Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 27 වන බදාදා
2024 නොවැම්බර් මස 27 වන බදාදා
කොළඹ සහ නුවර ප්‍රදේශය තුළ වායු දූෂණය වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බවට පසුගිය දිනවල විශාල කතිකාවක් ඇති විය. ඊට අමතරව ලංකාවේ තවත් නගර කිහිපයක්ම එවැනි තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවටද දැකගන්නට ලැබිණ. මෙවැනි තත්ත්වයන් හමුවේ වායු දූෂණය නිසා ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය. ඒ පිළිබඳව ඊයේ (23දා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණ.
එහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
"මේ දවස්වල ප්‍රධාන මාතෘකාව තමයි පරිසරය. පරිසරය පිළිබඳව කතා කරන සෑම මොහොතකම මටත් විවිධ චෝදනා එල්ල වෙනවා. පසුගිය කාලය පුරාවටම මම මට පුළුවන් උපරිමයෙන් පරිසරය ආරක්ෂා වෙන වැඩසටහන් කළා. අපි අවුරුදු පහක කාලයකට පටන් ගත් පැළ ලක්ෂයක් සිටුවීමේ 'හුස්ම දෙන තුරු' වැඩසටහන මේ වසරේදීම ඊට එහා ඉලක්කයකට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 'නැකැතට පැළයක්', 'ප්ලාස්ටික් පොලිතින් අවම කිරීම', 'ආගමික මධ්‍යස්ථානවල ඔසු වනයක් නිර්මාණය කිරීම' ඇතුළු වැඩසටහන් රජයේ මුදල් යොදා නොගනිමින් සිදුකළා.
පරිසරය ගැන කතා කරද්දි හැමෝම කියන්නේ අපේ ගස් ටික ආරක්ෂා කර ගත්තාම ඇති කියලා. සමහරු කියනවා ගස් කැපුවොත් පරිසරය විනාශ වෙනවා කියලා. තව කට්ටියක් කියනවා පැළ වැවුවොත් පරිසරය ආරක්ෂා වෙනවා කියලා. නමුත් මෙතනින් එහාට අපි යන්න ඕනේ. ගස් ටික ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි වායු දූෂණය, ප්ලාස්ටික් පොලිතින්වලින් වන හානිය ගැනත් කතා කරන්න ඕනේ. ප්ලාස්ටික්, පොලිතින් සහ වාහනවලින් පිටවන දුම නිසා තමයි වැඩි වශයෙන් වායු දූෂණය වන්නේ කියලා මේ වන විට අපි හැමෝම දන්නවා. පිරිසුදු වාතයක් ලබාගන්න එක හැමදෙනාගේම මානව අයිතිවාසිකමක්. පිරිසුදු වාතය ලබාදීමට ඕනෑම රජයක් බැඳිලා ඉන්නවා. ඒක රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් තමයි අපි සියලු කාර්යයන් මෙහෙයවන්න අවශ්‍ය වන්නේ. වායු දූෂණය නිසා සෑම මිනිත්තුවකට ලෝකයේ එක් මරණයක් සිදුවනවා. ලෝකයේ සිදුවන සියලුම මරණ වලින් වැඩි ප්‍රමාණයක් ශ්වසන රෝගවලින් මිය යන බව වාර්තා වනවා.
