තත්ත්වය හා ඵලදායිතාව ප්‍රවර්ධනය සඳහා වන ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරන ලද 'ඉතා උසස් මට්ටමේ තත්ත්වය හා ඵලදායිතාවය තුළින් ජාතික සමෘද්ධිය' නම් සමස්ත ලංකා රචනා තරගාවලියේ 12-13 ශ්‍රේණි පළමු ස්ථානය දිනාගන්නට සමත්වූයේ කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශලිනි මිනින්දි ෆොන්සේකා ශිෂ්‍යාව විසිනි. පහත පලවනුයේ එකී ජයග්රාහි රචනාවය.
නීල වලාකුළු බබළන්නේ ජල බිඳිතිවලින් ගහන වූ අහසකය. හරිත වර්ණයෙන් වටපිටාව බබළන්නේ පෘථිවියට ගහකොළ සතා සිවුපාවුන්ගේ ස්පර්ශය ලැබෙන විටය. එමෙන්ම රාත්‍රිය නිසසල චමත්කාරජනක වන්නේ තරු පිරිවරාගත් සඳ නිසාය. එසේ නම් ජාතික සමෘද්ධිය ඇතිවීමට නම් උසස් මට්ටමේ තත්ත්වය සහ ඵලදායිතාව ඇතිවිය යුතුය. ජාතික සමෘද්ධිය වෙනුවෙන් අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය, සංස්කෘතික, ආධ්‍යාත්මික හා දේශපාලන ආදී සියලු අංශවල තත්ත්වය හා ඵලදායිතාව ඉහළනැංවිය යුතුය. එවැනි වාතාවරණයක් තුළ ජාතික සමෘද්ධියක් ඇති කළ හැක.
ජාතික සමෘද්ධියක් ඇති කිරීමට නම් පහත කරුණු දෙසට අප අවධානය යොමු කළ යුතුය. වත්මන් ආර්ථික අර්බුදය, ගෝලීයකරණය, විවෘත ආර්ථිකය, තරගකාරීත්වය, රුපියල පාවීම යන කරුණු ප්‍රධාන ලෙස ගෙනහැර දැක්විය හැක. ගෝලීයකරණය යනු සීමාවක් නොමැති ලෝකයක් යන්නයි. ගෝලීයකරණය තුළින් තරගකාරීත්වය ඇතිවේ. ඉහළ ගුණත්වයක් තබාගැනීම හෝ ගුණත්වයෙන් ඉහළ කඩිනම් භාණ්ඩ/සේවාවන් සැපයිය හැකිවේ.
විවෘත ආර්ථිකය යනු වෙළෙඳ පොළ අනෙකුත් කාර්යන් කෙරෙහි සීමාන්තික නොවීමයි. එය හොඳ හෝ නරක ප්රතිවිපාකයන්ට උරදෙනු ඇත. රුපියල අව ප්‍රමාණය වීම වර්තමානයේ මහත් ආන්දෝලනාත්මක කාරණයක් මෙන්ම මිනිස් ජීවිතවලට දැඩි ලෙස බලපෑම් එල්ල කරයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වීම නිරන්තරයෙන් සිදුවන්නකි. එහෙත් සෞදිඅරාබිය වැනි රටවල මුදලෙහි අගය කිසිදුවිටක වෙනසක් නොපෙන්වයි. වසර 20ක 25ක කාලයක් පුරාවට ඇමරිකානු ඩොලරය සඳහා සෞදි රියාල් 3.75ක ගෙවීම සිදුකරයි. සමෘද්ධිමත් රටක රුපියල ස්ථාවර මට්ටමක පැවතීම ඒ රටේ සමෘද්ධිමත්භාවයට සාක්ෂියකි.
තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ ,ස්ථිර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රාජ්‍ය සමෘද්ධියකට ඉතා අත්‍යවශ්‍යය. දූෂණ, අක්‍රමිකතා, රාජ්‍ය ආයතන තුළ සිදුවන නාස්තිය ජාතික සමෘද්ධියට බලපෑම් එල්ල කරයි. එය ඵලදායීතාවයට බාධාවකි. ඵලදායීතාව යනු සීමිත යෙදවුම් ප්‍රමාණයකින් උපරිම ප්රශස්ත නිපැයුමක් ලබාගැනීමයි. එය තත්ත්වයෙන් උසස් විය යුතුය. තත්ත්වය යනු භාවිතය සඳහා සුදුසු වීමයි. පුද්ගල ඵලදායිතාව තුළින් රාජ්‍ය, පෞද්ගලික සියලුම අංශ සමෘද්ධිමත් වේ.
