එදිනෙදා ජීවිතයේ මඟතොටේදී අප දකින මුහුණු බොහෝමයක් මුහුණ පොතේදී අපට දැකගත හැකි තරමට 'ෆේස්බුක්' අද මෙරට ව්‍යාප්තව තිබේ. විවිධාකාරයේ මතවාද, අදහස්, ආකල්ප පමණක් නොව මනස්ගාත පවා දිනපතාම ෆේස්බුක් තුළ සංස්කරණය වේ. එමෙන්ම එකිනෙකාට චරිත සහතික ලබාදීමට අධිකරණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ සමාදාන විනිශ්චකාරවරුන්ටත් වඩා වැඩි පිරිසක් ෆේස්බුක් තුළ සිටිති.
කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ගිය නීතිවිරෝධී ක්‍රියා, අසාධාරණකම් රැසක්ද ෆේස්බුක් නිසා අනාවරණය කොටගෙන නීතිය පවා ක්‍රියාත්මක කිරීමට හැකිවූ අවස්ථාද එමටය. කෙසේ වුවද ෆේස්බුක් අද සමාජය වෙත ඍජු බලපෑමක් එල්ල කළ හැකි මාධ්‍යයක් බවට පත්ව ඇති බව අතිශයෝක්තියක් නොවේ.
පසුගිය කාලය තුළ ෆේස්බුක් ඇසුරුකොට ගනිමින් ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් වාර්තා විය. ඉන් බොහෝමයක ලිංගිකත්වයට නැඹුරු වූ වීඩියෝපට හා ඡායාරූප වූ අතර, පාසල් සිසු සිසුවියන්ගේ නොමනා හැසිරීම් පවා මේ ආකාරයෙන් ෆේස්බුක් තුළ සංසරණය විය. මෙලෙස සංසරණය වූ බොහෝමයක් වීඩියෝපට සහ ඡායාරූප ඒවායේ පෙනී සිටින පිරිස් විසින්ම හෝ ඔවුන්ගේ මිතුරන් හෝ වෙනත් නොදන්නා පාර්ශ්වයක් විසින් ගන්නා ලද ඒවා වූ අතර, අතිශය පෞද්ගලික සිදුවීම් පවා ඒ අතර විය.
ඇතැම් පිරිස් ද්වේෂ සහගත ලෙස පළිගැනීමේ අරමුණින්ද මෙවැනි දේ සිදුකර තිබේ. ඒ අනුව පෙනීයන්නේ ෆේස්බුක් භාවිතකරන සියලුදෙනාටම මොළයක් තිබුණද, බුද්ධියක් ඇති පිරිසකට සිටින්නේ අතළොස්සක් බවයි.
ඇතැම් අවස්ථාවල සමහර තරුණයන් අමනාප වූ තම පෙම්වතියට පෙනෙන්නට තමන්ටම සිදුකරගත් හානි පෙන්වා ඡායාරූප පළ කළ අවස්ථාද අප කොතෙකුත් දැක තිබේ. එපමණක් නොව ප්‍රේමය අහිමි වූ නිසා තමා සියදිවි නසා ගන්නා බව ෆේස්බුක් හී පළකර නිකරුණේ සිය ජීවිතය නැතිකර ගනිමින් 'ප්‍රේමය මරණීය' බව පසක් කළ පෙම්වතුන්ද, තමා දිවිනසාගත් බව ඇඟවීමට ව්‍යාජ ඡායාරූප පළකරමින් මුහුණු පොත කැළඹූ 'ආදරය අන්ධයි' කියා සිතූ පෙම්වතියෝද ෆේස්බුක් හි සිටී.
මෙරට ඇතැම් ෆේස්බුක් පරිශීලකයන්ගේ මානසිකත්වය හා මෙවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳ සමාජ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් ගෙන ඒමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේකෝන් මහතාව 'අදට' සම්බන්ධකර ගතිමු.