පසුගිය දිනවල දිගටම කතා වුණු දෙයක් තමයි කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණා කියලා. ඇත්තටම ඒක නිවැරදිම නැහැ. ඔක්සිජන් අඩුවීමට වඩා වායු දූෂණයක් සිදුවුණා කියලා කිව්වොත් නිවැරදියි. අපේ වාසනාවට අපේ රට තවම අධි අවදානම් තත්ත්වයකට පත්වෙලා නැහැ. ඉන්දියාවේ දිල්ලි නගරය, චීනයේ බීජිං නගරය ඔක්සිජන් සල්ලිවලට අරගෙන පාවිච්චි කරන තත්ත්වයකට ඇවිත් තියෙනවා. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. අපේ රටේ නගර ආරක්ෂා වෙලා තියෙනවා. කොළඹ සහ නුවර යන නගර දෙක හැරුණුකොට අනිත් නගර අවදානම් තත්ත්වයක නැහැ. එයිනුත් මුහුදු තීරය නිසා කොළඹ නගරයට යම් ආරක්ෂාවක් තිබෙනවා. නමුත් මහනුවර නගරයේ තත්ත්වය ගැන අපිට සෑහීමකට පත්වෙන්න හැකියාවක් නැහැ. නුවර නගරයේ පිහිටීම ඒ ප්‍රදේශයේ වායුගෝලයේ වායු දූෂණය වීමට බලපානවා. මම පසුගිය දවසක නුවර ගියා. එහේදී මට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු හමු වුණා. ඔවුන් මහනුවර තත්ත්වය පිළිබඳව වාර්තාවක් දුන්නා. ඔවුන් මහනුවර තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරලා තිබුණා. කෝවිඩ් තත්ත්වය නැතිවුණාමත් මහනුවර ආශ්‍රිතව සිටින පාසල් දරුවන් මුඛ ආවරණයක් පලඳිනවා නම් හොඳයි. මොකද පාසල් අවසාන වන වෙලාව තුළ තමයි වැඩි වශයෙන් නුවර අවදානම් තත්ත්වයක තියෙන්නේ. කොළඹ සහ නුවර ඇතිවෙලා තිබෙන තත්ත්වය සහ අනෙක් නගරවලට ඇතිවෙමින් තිබෙන තත්ත්වයට යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක පරිසර අමාත්‍යාංශයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඒ වගේම මේ වාහන තදබදය අවම කරගන්න විසඳුම් අවශ්‍යයි. බයිසිකල්වලින් ගමන් කරද්දි බොහෝ අය හිතන්නේ ඒක දුප්පත් අය යන වාහනයක් කියලා. විදෙස් රටවල අගමැතිවරු, අමාත්‍යවරු තමන්ගේ අමාත්‍යාංශවලට යන්නේ බයිසිකලෙන්. හැබැයි අපේ රටේ තවම එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. නමුත් අපි ඒ තත්ත්වයට එන්න ඕනේ. හැබැයි අපි දකිනවා රටේ සමහර වෛද්‍යවරු සහ ප්‍රසිද්ධ පුද්ගලයන් බයිසිකල්වලින් රැකියාවට යනවා. ඒක හොඳ සුබවාදී තත්ත්වයක්.
වායුගෝලයේ තත්ත්වය මනින මාපක අපට දෙකයි තියෙන්නේ. ඒ නුවර සහ බත්තරමුල්ලේ. ඒක 10ක් දක්වාවත් වැඩි කරගන්න ඕනේ. ඒක පරිසර අමාත්‍යාංශය විදිහට අපි විසින් කළයුතු කාර්යයක්. නමුත් කණගාටුවට කාරණය තමයි මේ වසරේ අයවැයෙන් ඒ පිළිබඳව එක් ඉල්ලීමක්වත් සිදුකරලා නැහැ. ඒ නිසා මම ඔවුන්ට යෝජනා කළා ලබන වසරේ හදන සැලැස්මට ඒවා ඉල්ලන්න කියලා.*
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ කථිකාචාර්ය, සායනික ප්රවේණි රෝග පිළිබඳ වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා,
&පසුගිය වසරේ අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා අපේ වායු ගුණාත්මක දර්ශකය (AQI) හොඳ තත්ත්වයක තිබුණා. කොළඹ අවට පෙන්වූයේ කොළ පැහැයෙන්. ඒ කාලය තුළ තමයි අපි වායු දූෂණය අඩුවෙන්ම සිදුකරලා තිබුණේ. මොකද කෝවිඩ්වලට රට වහලා තිබුණු නිසා. නැවත රට විවෘත වුණාට පස්සේ තිබුණු තැනටම නැවතත් පත්වුණා.