සමෘද්ධිමත් රාජ්‍යයක් සොයා යන ගමනේදී ආකල්පමය වෙනසක් සිදුවිය යුතුය. දෙවන ලෝක යුද සමයේදී හිරෝෂිමා නාගසාකි ප්‍රදේශවලට %Little Boy^ (ලිට්ල් බෝයි) සහ ‘%Fat Man’ (ෆැට් මෑන්) යන පරමාණු බෝම්බ හෙලූ අවස්ථාවේදී අකිහිතෝ අධිරාජ්‍යයා ජපන් වැසියාගේ ආධ්‍යාත්මයට ධනාත්මකව බලපෑම් කළේය. වෛරය,ක්‍රෝධය සිතින් බැහැර කර ධනාත්මක ආකල්පමය වෙනසක් ඇති කළේය. 1955දී ඵලදායිතා ව්‍යාපාරය ආරම්භ කළ අතර, පාලකයන්ගේ එකම පරමාර්ථය වූයේ පාලිතයන්ගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ඒමයි. ඒ සඳහා ඔවුන් එකම අරමුණක් වෙනුවෙන් මිනිස් පරපුර මෙහෙයවීමයි. ඔවුන් එය යථාර්ථයක් කරමින් %ජපන්නු හපන්නු^ බව සනාථ කරමින් එකම රාජ්‍යයක් ලෙස නැඟී සිටියේය. ඵලදායිතාව හා තත්ත්වය දියුණු කළ හැක්කේ මින් බව ගම්‍යමාන වේ.
ජපානය මෙන් නොව අපේ රට තුළ ස්වාභාවික ව්‍යසන විරලය. භූමිය සීමිත වුවත් සම්පත් ඉතා බහුලය. එහෙත් තවමත් අප සංවර්ධනය වෙමින් පවතින රටකි. චීන ජනගහනය ඉතා බහුලය. එහෙත් ඔවුන් සංවර්ධිත රටකි. ස්විට්සර්ලන්තය ගුණත්වයෙන් ඉහළම චොක්ලට් නිෂ්පාදනය කළද, එම භූමිය කොකෝවා වගාවට සුදුසු නැත. එකම කොකෝවා ගසක්වත් එහි නැත. අප රට 1966දී ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 53ක් ගත වී ඇති නමුදු එහි ප්‍රගතියක් ඇති බවක් පෙනෙන්නට නැත.
දේශීය හෝ විදේශීය දියුණු ශිල්ප ක්‍රම (5s,Kaizen,Lean Six Sigma)
එස් 5, කයිසෙන්, ලීන් සික්ස් සිග්මා භාවිතයට ගත යුතුය. අඩු කිරීම, නැවත පාවිච්චිය හා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය (3 ආර්) මගින් නාස්තිය අවම කර ගත යුතුය. උපරිම ලෙස ශ්‍රම බළකාය ප්‍රයෝජනයට ගත යුතුය. අපගේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනය 2017 සිට 2018 දක්වා වර්ධන වේගය 3.37% ක් වැනි මන්දගාමී අයුරකින් සිදුවන බව පෙනේ. අලසකම, ආකල්පමය දුර්මත ජාතික සමෘද්ධියට බාධා ඇතිකර ඇත. ජන සමාජයකට උරුම වී ඇති සියලු සම්පත් (භාණ්ඩ/සේවා) වල නිෂ්පාදන (Right first time) ඉතා ඉහළ මට්ටමේ තත්ත්වයකින් හා ඵලදායීතාවයකින් පැවතිය යුතුය. එහි ප්‍රතිඵලය ප්රශස්ත විය යුතුය. එය භෞතික ඵලදායීතාවයයි.
සාරාංශයක් ලෙස ගත් කල ඉතා ඉහළ මට්ටමේ තත්ත්වය හා ඵලදායීතාවය තුළින් ජාතික සමෘද්ධියක් ඇතිකිරීමට ඉහත සඳහන් කළ සියලු බලවේගයන්ගේ සමානුපාතික සහයෝගයක් ලැබිය යුතුය. මෙය පූර්ණ සාධක ඵලදායීතාව ලෙස හැඳින්වේ.
දරුවා කුස පිළිසිඳ ගත් දා පටන් ඔහුගේ ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික අධ්‍යාපන කාලසමයන්වල ධනාත්මක ආකල්පවලින් දරුවා පෝෂණය කළ යුතුය. ඒ සඳහා දෙමාපියන් ගුරුවරුන් මෙන්ම ප්‍රාඥයන්ගේ හා විද්වතුන්ගේ අනුග්‍රහය ලැබිය යුතුය. අප ජීවත් වන රාජ්‍යය නැතහොත් ශ්‍රී ලංකාව මේ සියලු යසඉසුරින් පිරි රටකි. එවන් රටක රාජ්‍යය සමෘද්ධිය ඉතා කඩිනමින් හා මනා ලෙස සිදුකළ හැක. ගසක පූදින ඵලයක බීජයක් එතැනම රෝපණය වන්නේ නිරායාසයෙනි. කාලගුණික දේශගුණික බලපෑම් ඉතා යහපත්ය. අධ්‍යාපනික මට්ටම සාධනීයය. රට තුළ බොහෝ කුසලතා පිරි සංවේදී මිනිසුන්ය. ගහකොළ සතා සිවුපාවුන්ගෙන් ගහනය. මේ පරිසරය මානවයාගේ ආධ්‍යාත්මය සංසුන් කරයි. මේ රාජ්‍යය සමෘද්ධියට කිසිදු බාධාවක් නැත. මානවයාට සුදුසුම පරිසරය අපේ මේ දේශයයි. සදා අභිනන්දනීය වන්දනීය වූ ශ්‍රී ලංකාවයි. මේ සියලු දේ ඒකරාශී වූ කල ඉතා උසස් මට්ටමේ තත්ත්වය හා ඵලදායිතාව තුළින් ජාතික සමෘද්ධියක් ඇතිකිරීම සිහිනයක් නොව යථාර්ථයක්ම වනු ඇත.