අපි මේ සිටින්නේ සන්නිවේදන තාක්ෂණය අතිශය දියුණු අවධියක. ඒ වගේම මෙම සන්නිවේදන මෙවලම් ඕනෑම අයෙක් අත දැකගත හැකියි. මේ ෆේස්බුක් භාවිතය අපි දකිනවා එක්තරා ආකාරයක විලාසිතාවක් ලෙස. වර්තමානයේදී යමෙකුට ෆේස්බුක් ගිණුමක් නොමැති වීම එක් අයුරකින් මදිපුංචිකමක් ලෙස සලකනවා.
ෆේස්බුක් භාවිත කරන්නන් අතර වයස අවුරුදු 13 සිට 30 දක්වා පිරිස් තමයි වැඩිපුරම සිටින්නේ. මේ පිරිසේ බහුතරය අධ්‍යාපනය ලබනවා, අවිවාහකයි එසේත් නැතිනම් තවමත් නිවසෙන් යැපෙනවා. ඒ නිසා මොවුන්ට තිබෙන සමාජ වගකීම් ඉතා අඩුයි. ඒ වගේම ඔවුන් ජීවිතය දකින්නේ ඉතාමත් සැහැල්ලුවෙන්.
බටහිර රටවල් ගත්තාම ෆේස්බුක් වැනි මාධ්‍ය ඔවුන් බහුලව භාවිත කරන්නේ ප්‍රයෝජනවත් හා හරවත් අදහස්, නව නිර්මාණ, අධ්‍යාපනික දැනුම වැනි දේ බෙදා හදාගන්නයි. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු 3 වැනි ලෝකයේ රටවල් එතන නැහැ. අපි තවම ඉන්නේ එක්තරා ආකාරයකට නොදියුණු මානසිකත්වයක. ඒ නිසා බොහෝදෙනා මේ මාධ්‍ය යොදාගන්නවා පෞද්ගලික ජීවිතයේ සංවේදී, භාවාත්මක, හැඟුම්බර කාරණාවන් පළකරන්න. ඇතැම්විට අතිශය පෞද්ගලික කාරණා පවා මේ ආකාරයෙන් පළ කරනවා. මේ තත්ත්වය අපි මනෝමූලිකව දකින්නේ එක්තරා විලාසිතාවක් ලෙසයි. මේ නිසා තම ආත්මගරුත්වයට වන හානිය ගැන මේ පිරිස් හිතන්නේ නැහැ.
එතුළින් ඔවුන් පැහැදිලිවම අපේක්ෂා කරන්නේ ජනප්‍රියත්වය. 'මට ජීවිතේ එපා වෙලා', 'මම වැඩිකල් ඉන්න එකක් නැහැ', එසේත් නැත්නම් 'මම ජීවිතේ නැතිකර ගන්නවා' වැනි ප්‍රකාශ නිතරම පළකරන පිරිස්වලින් අති බහුතරයක් බලාපොරොත්තු වන්නේ අනෙක් අයගේ අවධානය සහ අනුකම්පාව දිනා ගැනීමයි. සමාජ මනෝවිද්‍යාත්මකව සැලකීමේදි 'ෆේස්බුක් ඇබ්බැහි වීමක්' අපි දකිනවා.
මෙය එක්තරා අයුරකින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමක් හා සමානයි. ඔවුන් සිතනවා දවසේ යම් වේලාවක් මේ සඳහා වෙන් කළ යුතුමයි කියලා. මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක් සිටින්නේ පියවි සිහියෙන් නොවෙයි. ඒ වගේමයි ෆේස්බුක් සඳහා තදින් ඇබ්බැහි වූවෙක් ලෝකය දකින්නේ පියවි සිහියෙන් නොවෙයි. අවට පරිසරයේ සිදුවන සෑමදෙයක්ම ෆේස්බුක් තුළ අහන දකින දේ සමග සංසන්දනය කරන්න ඔවුන් පෙළඹෙනවා.