දූෂණය වුණු වායු අපේ ශරීරයට ඇතුළු වුණාම බලපාන අහිතකර තත්ත්වයන් පිළිබඳව මම යම් දැනුම්වත් කිරීමක් කරන්නම්. ප්ලාස්ටික්, පොලිතීන් එකපාරක් භාවිත කරලා විසි කළාම ඒවා බොහෝ වෙලාවට වාහනවලට යට වෙලා කුඩාවට කැඩෙනවා. එතකොට ඒවා අපේ ඇහැට පේන්නෙ නැති තරමට කැඩෙනවා. කුණු පුළුස්සදිත් එහෙමයි. එහි තිබෙන භයානකත්වය තමයි මේ කුඩා කොටස්වල මතුපිට වර්ගඵලය වැඩි වෙනවා. එතකොට මේ කුඩා කුඩා කොටස් ඒ අවට තිබෙන රසායනික සංඝටක, බැරලෝහ, ඊයම්, රසදිය විසින් ඇතුළට උරා ගන්නවා. ඊට පස්සේ අපි හුස්ම ගන්නකොට ඒවා අපේ පෙනහළු පද්ධතියට ඇතුළු වෙනවා. 10pm (particulate matters) ප්‍රමාණයේ කොටස් අපේ ශ්වසන පද්ධතියේ උඩ කොටසේ රැඳෙන්න පුළුවන්. 2.5pm හෝ ඊට වඩා අඩු කොටස් (0.1pm) පෙනහළුවල පහතින් තිබෙන ග්රන්ථ දක්වාම ගමන් කරනවා. ඉන්පසුව 0.1pm ප්‍රමාණයේ අංශු ඒ ග්රන්ථ ළඟ තිබෙන රුධිරවාහිනී සැපයුම්වලට පහසුවෙන් ගමන් කරනවා. මේ අංශු පෙනහළුවල නිතරම රැඳෙන්නේ නැහැ. හෘදයවස්තුවට, අක්මාවට, වකුගඩුවලට සහ මොළයට මේ අංශු ගමන් කරනවා. මේ particulate matters වල අන්තර්ගත රසායනික වර්ග අපේ සෛල ඇතුළට ගමන් කරලා ජාන විකෘතිවීම් සිදුකරන්න පුළුවන්. ඒ මගින් පෙනහළු පිළිකා, මොළයේ පිළිකා, අක්මාවේ පිළිකා ඇතිවෙන්න පුළුවන්. අපේ ශරීරයේ පිළිකා සෑදීම වළක්වන්න පුළුවන් ජානයක් තිබෙනවා. නමුත් particulate matters ශරීරය ඇතුළට ගියාට පසුව ඒ ජානය සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙනවා. මේක ලංකාවේ විශාල වශයෙන් පැතිරී තිබෙනවා.
අපි නගරාශ්‍රිතව විශාල ගස් වවනවා. ඒවායේ තිබෙන විශාල වැදගත්කම තමයි ඒ ගස්වලට මේ පරිසරයේ තිබෙන particulate matters අල්ලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තාප්ප දිගේ වැවෙන ගස් වර්ගවලට පුළුවන් තාප්පෙන් ඇතුළෙ ඉන්න අයට particulate matters ශරීරගත වීම අඩු කරන්න. ඒ වගේම පුංචි පුංචි පඳුරු වැනි ගස් නගරාශ්‍රිතව වැවීමෙන් පදික වේදිකාවේ ගමන් කරන අයට වාහනවලින් පිටවන දුම් අංශු ශරීරගත වීම අවම කරනවා.
ඇමරිකාවේ සහ එංගලන්තය කරල තිබෙන පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා ඝන මීටරයක මයික්රෝග්රෑම් එකක් particulate matters අඩුකරන්න පුළුවන් නම් ඒ අඩු කිරීමෙන් එන සෞඛ්‍යමය වාසිය ඇමරිකානු ඩොලර් මිලියන 1.6කට වඩා වැඩියි කියලා."
පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ සහ ජාතික ඕසෝන් ඒකකයේ අධ්යක්ෂ සුගත් ධර්මකීර්ති මහතා,
"වායුගෝලයේ තත්ත්වය මනින මාපක අපිට දෙකයි දැනට තිබෙන්නේ. ඒ දෙකෙන් තමයි ඇත්තටම අපිට නිවැරදිම දත්ත ලබාගත හැක්කේ. මේ මාපක දෙකෙන් විනාඩි පහෙන් පහට අපිට දත්ත ලබාගන්න පුළුවන්. ඒ කෙටිකාලීන තත්ත්වලින් තමයි අපිට හරියටම බලාගන්න පුළුවන් වෙන්නේ මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඊට අමතරව අපි ළඟ තිබෙන සංවේදක මගින් මනින්නත් පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ වනවිට කියල තියෙනවා වායු තත්ත්වය ඝන මීටරයට මයික්රෝග්රෑම් පනහට වඩා වැඩි වුණොත් ඇතිවන තත්ත්වය අවදානම් වන බව. ඒ සීමාව ඉක්මවන අවස්ථා මරදාන වැනි නගරවල දක්නට ලැබෙනවා.
වායු දූෂණයට 65ක් වග කියන්නේ වාහනවලින් පිටවන දුම. ඩීසල් වාහනවලින් පිටකරන අංශු වැඩි හරියක් වායු දූෂණයට බලපානවා. අපේ කර්මාන්ත ශාලා ගත්තොත් වාහනවලට සාපේක්ෂව වැඩි බලපෑමක් නැහැ. මොකද අපි කාර්මික රටක් නොවන නිසා. අපි වාහනවලට සැලකිය යුතු අවදානයක් දෙන්න ඕනේ.
