මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටි ඉපැරණි රජ්ජුරු බණ්ඩාර දෙවොල හෙවත් ඵෙතිහාසික ගැටබරු රජමහා විහාරය ඵෙතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් ගන්නා පුදබිමකි.
විශේෂයෙන්ම ඵෙතිහාසික මානවයන් විසූ බවට සැලකෙන ඉපැරණි ලෙනක්,ඵෙතිහාසික වටිනාකමකින් යුත් ඉපැරණි රජමහා විහාරයක් ලෙසත්, දක්ෂිණ දීපයේ ජනීජනයාගේ ශ්‍රී ලාංකීය බොහෝ බෞද්ධ ජනතාවගේත් අචල විශ්වාසයත් ගෞරවාදරයට පත් ගැටබරු රජ්ජුරු බණ්ඩාරදෙවියන් වෙනුවෙන් තැනූ දේවමන්දිරයක් ලෙසත් මෙම පුදබිම බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට වර්තමානය වන විට පත්වී ඇත. විශේෂයෙන්ම දකුණේ වැසියන් තුළ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පවතින්නේ ගෞරවාන්විත භක්තියක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියකි.
ගැටබරු රජමහා විහාරය මුහුදු මට්ටමින් අඩි 1500 උසින් පිහිටි ගැටබරු ශිඛකරය තුළ පිහිටා ඇති අතර, රක්වාන හෙල් වැටියටත්, සිංහරාජ කඳු වළල්ලටත්, මොරවක් කදු වළල්ලටත් මැදිව පිහිටා ඇත. මෙම ඵෙතිහාසික පුදබිමේ විද්‍යමාන වූ පෞරාණික ලක්ෂණ කිසිවක් අද කියැවිය නොහැකි මට්ටමකට නවීකරණය වී ඇත. කටාරම් කොටන ලද ලෙන අදටත් දැක ගත හැකිය.මෙහි පිහිටා තිබෙන චෛත්‍ය සහ බෝධින් වහන්සේගේ පෞරාණිකත්වය තීරණය වන කිසිදු සාක්ෂියක් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
ගැටබරු රජමහා විහාරයේ ආරම්භය වළගම්බා රජුගේ රාජ පාලන කාලයේ මෙරට බෞද්ධ ජනතාව වෙනුවෙන් දයාද වූ බව සැලකේ. එහි ආරම්භය වළගම්බා රජු සමයේ ඉදිවූයේ යැයි ලිඛිත සාක්ෂි අල්ප වුවත් මුඛ පරම්පරාගත විශ්වාස අනුවඑම මතයන් බොහෝ දුරට පිළිගත හැකිය. වළගම්බා රජතුමන් රුහුණු මයා දෙරටේ සැඟවී සිටිමින් සේනා සංවිධානය කරද්දී රජුට ආරක්ෂාව හා රැකවරණය සලසා ලක් රජය එක්සේසත් කිරීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් කරන ලද උපකාරවලට කෘතගුණ සැලකීමක් ලෙස රට එක්සේසත් කිරීමෙන් පසු මෙම දෙවොල ඉදිකළ බව ජනප්රවාදයේ පවතී. විශේෂයෙන්ම වළගම්බා නිරිදුන් කරවන ලද යැයි සැලකෙන විහාරස්ථානවල පමණක් දක්නට ලැබෙන බස්නාහිර දෙවිදුන්ගේ ප්‍රතිමාව පිළිබඳ සලකා බලන විට පෙනී යන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් හා රජු අතර ඉතා සමීප සම්බන්ධයක් තිබූ බවයි.
රුහුණේ වෙසෙන දෙවිවරුන් අතර කතරගම දෙවියන්ගේ බල පරාක්‍රමය, තේජස, කීර්තිය සම කළ හැකි දෙවියෙකු නොමැති බව බොහෝ ජනතාවගේ විශ්වාසයයි. තේජාන්විත මහ බල පරාක්‍රම, කතරගම දෙවිදුන් හැරුණු විට ඊළග ප්‍රධානතම දෙවියන් ලෙස රජ්ජුරු බණ්ඩාර දෙවියන් ඇතමුන් සලකන අතර, කතරගම දෙවිදුන්ගේ සමීපතම මිතුරෙකු ලෙසත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් සැලකේ.
