින් විහාරයට මෙන්ම දේවාලයට පූජාකරන ලද ගම්වර පිළිබඳව විස්තරයක් සඳහන් වී ඇතැයි කියැවේ.
මෙම විහාරය සතුව අවුරුදු 750ක් පමණ පැරණි අඩි 30ක දිගකින් හා අඩි 15 ක පළලකින් සමන්විත ඕලන්ද රාජකීය කොඩියක්ද ඇති අතර 1765 වසරේදී මෙරට ඇති වූ බැරන් වැන් එක්ගේ හමුදාව හඟුරන්කෙත සටනින් පැරදී පළායද්දී ඔවුන්ගෙන් අල්ලා ගන්නා ලද්දකි.
තවද විහාරස්ථානය සතුව මැණික් පිළිමයක්ද ඇති අතර එවැනි ආකාරයේ දර්ශනීය වූත් විටිනාකමින් යුතු වූත් මැණික් පිළිම ඇත්තේ තුනක් පමණක් බව පැවසේ.
මීට අමතරව ඇත්දළින් මනා ලෙස සකසන ලද කොටස් තුනකින් සමන්විත කරඬුවක්, අවුරුදු 750ක් පමණ පැරණි කඟවේන අඟකින් ඉතාමත් සියුම්ව කැටයම් කරන ලද වටාපතක්, වසර 250ක් පමණ පැරැණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පරිහරණය කරන ලද බවට පැවසෙන සළුපිළිද සියම් කර්ම වාක්‍ය සඳහන් සළුවක්, වසර 750ක් පමණ පැරණි ධාතුන් වහන්සේලා හත් නමක් වැඩ සිටින පෙරහැරේ ගෙනියන ලද කරඬුවක් හා බුවනෙකබාහු රජතුමා විසින් කරවනලද බවට පැවසෙන ලෝකඩ පිළිමයක්ද විහාරස්ථානය සතුය.
ශ්‍රී ලංකාතිලක රජමහා විහාරස්ථානයේ වර්තමාන නායක ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරනු ලබනුයේ ස්‍යාමෝපාලි මහානිකායේ අමුණුගම රාජගුරු ශ්‍රී නිවාස විපස්සි නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ හා වර්තමාන බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරනු ලබන ප්‍රියන්ත අමුණුගම මහතා ඇතුළු පිරිස් විහාරස්ථානයේ හා ශාසනයේ අභිවෘද්ධියට විශාල මෙහෙවරක් සිදු කරමින් සිටිති.