ලංකාවේ පරණ වාහන වැඩි ප්‍රමාණයක් තවම තිබෙනවා. අපේ රටේ වාහනයක් පරණ වූ පමණින් ඉවත් කිරීමේ ප්‍රවණතාවයක් තවම නැහැ. අපේ ආර්ථිකයේ යම් අපහසුතාවයක් තිබෙනවා තමයි. වාහනයක් පැරණි වෙන්න පැරණි වෙන්න ඉන් සිදුවන වායු දූෂණය වැඩියි. දුම් පර්යේෂණය අසමත් වන අවස්ථා වැඩියි. දුම් පර්යේෂණය අසමත් වෙමින් තිබෙනකොට ඒ වාහන භාවිතයෙන් ඉවත් කිරීම තමයි සැලසුම් කර තිබෙන්නේ. නමුත් දැන් අමාරුවෙන් වාහනයක් ගන්න කෙනෙක් ඒක පරණ වුණා කියලා ධාවනයෙන් ඉවත් කරන්න කැමති වෙන්නේ නැහැ.
අපි දැනට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන, ඔක්ටේන් 95 ගෙන්වනවානේ. ඔක්ටේන් 95 2018 වසරේ ඉඳලා euro 04 කියන ප්‍රමිතියට යාවත්කාලීන කරලා තියෙන්නේ. නමුත් ඒ විදිහේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ඉන්ධන පැරණි වාහනවලට ගැහුවාම අපි අපේක්ෂිත ප්‍රතිඵලය ලබාගන්න බැහැ. පරණ වාහනවල ඉන්ධන දහනය හදලා තියෙන්නේ පරණ ක්‍රමයටනේ. එතකොට අලුත් ඉන්ධන ගැහුවා කියලා එයින් ලොකු ප්‍රතිඵලයක් එන්නෙ නැහැ. වායු දූෂණය වෙනවා. ඒ අභියෝගය අපට තිබෙනවා.
ඉදිරියේදී ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල් ඇතුළු අනෙකුත් ඉන්ධනවලටත් අහිතකර සංඝටක අවම විය යුතුයි කියලා අපි ප්රමිතීන් සකස් කරනවා. මේ වනවිට ඒ කටයුතු සිදුවෙමින් තිබෙනවා. euro 04 ප්‍රමිතිය කියන්නේ වාහනයක් කිලෝමීටරයක් දුවනකොට පිටවන දූෂක වායු ප්‍රමාණය මෙච්චරකට අඩු වෙන්න ඕනේ කියලා ප්‍රමිතියක් තිබෙනවා. වාහනය නිෂ්පාදන ආයතනයම ඒ සඳහා සහතිකයක් දෙනවා. යුරෝපයේ මේ වෙද්දි භාවිත වන්නේ euro 06 ප්රමිතියයි. ඒකට පරණ වාහන ආනයනය කරන අයගෙන් නම් විශාල විරෝධතාවක් තිබුණා. නමුත් දැන් ඔවුන් එකඟතාවයකට ඇවිත් තිබෙනවා.
ඇත්තටම විද්‍යුත් වාහන අවශ්‍යයි. විද්‍යුත් වාහනවලට ඇති බදු ප්‍රමාණය අඩු කළ යුතුයි. හැබැයි විද්‍යුත් වාහන භාවිත කිරීමේදීත් එක වරකට යන්න පුළුවන් දුරක් තිබෙනවා සහ බැටරිය යම් කාලයයි භාවිත කරන්න පුළුවන්. එතකොට ඒ බැටරිය දාන්න වෙන්නෙත් පරිසරයටමයි. ඒ වගේ ගැටලු අපි කළමනාකරණය කර ගනිමින් යායුතු වෙනවා. ඒ වගේම අවසන් වශයෙන් කිව්වොත් බාහිර වායුගෝලයේ තත්ත්වයද ඉහළ දැමීමට අපි කටයුතු කරමින් සිටිනවා.*
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා
"වායු දූෂණය සම්බන්ධයෙන් තිබෙන නෛතික ප්‍රතිපාදන සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මගේ උත්සාහය වන්නේ. මම ඒක කොටස් තුනකට බෙදා ගන්නවා. ඒ තමයි ස්ථානීය ප්‍රභවවලින් සිදුවන වායු දූෂණය, ජංගම වායු විමෝචන (වාහන) සහ වෙනත් තත්ත්වයන් (ගෘහාශ්‍රිතව).