මුළු මහත් රුහුණු රට පුරාම තම බල පරාක්‍රමය විහිදුවා ගෙන සිටින රජ්ජුරු බණ්ඩාර දෙවියන් හෙවත් ගැටබරු දෙවියන්ට පාත දෙවි හාමුදුරුවන්,බස්නාහිර දෙවියන්, බටහිර දෙවියන් වැනි අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වීමට ඇතැම්හු පුරුදු ව සිටිති.
එවන් විශ්වකර්මිත ගෞරවාදරයට පාත්‍ර වූ දෙවියෙකු වැඩ සිටින පූජනීය පුද බිමක් ලෙස ගැටබරු රජමහා විහාරය දහසකුත් බෞද්ධයන්ගේ භක්ත්‍යාදරයට හා වැදුම්පිදුම් ලැබීමට තරම් පින්බිමක් වීම අරුමයක් නොවේ. කාලාන්තරයක් වල්බිහිවී කැලයට නතුවී තිබූ ඵෙතිහාසික ගැටබරු රජමහා විහාරය නැවත හමුවීම රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ හාස්කමක් ලෙස බොහෝ ගැමි ජනතාවගේ විශ්වාසය හා මතයයි. වර්ෂ 1834 දී කොටපොළ කෙහෙල් කොරටුව නමැති නිවසේ විසූ එලියස් හාමි දිනක් දඩයම පිණිස ගැටබරු කන්දට නැග ඇත. එහිදී ගෝනෙකු දැක ඔහු පසුපස ලුහුබඳින විට ගෝනා ගල් ගුහාවකට රිංගා ඇත. පසුව ඔහු ගෝනා සෙවීම පසෙකලා ගල්ගුහාව විපරම් කළ බවත්. එවිට ගුහාව තුළ පිහිටි මනරම් වූ දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දුටු බවත් අනතුරුව මේ පිළිබඳ ප්‍රදේශයේ ගම්වැසියන්ට සැලකර ඇති අතර මොරවක කැටගොඩ නම් උපාසක තැන මෙම ස්ථානයේ පැල් බැඳ එළිපෙහෙලි කර ගම්වාසීන්ගේ ආරාධනයෙන් වීරසිංහ කන්දේත් සුමංගල මහා නා හිමියන් අලුතින් තැනූ ආරාමයට වැඩමවාලූ බවත් පැවසේ. මෙම පුවත මෙම විහාරස්ථානයේ පොත් ගුලෙහි ඇති ඉපැරණි පුස්කොළ පොතක පවා සඳහන් කර ඇත.
තේජ බල සම්පන්න රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් පුදසත්කාර පිදිවිලි කරන වෙනත් ස්ථාන පැවතුනත් බොහෝ ජනතාව අනාදිමත් කාලයක සිට පුරුදු වී සිටින්නේ ගැටබරු රජ මහා විහාරස්ථානයට යාමටයි. මොරවක් කෝරලයේ ගැමියන් මෙන්ම දකුණේ බොහෝ සැදැහැති බෞද්ධ ජනතාව වර්ෂයක් පුරාවට එකතු කරගන්නා ලද පඬුරු හා තම මහන්සියෙන් වගා කරන ලද භව භෝග වගාවන්හි දෙවියන් වෙනුවෙන් කැප කරන ලද කොටස ඔප්පු කිරීමට යොදා ගනු ලබන්නේ ගැටබරු රජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයේදීය.
වාර්ෂිකව දහස් ගණනක් ජනතාව තමන්ගේ දුක් අඳෝනා, බාරහාර, අවලාද, සෙත් ශාන්ති වෙනුවෙන් පූජා පැවැත්වීමට මෙම පුදබිමට පැමිණෙන්නේ මෙහි වැඩවාසය කරන රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ඇති බල මහිමයත්, මෙම පුදබිමේ ඇති ඵෙතිහාසික වටිනාකමත් නිසාය.
62 වැනි වරටත් පැවැත්වූ වාර්ෂික ඇසළ මංගල්‍ය මෙවර සැප්තැම්බර් මස 19 වැනිදා අලුයම 5.52 ට යෙදෙන සුභ මොහොතින් කප්සිටුවා 26වැනිදායින් අවසන් විය.
මාතර - එච්.ඊ.ඒ. ප්‍රසාද්