මෙවැනි පිරිස් නිවසේ සිටියත්, පාරතොටේ ගියත්, බසයක හෝ දුම්රියක ගියත්, යම් නිදහස් තැනකට ගියත් කිසිදු ස්වයං පාලනයකින් තොරව නිරායාසයෙන්ම සිය ෆේස්බුක් ගිණුමට ඇතුළු වෙන්න පෙළඹෙනවා. ඔවුන්ගේ ලෝකය වෙන්නේ ඇස් ඉදිරියේ තිබෙන දුරකථනය හෝ පරිගණකය. ඒ නිසා පවුල, යාළු මිත්‍රාදීන්, අවට සමාජය සමග තිබෙන අන්තර් පුද්ගල සබඳතා බිඳවැටීමට ලක්වනවා. ඒ හේතුවෙන් මොවුන් හුදකලා වෙනවා. මේ හුදකලා වීම හේතු වෙනවා මෙවැනි අය ෆේස්බුක් තුළ කිසිදා නොදුටු අයගෙන් ආදරය,සෙනෙහස,අවධානය හා අනුකම්පාව බලාපොරොත්තු වීමට.
වත්මන් තරුණ ප්‍රජාව පිළිබඳ අපි දකින කාරණාවක් තමයි ඔවුන් තුළ ආත්මාර්ථකාමී බවත්, හිනමානයත් දැඩි ලෙස ගැබ්ව තිබීම. නමුත් ඔවුන්ට එය වැටහෙන්නේ නැහැ. රසවින්දනය පවා ඉතා පහත් මට්ටමක තිබෙන්නේ. ලිංගිකත්වය, අසභ්‍ය ප්‍රකාශ වැනි දේවල් මගින් තමයි ඔවුන් රසවින්දනය ලබන්න හුරුවී සිටින්නේ. ඔවුන් නිතරම හිතන්නේ ඔවුන් දකින දේ සිතන දේ පමණයි සත්‍ය කියලා. සාරධර්ම වලට, ආගම දහමට, දේශීයත්වයට කිසිදු ගරු කිරීමක් නැහැ.
මෙවැනි හීනමානය සහ ව්‍යාජ වීරත්වයක් පෙන්වීමට යාම නිසා තමයි බොහෝ විට ෆේස්බුක් තුළ නිරාගමිකයි කියාගන්නා කණ්ඩායම් දකින්නට ලැබෙන්නේ.
නමුත් ෆේස්බුක් තුළ පළකරන අදහස්, ප්‍රකාශයන් නුවණින් විමසා බලන ඕනෑම කෙනෙකුට වැටහෙන දෙයක් තමයි සාදාචාරය, ධර්මතා හා අගනාකම් පිළිබඳ මොවුන්ට අහේතුක ද්වේෂයක් පවතින බව.
ගෝලීයකරණයත් සමග බහුජාතික සමාගම් සහ දියුණු යැයි කියාගන්නා සමාජයන් නිතරම උත්සාහ දරනවා මෙවැනි සමාජ මාධ්‍යයන් හරහා ශ්‍රී ලංකාව වැනි රටවල් ඔවුන්ගේ මතයන් දරණ තත්ත්වයට ගෙන එන්න. ඒ රටවල සාම්ප්රදායකත්වයන් හා හරපද්ධතීන් බැහැර කරන්න. එහි ප්‍රතිඵලයක් විදියටයි එක්තරා කෝලා බීම වර්ගයක් හා ලෝ පතළ ක්ෂණික ආහාර අවහන්හල් සන්නාම ඇසුරුකොටගෙන විවිධාකාරයේ සංස්කෘතීන් නිර්මාණය වී තිබෙන්නේ.
මෙය අපි නිරන්තරයෙන්ම තව යටත්විජිතවාදී සංකල්පය යටතේ කතා කරන කාරණාවක්.
පසුගිය කාලයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප සහ වීඩියෝවක් ෆේස්බුක් තුළ පළ වුණා. ඒ වගේම විවිධ පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික දේවල් පවා සංසරණය වුණා. මේවා එම පාර්ශ්වය විසින්ම හෝ වෙනත් පාර්ශ්වයක් විසින් තමයි අන්තර්ජාලය වෙත මුදාහැරියේ. මීට මූලිකව හේතු වී තිබෙන්නේ ව්‍යාජ වීරත්වයක් ආරෝපණය කරගෙන සමාජයෙන් ලොකු අවධානයක් දිනා ගනිමින් කැපී පෙනීමට ඇති අධික ආශාව. මෙය පැහැදිලිවම විශාල පෞරුෂ දුර්වලතාවක් ලෙසයි මා දකින්නේ.
