වසර 178 ක් වූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් එක් සන්ධිස්ථානයක් සටහන් කරමින් පොලිස් ස්ථානාධිපති තනතුරු දෙකක් එකම කැදැල්ලක් යටට ලැබීමේ අපූරු පුවතක් වාර්තා වෙයි.
ඇය අද(16දා) දින පින්දෙණිය පොලීසියේ නව ස්ථානාධිපතිනිය ලෙස රාජකාරි භාර ගැනීමට නියමිත ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ඒ. ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මියයි. ඇයගේ සැමියා කටුනායක ගුවන්තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ලෙස රාජකාරී කරන ප්‍රධාන පොලිස් පරික්ෂක එල්මෝ මැල්කම් පේටි මහතායි. හිමංක ස්ටේපොන් පේටි (23) පුතා හා නිකෙතා ඉයුනි පේටි (16) (දියණිය ) එම දෙපළගේ දරුවෝ වෙති.
ග්‍රාම සේවා වසම් 26 ක 35153 කට ආසන්න ජනතාවකගේ ආරක්ෂාව භාර ගැනීම සඳහා අද (11) දින සිට පින්දෙණිය නව පොලිස් ස්ථානාධිපතිනි ලෙස වැඩ භාර ගැනීමට නියමිත ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය මෙසේ පැවසුවාය.
“අපේ රටේ නොමග ගිය දරුවන් යහමගට ගෙන දරුවන්ට හොඳ අනාගතයක් උදාකර දීමේ ආශිර්වාදය මට ලැබිලා තියෙනවා. අදින් ආරම්භ වන නව රාජකාරියෙනුනුත් ප්‍රදේශයට, ගමට මෙන්ම රටට හැකි උපරිම සේවයක් කිරීමට ඉදිරි කාලයේදීත් මා කළ හොඳ දේ ආශිර්වාදයක් වන බව මට විශ්වාසයි.
32 වැනි පින්දෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස මෙම අසුනේ අසුන් ගන්නා මගේ මහත්තයත් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරනවා. අපි දෙදෙනාම රාජකාරියයි පවුල් ජීවිතයයි පටලවා නොගෙන යහපත් සිහියකින් කටයුතු කරනවා.
අද සමාජයේ තරුණ දූ පුතුන් ගැන අහන්න දකින්න දේවල් දිහා බැලුවහම අපේ දරු දෙන්න ගැන අපිට කිසිදු බයක් නෑ. පොලිස් සේවාව කියන්නේ මෙලොවදී පින්කම් රැසක් කරගන්න පුළුවන් සේවාවක් . සමාජයේ සෑම තරාතිරකම පුද්ගලයන්ට හැකි හා උපරිමයෙන්ම යහමග පෙන්නලා දුන්නොත් ඒ ආශිර්වාදයේ නිතැතින්ම අපිට වගේම විශේෂයෙන් අපේ දරුවන්ටත් ලැබෙනවා. ඒ ගැන මට දැඩි විශ්වාසයක් තියෙනවා.
1996 අප්‍රේල් 16 වැනි දා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට උප පොලිස් පරීක්ෂකවරියකු ලෙස සේවයට බැඳී යාපනය වවුනියාව ආදී ප්‍රදේශවල ක්රියාත්විත රාජකාරිවල නිරතව සිට 2001 වසරේ කැලණිය කොට්ඨාසය වෙත රාජකාරී වාර්තාකර අනතුරුව 2004 වසරේදී කෑගල්ල කොට්ඨාසය වෙත රාජකාරී වාර්තාකර 2010 වසරේදී පොලිස් පරීක්ෂකවරියක ලෙස උසස් වීම් ලබා කොට්ඨාසා ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ලෙස පත්ව 2016 වසරේදී කෑගල්ල දිසාවේ දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති තනතුරට පත්ව 2018 වසරේදි ජනපතිට කියන්න විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙසද ඇය කටයුතු කර ඇත.
අප්සරා කිෂාන්ති අබේසේකර මහත්මිය 2020 වසරේ සිට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස මේ දක්වා කටයුතු කරමින් කාලයේ වැලිතලාවෙන් වැලලීමට ගිය ආන්දෝලාත්මක මනුෂ්‍ය ඝාතන මෙන්ම අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගනිමින් ඊට වගකිව යුත්තන් නීතියේ රැහැනට හසු කරගැනීමට මග පෙන්වීමේ නියමුවා කටයුතු කරමින් වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරමින් පොලිස් දෙපාර්තමේන්තුව යන නම රන් අකුරින් බැබල වූ නිලධාරිනියකි.



