සුනාමිය මෑත ඉතිහාසයේ ජන සමාජය භීතියට පත් කළ ස්වභාවික ව්‍යසනයක් විය. ඒ නිසාම මෙම ව්‍යසනයෙන් හානි අවම වූ පරිසර පද්ධති පිළිබඳ විවිධ අංශ විවිධ කෝණවලින් විවිධ මත පළ කරන්නට විය.
ඒ මත විවිධ ආකාරයෙන් කරුණු ගෙන හැර දක්වද්දී කල්පිටිය අර්ධද්වීපයේ ඉලන්තඩිය වෙරළ තීරයට කස ගස්වලින් පිරී ගිය දැවැන්ත වනාන්තරයක් නිර්මාණ වීම සිදුවූයේ මේ ස්වභාවික ව්‍යසන වළක්වා ගැනීමේ අරමුණු කර ගනිමිනි.
මෙම සුවිශේෂ කස වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2006 වසරේ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියක් යටතේ කිලෝ මීටර් තුනකට වැඩි දුරකට හා මීටර් 200 පළලට ස්ථාපිත කිරීම සිදුකර ඇත්තේ ඉලන්තඩිය ජනතාවද දායක කර ගනිමිනි.
මෙම කස වනාන්තරය ආරම්භ කිරිමට මුල් වී තිබුණේ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව යළි මෙවැනි තත්ත්වයක් මතු වුවහොත් කස වනාන්තරය බාධකයක් ලෙස සලකමිනි.
එසේම වයඹ මුහුදු තීරයට වාරකන් සමවලදී හමා එන දැවැන්ත සුළං ප්‍රවාහය ගම්මාන වෙත කඩා වැදීමටද මෙම කස වනාන්තරය බාධකයක් ලෙස සැකසූ බව එකල වනාන්තරය ආරම්භ කිරීමට කැප වූ පිරිස් පවසති.
කස පැළ ක්‍රමයෙන් දැවැන්ත වෘක්ෂ වනවිට එය වසර කිහිපයකින් මහා කස වනාන්තරයක් බවට පත්වීමත් සමග ඉලන්තඩිය වෙරළ තීරය සුන්දර පරිසරයක් බවට පත්ව තිබුණි.
මේ නිසාම මෙම සුන්දර කස වනාන්තරය මංගල ඡායාරූපකරුවන්ගේ තෙවැනි ඇස ආකර්ෂණය කළ සොඳුරු පාරාදීසයක් වී තිබේ.
ඒ සඳහා අලුත් මංගල යුවළ මෙම ස්ථානය තම ඡායාරූප ඇල්බමයට ඇතුළත් කර ගැනීමට මහත් ඇල්මක් දැක්වීම විශේෂත්වයකි.
සියල්ල එසේ සිදුවද්දී මෙම සුන්දර කස වනාන්තරය මහා මුහුදු රළට ගසා ගෙන යමින් ඇත්තේ එය නිර්මාණය කළ පිරිස් හා මෙම සුන්දර වනාන්තරයට ඇලුම් කළ බොහෝ දෙනෙකු කම්පාවට පත් කරමිනි.
මේ සුන්දර කස වනාන්තරයට කස පැළ රැගෙන ඒම සිදු කළ දළුව ක්‍රිස්ටි අප්පුහාමි මහතා මෙසේ කනගාටුවෙන් අප සමග අදහස් දක්වන්නට විය.
“මේ කස වනාන්තරය 2006 වසරේ ආරම්භ කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මම කස පැළ රැගෙන ඒමටත් දායකත්වයත් දැක්වුවා. හැබැයි එදා සිතුණේ නැහැ මේ තරම් සුන්දර වනාන්තරයක් වෙයි කියලා.
මට මතකයි මේ වනාන්තරය ආරම්භ කරන්න මුල් වුණේ 2004 සුනාමි ව්‍යසනයේදී කස වනාන්තර තිබුණ ස්ථානවලදී සිදුව තිබූ හානිය අඩු වීම හේතුවෙන් බව.
කොහොම වුණත් මේ කස වනාන්තරය වැදගත් වුණේ විශේෂයෙන් වාරකන් සමවලදී මුහුදේ සිට හමා එන දැවැන්ත සුළං ගොඩබිමට ඒම වළක්වාලීමට. ඒ නිසාම ලොකු රුකුලක් වූ මේ වනාන්තරය අද මුහුදු ඛාදනයට ලක්වී තිබීම ගැන දුකක් ඇති වෙනවා.”
මේ පිළිබඳව පුත්තලම දිසා වන කාර්යාලයේ අඩවි වන නිලධාරී ඩබ්ලිව්.එම්.සී.කේ. වාසල මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියේ මෙවැන්නකි.
“ මේ කස වනාන්තරය මුහුදු ඛාදන්ය වීම වැළැක්වීමට ගල් වැටි දැමීමට අවශ්‍යයි. ඒ පිළිබඳව අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. නමුත් ප්‍රතිපාදන ගැටලුවක් නිසා ගල් වැටි දැමීම ප්‍රමාද වී තිබෙනවා.*
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පිළිබඳව සිදු කළ විමසීමේදී ඇය පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි වසර ගණනාවකට කලින් මේ තීරයේ ගල් වැටි දැමීමට සූදානම් වූ විට ධීවරයන් එයට විරෝධය පෑම නිසා තමයි මේ කස වනාන්තරය අද දරුණු මුහුදු ඛාදනයට ලක්වී තිබෙන්නේ. නමුත් ඉදිරියේදී පවතින තත්ත්වය අනුව ඉදිරි කටයුතු කරන්න අපි සූදානම්.”
සටහන ඡායාරූප / පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