පසුගිය දිනක අපි මාධ්‍යවල දුටුවා වයස අවුරුදු 40කට ආසන්න කාන්තාවක් ෆේස්බුක් හරහා හඳුනාගත් තරුණයෙක් සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මත සිය දරුවන් දෙදෙනාත්, ස්වාමියාත් අත්හැර යාමක් ගැන. මීට හේතු ලෙස අපි දකිනවා සාම්ප්‍රදායික සමාජයේ කාන්තාවට වඩා වත්මන් කාන්තාව සමාජයට බොහෝසෙයින් විවෘත වී සිටීම. සමාජයේ තිබන අධික කාර්යබහුලත්වය හා අධ්‍යාපන තරගයත් සමග ඇය ස්වාමියා හා දරුවන්ගෙන් ඈත්වී කුටුම්භය තුළ හුදකලා වී තිබෙනවා. මේ නිසා ඇය බොහෝවිට පෙළඹෙනවා මේ විවෘතභාවයත් එක්ක සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පාර්ශ්ව ඇසුරු කරන්න.
මේ සියලු කරුණු සැලකීමේදී පැහැදිලිවම අපි මෙය ප්‍රබල සමාජ ව්‍යසනයක් ලෙස දකිනවා. පෞද්ගලික ප්‍රශ්න අපට තනිවම වුවත් විසඳාගත හැකියි. නමුත් සමාජ ප්‍රශ්න නිසා සමස්ත සමාජයේ වැඩි පිරිසකට අවදානමක් තිබෙනවා. සමාජයේ සියලුම පාර්ශ්වයන් මෙය විසඳා ගැනීමට මනා අවදානය යොමුකිරීම අත්‍යවශ්‍යයි.
රජයටත් මේ වෙනුවෙන් විශාල වගකීමක් පැවරෙනවා. ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි නිර්මාණය වී තිබෙන්නේ මිනිසාගේ යහපතට. ඉන් බොහෝ ප්‍රයෝජන තිබෙනවා. ඒ නිසා කළ යුත්තේ වාරණය කිරීම නොවේ. කිසියම් විධිමත් නියාමනයකට යටත් කිරීම පමණයි. ඒ වගේම දෙමව්පියන් මීට වඩා තම දරුවන්ට සමීප විය යුතුයි. දරුවන්ගේ යහපත වෙනුවෙන් නවීන සන්නිවේදන මෙවලම් ලබාදෙනවා වගේම දරුවා ඒ සමග ක්‍රියාකරන ආකාරය ගැන විමසිලිමත් වීම වැදගත්.
නිවසේ රූපවාහිනිය වගේම දරුවාගේ පරිගණකයත් විවෘත ස්ථානයක තබන්න උනන්දු විය යුතුයි. දරුවන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දේ දෙමව්පියන්ට දැකගත හැකි තාක්ෂණික පහසුකම් තිබෙනවා. එවැනි දේ භාවිත කරන්න. දරුවාට ඕනෑම කාරණයක් මව්පියන් සමග විවෘතව කතා කළ හැකි ලෙස දරුවන්ට සමීප වන්න කටයුතු කළ යුතුයි.
අධ්‍යාපන ක්ෂේත්රයටත් මෙහි වගකීම් කොටසක් පැවරෙනවා. ඒ තමයි ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි නිසි ලෙස භාවිත කරන්නට දරුවන්ට දැනුම ලබාදීම වගේම හොඳ දේ නරක දේ වටහා දීම. ඒ වගේම ලිංගිකත්වය පිළිබඳ මීට වඩා විවෘතව හා විධිමත් ආකාරයෙන් දරුවන් දැනුවත් කිරීමෙන් ඒ පිළිබඳ තරුණ දරුවන් තුළ තිබෙන කුතුහලය ඉවත් කළ හැකියි.
එවිට දරුවා ෆේස්බුක් ඔස්සේ ලිංගිකත්වය පිළිබඳ සොයන්න,ඒ ඇසුරු කොටගත් විෂමාචාර ක්‍රියාවන්ට පෙළෙඹෙන්නට තිබෙන ඉඩකඩ අවම කරන්නට අපිට හැකියි.
නඳුන් ශ්යමාල්