ලංකාවේ කර්මාන්ත ශාලා, නිෂ්පාදන ආයතන රැසක් තිබෙනවා. මේවායෙන් යම්කිසි විමෝචන ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනවා. එතකොට පරිසරයට මුදාහරින විමෝචනයන් පාලනය කිරීමට තමයි ප්‍රධාන වශයෙන් නීතිය උත්සාහ කරන්නේ. විමෝචන මට්ටම් නිරීක්ෂණය කරලා ඒ මට්ටමට තිබෙනවාද කියන එක තමයි මෙතනදි සිදුවන්නේ. එය අපි වායු විමෝචන සහ අවලම්භිත අංශු කියලා කොටස් දෙකකට බෙදනවා. මේ දෙකටම අවශ්‍ය ප්‍රතිපාදන ජාතික පාරිසරික පනත යටතේ තිබෙනවා. හැබැයි තමන්ගේ බලප්රදේශයක සිදුවන වායු විමෝචනයන්ගෙන් ජනතාවට ප්‍රශ්නයක් වෙනවා නම් ඒකෙ වගකීම පැටවෙන ප්‍රධානම ආයතනය තමයි ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය.
මේ ප්‍රභවයන් නිසා මහජන පීඩාවක් සිදුවනවා නම් ඊට විරුද්ධව කටයුතු කරන්නත් පළාත් පාලන ආයතනයටත්, පොලීසියටත් බලතල තිබෙනවා. ස්ථානීය ප්‍රභවයන්ගෙන් සිදුවන දූෂණයට ජාතික පාරිසරික පනතට අමතරව පීඩාකාරී ආඥා පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය වැනි පනත් වලිනුත් ඒ අදාළ ආයතනවලට බලය ලැබිලා තියෙනවා.
ඒ වගේම ජංගම ප්‍රභව (වාහන) වලින් පිටවන වායුවලට උපමානයන් පනවලා තිබෙනවා. ඒ උපමානයන් පනවලා තිබෙන්නේ පරිසර පනතින් වුණත්, ඒක ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ආඥා පනත යටතේ. ඒ අනුව තමයි ඔය දුම් පර්යේෂණ ආයතන පිහිටුවා තිබෙන්නේ. ඊට අමතරව යම්කිසි වෙලාවක වාහනවලට හානිකර මට්ටමින් අඳුරු දුමක් පිටකරයි නම් ඒ වාහනවලට විරුද්ධව කටයුතු කරන්න පොලීසියටත් බලතල තිබෙනවා. දුම් පර්යේෂණය සිදුවන ආකාරය පිළිබඳව ගැටලු තිබෙනවා තමයි. දුම් පර්යේෂණය නිසි අයුරින් සිදුවනවා නම් වාහනවලින් පිටවන අවලම්භිත අංශුත් අයින් කරගන්න පුළුවන්.
වෙනත් ප්‍රභවයන්ගෙන් සිදුවන වායු දූෂණය වැඩි වශයෙන් සිදුවන්නේ ගිනි තැබීම් නිසා. ඒ සඳහා නීතිමය ප්රතිපාදනත් ජාතික පාරිසරික පනතේ තිබෙනවා. එවැනි ගිනි තැබීමක් නිසා මහජනයාට පීඩාවක් වනවා නම් පහසුවෙන්ම අදාළ පළාත් පාලන ආයතනය දැනුම්වත් කරලා ඊට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. මහජන පීඩාව වැළැක්වීම වෙනුවෙන් එවැනි ආයතනයකට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්න පොලීසියටත් බලතල තිබෙනවා. ඒ වගේම එවැනි පීඩාවක් සිදුවනවා නම් ජනතාවටත් පුළුවන් සාමුහික පීඩා නඩුවක් හෝ, එක් පවුලකට සිදුවනවා නම් පෞද්ගලික පීඩා නඩුවක් හරහා කටයුතු කරන්න. ඒක ලංකාවේ නීති පද්ධතිය තුළ තිබෙනවා. ඒ නිසා දහනය සඳහා වන නීති ප්‍රතිපාදන තත්ත්වයන් පරිසර පනතේ තිබෙන ප්‍රතිපාදනවලට මදි කියන එක කිසිසේත් නිදහසට කරුණක් නොවෙයි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd