Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
පොත්පත් සිය ගණනක් කියවා ලබාගත නොහැකි දේශපාලනය පිළිබඳ දැනුම මේ දිනවල සිදුවෙමින් තිබෙන දේශපාලන නාඩගම තුළින් ඉගෙන ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබේ. දේශපාලනඥයන් කටයුතු කළ යුතු වන්නේ මෙරට ආර්ථිකය හා අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්ය. එහෙත් අද සිදුවෙමින් තිබෙන්නේ තමන්ගේ හෝ තම කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් දේශපාලනඥයන් පෙළගැසීමය. මේ නිසා ශ්‍රී ලංකාව අද වනවිට ලෝකයේ අපකීර්තිමත් රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. මීට අමතරව කිසිවෙකුටත් සිතාගත නොහැකි ආකාරයට රට අරාජික වෙමින් ඇත.
පවතින තත්ත්වය හමුවේ ආර්ථිකය හබලක් නැති ඔරුවක් ආකාරයට එහෙට මෙහෙට පැද්දෙමින් මහා අගාධයකට යමින් තිබේ. එහෙත් රට සුරක්ෂිත කර ගැනීමට හා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනතාව විසින් පත්කර ගත් දේශපාලනඥයෝ රටට හෙණ ගැසුවද, තමන්ට ප්‍රශ්නයක් නොමැති අයුරින් සිය කටයුතු සිදු කරමින් සිටිති. මහජනතාව විසින් රට හැදීමට පාර්ලිමේන්තුවට යවා ඇති බහුතරයක් වූ මහජන නියෝජිතයන් තමන්ට පැවරී ඇති වගකීම අමතක කර දමා තිබේ.
ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිටිනුයේ සූදු පොළක හැසිරෙන ආකාරයකටය. එබැවින් ඔවුන් මහජන නියෝජිතයන්ද යන්න නැවත වතාවක් සිතා බැලීමට සිදුව තිබේ.
පවතින අර්බුදය නිසා වැඩිම හානිය මේ වනවිට කොටස් වෙළෙඳ පොළට සිදුව ඇත. කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු මේ වන විට පහළ අගයක් ගනිමින් තිබෙන අතර, එය රටේ ආර්ථිකයට විශාලම හානියක් වී ඇත. මීට අමතරව රුපියලට සාපේක්ෂව ඩොලරය මේ වනවිට ශක්තිමත් වෙමින් තිබෙන අතර, මේ හරහා භාණ්ඩ හා සේවා දිනෙන් දිනම ඉහළ යමින් තිබේ.
භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් එක් පැත්තකින් ජනතාව අපහසුතාවට පත්ව තිබෙන අතර, භාණ්ඩ මිල ඉහළ යෑම නිසා මිලදී ගැනීම අඩු වීමෙන් වෙළෙඳ ව්‍යාපාරික පන්තියක් ආර්ථික අර්බුදයකට ලක්ව ඇත. ගණනය කිරීම්වලට අනුව තොග හා සිල්ලර වෙළෙඳාම මේ වනවිට 30෴ත්, 40෴ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවද වෙළෙඳ සංගම් සඳහන් කරයි.
පවතින තත්ත්වය හමුවේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන නඩත්තු කිරීමට නොහැකි වී තිබෙන අතර, සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් සේවකයන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට බොහෝ ව්‍යාපාරිකයන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ නිසා යම් පිරිසකට තම ජීවනෝපාය මාර්ගද අහිමි වෙමින් තිබේ. ආනයනයෙන් හා අපනයනයෙන් වැඩි කොටසක් පෞද්ගලික අංශය විසින් සිදු කළද, ඒ සඳහා මගපෙන්වීමට ස්ථිර ආණ්ඩුවක් රට තුළ තිබිය යුතුය.
එහෙත් අද වනවිට රට තුළ ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ආණ්ඩුව කුමක්ද, විපක්ෂය කුමක්ද යන්න සොයාගත නොහැකි තත්ත්වයක් ඇති වී ඇත. මෙම අර්බුදය හේතුවෙන් ආනයනකරුවන් භාණ්ඩ ගෙන්වීම සීමා කරමින් තිබෙන බවද වාර්තා වේ.
කෘෂි කර්මාන්තයෙන් යැපෙන රටක් ලෙස ලංකාව ලෝකය පුරා ප්‍රචලිත වී සිටියද, ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් 90%කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට විදේශ රටවලින් ගෙන්වනු ලබයි. මේ නිසා සහල් නැවක්, අල හෝ ලොකුලූනු නැවක් ප්‍රමාද වීම යනු මෙරට ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවන ක්‍රියාවකි.
යම් ලෙසකින් මෙවැනි ක්‍රියා සිදු වුවහොත් ඒ වෙනුවෙන් කුසගින්නේ සිටීමට සිදු වනුයේ මේ රටේ එදා වේල සොයා ගැනීමට දුක් මහන්සි වන ජනතාවටය. රට තුළ කුමන අර්බුදයක් ඇති වුවද, පාර්ලිමේන්තුව තුළ කෑකෝ ගහන කිසිවෙකුට හෝ කුසගින්නේ සිටීමට සිදු නොවනු ඇත.
ඔවුන් ඒ තරමටම ධනවතුන්ය. පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ඇතැම් මහජන නියෝජිතයන් එදාවේල සොයා ගැනීමට බොහෝ දුක්මහන්සි වූවන්ය. එහෙත් පාර්ලිමේන්තුවට පැමිණ සුළු දිනක් ගත වනවිට ඔවුන් තුන්වේලම තරුපහේ හෝටලයකින් කෑමට හැකි තරම් ධනවතුන් බවට පත්ව ඇත. අවසානයට සිදුව තිබෙනුයේ මහජනතාව වේලක් හැර වේලක් කා රට හැදීමට පාර්ලිමේන්තුවට යැවූ මහජන නියෝජිතයා වෙනුවෙන් හරිහම්බ කර දීමටය.
රටක් පවත්වාගෙන යෑම සඳහා රටට ආදායමක් අවශ්‍යය. රටේ ජනතාව වෙනුවෙන් සේවා සිදු කරන රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමට මුදල් අවශ්‍යය. මේ නිසා සෑම වසරක් අවසානයේදීම අයවැය ලේඛනයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් මේ වනවිට රට තුළ ඇති වී තිබෙන දේශපාලන බලපොරය හේතුවෙන් ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සකස් කරන ලද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැනීමට හෝ නොහැකි වී ඇත. එළැඹෙන වසරට අදාළ අයවැය ලේඛන පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම එය සම්මත කර ගැනීමට නොහැකිය. එම අයවැය ලේඛනය පිළිබඳ මහජන නියෝජිතයන් වාද විවාද සිදුකර බහුතර කැමැත්තෙන් සම්මත කළ යුතුය. එසේ නොමැතිව මහජනතාවගෙන් බදු මුදල් එකතු කර ගැනීමට හෝ රට වෙනුවෙන් මුදල් වියදම් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැත.
දෙසැම්බර් මාසය තුළදී හෝ අයවැයක් සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් එහි බලපෑම මුලින්ම සිදු වන්නේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රයටය. මන්දයත්, මෙරට රෝහල්වලට අවශ්‍ය ඖෂධ උපකරණ ගෙන්වීම සඳහා මුදල් වෙන් වනුයේ වාර්ෂිකවය. මේ නිසා අදාළ මුදල් ප්‍රමාණය පාර්ලිමේන්තුව තුළින් අනුමත කර මහාභාණ්ඩාගාරය හරහා ලබාදිය යුතුය.
මේ වසරට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මස ඉදිරිපත් කළ අයවැය තුළින් මේ වසරට මුදල් වෙන් වූ අතර, රුපියලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් මේ වසරට වෙන් කළ මුදල් මේ වනවිටත් අවසන් වී තිබෙන බවද වාර්තා වේ. එබැවින් මෙරට බොහෝ රෝහල් තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්ද නිර්මාණය වී තිබේ.
රට තුළ ආණ්ඩුවක් තිබුණේ නම්, පාර්ලිමේන්තුව හරහා මුදල් වෙන්කර ගෙන මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට හැකියාව ඇත. එහෙත් පවතින අර්බුදකාරී තත්ත්වය නිසා මෙවැනි යෝජනාවක් හෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට මහජන නියෝජිතයෙකු නොමැත.
ඖෂධ හිඟයක් ඇති වී ජීවිතයක්, දෙකක් අහිමි වුවහොත් එහි වගකීම භාර ගන්නේ රටේ ජනාධිපතිවරයාද, නැත්නම් වෙන කවුරුන්ද යන්නට පිළිතුරු නැත. අර්බුදය විසඳාගෙන පාර්ලිමේන්තුව තුළින් මුදල් ප්‍රමාණය අනුමත කර ගත්තද, ක්ෂණිකව විශාල ඖෂධ තොගයක් මිලදී ගැනීමට හැකියාවක් නොමැත. රජයේ මුදල් වියදම් කිරීමේදී එය විධිමත්ව සිදු කළ යුතු අතර, විශාල මිලදී ගැනීම්වලදී ටෙන්ඩර් කැඳවීමද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.
මීට අමතරව සෑම අයවැයකින්ම තම වැටුප සුළු මුදලකින් හෝ ඉහළ යනු ඇතැයි සමස්ත රාජ්‍ය සේවකයෝම විශාල බලාපොරොත්තු තබාගෙන සිටිති. ලබන වසරේදී රාජ්‍ය සේවක වැටුප රුපියල් පන්දහසකින් ඉහළ දමන ලෙස පසුගිය ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාට යෝජනා කළ බව රාජ්‍ය සේවක වෘත්තීය සමිති මීට පෙර සඳහන් කළේය.
එහෙත් එම යෝජනා අද වනවිට හමස් පෙට්ටියට ගොස් තිබේ. වැටුප් වැඩි කිරීම කෙසේ වෙතත් මේ වනවිට රාජ්‍ය සේවකයාට ලැබෙමින් තිබෙන වැටුප ලබාදීමට හෝ අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතුය.
එසේ නොමැති වුවහොත් මෙරට රාජ්‍ය සේවකයාට ජනවාරි 20 වැනිදා සිට ලබාදිය යුතු ජනවාරි මස වැටුප පවා අහිමි වී යනු ඇත. සමස්ත රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 15කට ආසන්න වන අතර, ඉන් අතිබහුතරයකට ලැබෙන රාජ්‍ය සේවක මාසික වැටුප මේ වනවිට මාසයකට දින 20ක් වත් ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවට රාජ්‍ය සේවක වෘත්තීය සමිති පෙන්වා දෙමින් තිබේ.
එවැනි තත්ත්වයක් තුළ තම වැටුප දිනක්, දෙකක් හෝ පමා වීමකදී පවා රාජ්‍ය සේවකයන්ට බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත. මීට අමතරව ලබන වසරට අදාළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිලඇඳුම් රෙදි දෙසැම්බර් 03 වැනිදා වනවිට ලබාදිය යුතුව තිබේ. පසුගිය ආණ්ඩුව විසින් නිලඇඳුම් රෙදි වෙනුවට වවුචර ක්‍රමයක් හඳුන්වා දුන් අතර, එහෙත් ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ආණ්ඩුව විසින් වවුචර ක්‍රමය අහෝසි කර දැමීමට කටයුතු කරනු ලැබීය. ඔවුන්ගේ සැලැස්ම වූයේ, නිලඇඳුම් රෙදි ලබා දීමටය.
නිලඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන දෙදහස් තුන්සියකට අධික ප්‍රමාණයක් අවශ්‍යය. මෙම මුදල පසුගිය අයවැය තුළින් වෙන්කර තිබුණද, නිලඇඳුම් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවිය යුතුය. රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිලඇඳුම් ලබා දෙන්නේ නම්, රෙදි මීටර් මිලියන එකොළහකට අධික ප්‍රමාණයක් අවශ්‍යය. මේ තරම් රෙදි තොගයක් ක්ෂණකව මිලදී ගැනීමට කිසිදු හැකියාවක් නැත.
අදාළ ටෙන්ඩර් කැඳවීම ජාතික ප්‍රසම්පාදන කොමිසම හරහා සිදුකළ යුතු අතර, එහිදී අඩු මුදලට ප්‍රමිතියෙන් යුත් රෙදි ලබාදීමට ඉදිරිපත් කරන ටෙන්ඩර්කරුවෙකුට ටෙන්ඩරය ලබාදිය යුතුය. එහෙත් මේ ක්‍රියා පිළිබඳ සාකච්ඡාවක් හෝ තවමත් පවත්වා නොමැත. මෙරට කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම සඳහා රජය විසින් පොහොර සහනාධාරයක් ලබා දෙයි. මේ අනුව පොහොර සහනාධාරය ලබාදීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන හතළිස්දහසකට අධික මුදලක් අවශ්‍ය වන බව වාර්තා වේ. මෙම මුදල් පාර්ලිමේන්තුව තුළින් අනුමත කර දිය යුතුය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 26 වැනිදා පත් කරන ලද අමාත්‍ය මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සඳහන් කරනු ලැබුවේ, වී වගාවට අවශ්‍ය කිලෝ 50ක පොහොර උරයක් රුපියල් 500කට හා අතිරේක භෝග වගාවට අවශ්‍ය පොහොර සහනාධාරය යටතේ කිලෝ 50 පොහොර උරයක් රුපියල් 1,500කට ලබාදෙන බවයි. සහන මිලට පොහොර ලබා දීමට නම්, පොහොර ගෙන්වන සමාගම සඳහා යම් මුදලක් ලබා දීමට සිදු වේ. එහෙත් පසුගිය 26 වැනිදා සිදු කළ ප්‍රකාශයට අනුව තවමත් එවැනි වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කර නැත. මේ නිසා පොහොර සම්බන්ධ අර්බුදයක්ද රට තුළ නිර්මාණය වෙමින් තිබේ.
මීට අමතරව රටේ ආර්ථිකය රඳා පවතින ප්‍රධාන ආයතන දෙකක් ලෙස සලකනු ලබන්නේ ලංකා බැංකුව හා මහජන බැංකුවය. මහා පරිමාණ ණය ලබාදීමේදී බැංකු දෙකෙහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 26 වැනිදා ආණ්ඩු වෙනස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම රාජ්‍ය බැංකු දෙකේ අධ්යක්ෂ මණ්ඩලය සති දෙකකින් රැස්ව නොමැත.
බැංකුවල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අධ්යක්ෂ මණ්ඩලය සතු වගකීමක් වන අතර, එම ප්‍රතිපත්තිමය තීරණ අතර ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට අදාළ ණය ඉල්ලීම අනුමත කිරීමද ඇතුළත් වේ.
ගෙවී ගිය වසර හතරක කාලයක් තුළ ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවල ජනතාවට දරුණු නියඟයකට මුහුණ දීමට සිදු විය. මේ නිසා කුඹුරු වගාවන් සේම එළවළු, පලතුරු වගාවන් පවා හානි සිදු වූ අතර, මේ නිසා ගොවි ජනතාව අන්ත අසරණ වී සිටියි.
එහෙත් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට මේ රටේ කිසිදු දේශපාලනඥයෙකු වගකීමෙන් කටයුතු කළේ නැත. මීට අමතරව මේ වසර තුළදී දිස්ත්‍රික්ක කිහිපයකට ඇති වූ තද සුළං හා තද වැසි නිසා නිවාස පන්දහසකට අධික ප්‍රමාණයක හානි සිදුව තිබේ. මේ රටේ මිනිසුන්ගෙන් අතිබහුතරයක් නිවසක සකස් කර ගනුයේ තම ජීවිත කාලයේම උපයා ගන්නා මුදලකිනි.
බොහෝ මිනිසුන් නිවාස සකස් කර ගන්නේ බැංකු ණය ලබා ගැනීමෙන්ය. අදාළ ණය මුදල මුළු ජීවිත කාලය පුරාම ගෙවීමට සිදු වේ. එවැනි තත්ත්වයක් තුළ නිවසක් විනාශ වී යෑම යනු අදාළ පවුලම අනාථ වීමකි. මෙවැනි තත්ත්වයන්වලදී ජනතාවට උදවු උපකාර කිරීම සඳහා රටේ ජනතාවගේ මුදලින් රක්ෂණයක් ආරම්භ කර තිබේ.
අඩුම තරමින් රක්ෂණ මුදල හෝ ලබාදීමට මෙරට දේශපාලනඥයන්ට ඕනෑකමක් නැත. පාර්ලිමේන්තුවට පත්කර එවන සෑම කෙනෙකුගේම වගකීම වී ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් වැඩකටයුතු කිරීමය. එහෙත් මෙරට අතිබහුතරයක් වූ දේශපාලනඥයන් නොකරනුයේද එම යුතුකමය.
දේශපාලනඥයන් විසින් මෙරට ඡන්දදායකයන් කෙතරම් රැවටීමකට ලක්කරනු ලැබුවද, මෙරට ඡන්දදායකයෝ දේශපාලනඥයන්ට පාඩම් ඉගැන්වීමට කටයුතු නොකරති.
වසර 2,500ක ඉතිහාසයක් ඇති බවට සඳහන් වුවද, මෙරට ජනතාවගෙන් අතිබහුතරයක් දෙනා තම නායකයන් තෝරා ගැනීමේදී කිරීමට පුළුවන් සෑම අනුවණ වැඩක්ම සිදු කරති.
ජනතාව තමන් ලබා ගන්නා පැරසිටමොල් පෙත්තේ ගුණාත්මකභාවය සෙවීමට කටයුතු කළද, තමන් වෙනුවෙන් පත්වන මහජන නියෝජිතයාගේ ගුණාත්මකභාවය ගැන සොයා නොලබති. ඡන්දදායකයන් තම යුතුකම මැතිවරණවලදී ඉටු නොකිරීම හේතුවෙන් බොහෝ දේශපාලනඥයෝ රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා පාර්ලිමේන්තුව තුළ නාඩගම් නටමින් සිටිති. මෙම නාඩගම්වලට සහාය වෙමින් මෙරට සැලකිය යුතු පිරිසක්ද කොටස්වලට බෙදී නාඩගම් නටමින් සිටිති.
මේ නිසා ලංකාව මේ වනවිට ජාත්‍යන්තරය ඉදිරියේ කෝලම් මඩුවක් බවට පත්ව තිබේ. දේශපාලනඥයන් කුමන නාඩගමක් නැටුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික මූලික වැටුප රුපියල් පනස්හතර දහසකි. කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයකි. පැමිණීමේ දීමනාව එක් පාර්ලිමේන්තු සැසියකට රුපියල් 2,500කි. සංග්‍රහ දීමනාව රුපියල් දහසකි. ඉන්ධන දීමනාව (පෙට්‍රල් හෝ ඩීසල් ලෙස වෙනස් වේ) ආසන්න වශයෙන් රුපියල් තිස්දහසකි. දුරකට දීමනාව රුපියල් පනස්දහසකි. රක්ෂණය ලක්ෂ විස්සකි. විමධ්‍යගත අරමුදලින් වසරකට ලක්ෂ පනහකි. මෙම මුදලින්ද කොටසක් බොහෝ මහජන නියෝජිතයෝ සාක්කුවේ දමා ගනිති.
ඇමති පට්ටමක් ගසාගත් කෙනෙකුගේ මාසික මූලික වැටුප රුපියල් හැටපන්දහසකි. කාර්යාල දීමනාව ලක්ෂයකි. පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 2,500කි. සංග්‍රහ දීමනාව රුපියල් දහසකි.
බස්නාහිර පළාත තුළ පදිංචි නම්, ඩීසල් දීමනාව රුපියල් විසිදහසකි. පෙට්‍රල් දීමනාව රුපියල් පනස්දහසකි. බස්නාහිර පළාතෙන් පිට තම පෙට්‍රල් දීමනාව රුපියල් හැත්තෑපන්දහස (75,000) හෝ ඩීසල් දීමනාව රුපියල් තිස්දහසකි. මීට අමතරව අමාත්‍යාංශ වාහන භාවිතය, සේවකයන් සේවයට යොදා ගැනීම ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයකට හිමිකම් කියයි.
පොදුවේ පාර්ලිමේන්තු කාලය වසර 05ක් නම් වැටුපෙන් 1/3ක විශ්‍රාම වැටුපක් හිමිය. අවුරුදු 15ක් නම් තම වැටුපෙන් 2/3ක විශ්‍රාම වැටුපක් හිමිය. මේ සියලුම දෙනාම ජනතාව ඉදිරියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවට පෙන්වීමට කටයුතු කළද, පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු සිදු කරන්නේ රඟපෑමකි. මේ රඟපෑමට අද මුළු රටෙන් අතිබහුතර ප්‍රමාණයක් රැවටී ඇත.
ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ගහ මරා ගන්නා බවට පෙන්වීමට උත්සාහ කළද, ඔවුන් පාර්ලිමේන්තුවෙන් විසිර යන්නේ එකට කාබී, කරට අත දමාගෙනය. මේ නිසා දේශපාලනඥයන්ගේ මේ විගඩම නවතා දැමීමට ඔවුන් කටයුතු කළ යුතුය.
එසේ නොමැති නම්, ජනතාව ඡන්දයකදී මේ විගඩම නැවැත්වීමට ඡන්දය භාවිත කළ යුතුය.
අද දවස වනවිට මෙරට විශාලතම ප්රශ්නය වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමය. මොවුන් බලය පෙන්වීමට පාර්ලිමේන්තුව විනාඩි 05කට රැස් වුවද, වියදම ලක්ෂ 45කි. අද දිනයේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා කුමන හෝ කණ්ඩායමක් ආණ්ඩුව භාර ගත්තද, පවතින අර්බුදය අවසන් වේ යැයි සිතිය නොහැකිය.
මේ නිසා සිදු කළ යුතුව තිබෙන හොඳම ක්‍රමය පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එකතු වී පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමය.
ඉන් පසුව මැතිවරණයකට ගොස් ජනතාවට තමන් කැමැති කණ්ඩායමක් බලයට පත්කිරීමට අවස්ථාව ලබාදීමය. පාර්ලිමේන්තුවම එකතු වී පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම දැනට තිබෙන කවුරුත් පිළිගන්නා හොඳම ක්‍රමයයි.
එසේ නොමැති වුවහොත් මෙරට ජනතාවට හා ජාත්‍යන්තරයට මේ දේශපාලන නාඩගම දිහා බලාගෙන සිටීමට සිදුවන ඇත. නාඩගමේ අවසානය මේ රටේ අවසානයද විය හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd