ජපානයේ ප්‍රධාන සංඝනායක, දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති, කොළඹ අග්‍රශ්‍රාවක මහාවිහාරාධිපති සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දියානු ජාතික ලේඛක ශකීල් සිද්දික් මහතා ඉංග්‍රීසි බසින් රචිත අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමි චරිතාපදානය “අංජලිකරණීයෝ” ග්‍රන්ථය 2019 ජනවාරි 05 වැනිදා පෙ.ව 9.00 ට කොළඹ – 02 මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ඒ කෝට්ටේ ශ්‍රී කල්‍යාණ ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
කෘතියේ කර්තෘ ඉන්දියානු ජාතික ලේඛක ශකීල් සිද්දික් මහතා උපත ලබා ඇත්තේ ඉන්දියාවේ යූසුපූර් ගහාසිපූර්හිදී වන අතර එතුමා කුඩා කල ජීවත් වී ඇත්තේ සාරනාත්හිය. සාරනාත්හි මහබෝධි විද්‍යාලයේ වැඩ විසූ ධර්මරක්ෂිත හිමියන්ගෙන් සහ මැටිවල සංඝරතන නාහිමි වෙතින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ එතුමා බරණැස් විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය උපාධිය ලබා අනතුරුව පශ්චාත් උපාධිය ලබා ඇත්තේ ගණිතය විෂයෙනි.ඉන්දියාවේ ප්‍රවීණ දැන්වීම් වෘත්තිකයෙකු වන සිද්දික් මහතා බැංකුකරුවෙකු ලෙස ද සේවය කර ඇත.
ඔහු ඊට පෙර “අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතාපදානය” ද “සාහිල්” නමින් කෙටිකතා සංග්‍රහයක් ලෙස පළකර ඇත. අංජලිකරණීයෝ ග්‍රන්ථය මීට ටික දිනකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී උත්සවාකාරයෙන් එළිදැක්විණ. එය ඉන්දියාවේ ඉන්ද්‍රා ආයතනයේ ප්රකාශනයකි.