Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
පළිබෝධනාශක පිළිබඳ හැමදාමත් ඇසේ. එහෙත් ඒවා අලෙවිය සහ ක්ෂේත්රයට යොදා ගැනීමට අදාළව සංවාද ඇසුණුද මෙවැනි අන්තරායකාරී ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ අලෙවිකරුවන් සහ ප්‍රවාහනය කරන්නන් හෝ මැදිහත්වන වෙනත් පාර්ශ්වයන් දැනුවත් කිරීමක් නොවන තරම්ය. මේ ඒ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය මගින් කෙරෙන මග පෙන්වීමකි.
මෙහිදී පළපුරුදු රියදුරු මහතෙකු සහිත වාහනයක් යෙදවීම ඉතා වැදගත්ය. එම වාහනයේ රියදුරු කුටිය සහ ප්‍රවාහනය කරන කොටස වෙන වෙනම තිබීම වැදැගත්ය. නැතහොත් එහි අනිටු විපාක රියදුරු සහ සේවකයාට අත්වෙමින් ශ්වසන අපහසුතා වැනි අවස්ථා ඇතිවිය හැකිය.
වාහනයකට පළිබෝධනාශක පැටවීමේදී ප්‍රමාණය ඉක්මවා පැටවීම නොකළ යුතුය. විවෘත වාහන තුළ ප්‍රවාහනය නොකළ යුතු අතර, තොගයේ ඇති ද්‍රව්‍යය මොනවාද සහ හදිසි අවස්ථාවකදී ගතයුතු පියවර කුමක්දැයි ඔවුන් දැනුවත් කර තිබීම අනිවාර්ය දෙයකි. යම් හෙයකින් හදිසි අනතුරකින් වාහනයට හානියක් වන්නේ නම් එහි ප්‍රවාහනය කෙරෙන පළිබෝධනාශකයන්හි රසායනිකයන් පරිසරයට එක්වීමට ඇති අවස්ථාව හෝ ගින්නක් ඇතිවන්නේ නම් සිදුවන අනතුරු උදාහරණ ලෙස දැක්විය හැකිය.
වාහන තදබදය අඩු පාරවල් මෙවැනි ද්‍රව්‍ය ප්‍රවාහනයේදී වැඩි වශයෙන් භාවිත කිරීම අනතුරු අවම කර ගැනීමට අනුබලයකි.
යම් හෙයකින් නොමනා ආකාරයෙන් ප්‍රවාහනය නිසා පළිබෝධනාශක වර්ග පොළොවට හැළීමෙන් උරා ගැනීමෙන් සිදුවන හානිය මෙන්ම ගිනි ගැනීම, පරිසරයේ වායු දූෂණය භයානක තත්ත්වයකි. එයින් මිනිස් ගහනය වැඩි ප්‍රදේශවලදී සිදුවන හුස්ම ගැනීමේ අපහසුව සහ ජලමූලාශ්රයන්ට සිදුවන හානියද සරල උදාහරණ ලෙස දැක්විය හැකිය.
මේ වනවිට ව්‍යාජ සහ තහනම් පළිබෝධනාශක වර්ග හොර රහසේ අලෙවි කරන බව ඇසේ. එවැනි අවස්ථාවලදී ප්රවේශම්කාරී ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන්නේද යන්න සැක සහිතය. එහිදී පොලීසියේ හෝ වෙනත් වැටලීම් අංශයන්ට හසු නොවී ඒවා ගෙන යෑමට ගන්නා උත්සාහවලදී මෙවැනි අනතුරු බහුල වශයෙන් සිදුවිය හැකිය. මෙවැනි අනතුරු වැළැක්වීමට අනුබල සැපයීම ජනතාවගේද වගකීමකි. එසේම තවදුරටත් ප්‍රවාහනයේදී,
ආහාර ද්‍රව්‍ය හෝ ගෑස් සිලින්ඩර වැනි ගිනි ගන්නා සුළු දෑ සමග ප්‍රවාහනය සහ ගබඩා කිරීම නොකළ යුතුය.
මුල් ඇසුරුම භාවිත කරමින් හෝ වැසිය හැකි පියනක් සහිත කාඩ්බෝඩ් පෙට්ටිවල දමා ප්‍රවාහනය කිරීම වැදගත්ය.
හැමවිටම කාන්දුවන සහ හානියට පත් ඇසුරුම් බෝතල් වැනි දේ තිබේ නම් ඒවා ප්‍රවාහනයෙන් වැළකිය යුතුය.
ගොඩනැගිල්ල
එහිදී ජලයෙන් යට නොවන ස්ථානයක් මෙන්ම පාසල්, රෝහල් සහ ප්‍රධාන දිය පහර ඇති ස්ථානයන්ගෙන් ඈත් විය යුතුය. එසේම ප්‍රධාන ගබඩාවක ප්‍රමාණවත් වාහන නතර කිරීමේ පහසුකම්ද තිබිය යුතුය.
ගොඩනැගිල්ල සහ ගබඩාව සකස්කර ගැනීමද දැඩි වගකීමෙන් කළ යුතු කරුණකි. ගොඩනැගිල්ල හැකි තරම් දුරට ගිනි නොගන්නා ද්‍රව්‍යවලින් ඉදිකළ යුතුය. බිමට සිමෙන්ති යොදා සිමෙන්තියෙන් සුදුමැද තැබීමෙන් නිතරම පිරිසිදුව තබාගත හැකිය. එමගින් පොළවට උරා ගැනීම වැළැක්වීම මෙන්ම සෝදා අතුපතුගා පිරිසිදු කිරීමට පහසුවකි.
මෙම ගොඩනැගිල්ලේ වහල සැකැසීමේදී ටකරන් හෝ පොල්අතු භාවිතය සුදුසු නැත. වහලෙන් ජලය කාන්දු නොවීමද වැදගත් අවශ්‍යතාවකි.
වාතාශ්‍රය සහ වෙනත්
ගොඩනැගිල්ලේ වාතාශ්‍රය කෙරෙහිද අවධානය යොමුවීම අවශ්‍ය කරුණකි. බිම වර්ගඵලයෙන් 1/100කට වැඩියෙන් තැබීම වැදගත් සේම පිටාර පංකා ක්රමයද යෙදිය හැකිය.
ආලෝකය සැපයීමේදී පැහැදිලිව ලේබලය කියවිය හැකි තරමේ ස්වභාවික හෝ කෘතිම ආලෝකයක් ප්රමාණවත්ය.
ගබඩාවේ ආරක්ෂාව කෙරෙහිද අවධානය යොමු විය යුතු කරුණකි. එහිදී අගුල් දැමිය හැකි දොර සහ ග්‍රිල් සහිත ජනේල හෝ කවුළු වැදගත්ය.
විදුලි සම්බන්ධතාව සැපයීමේදී විදුලි රැහැන් සැපයීම කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත්ය. පළුදු රහිත සහ ආරක්ෂිත බට තුළින්ද බිත්තියට සවිමත්ව සම්බන්ධ කළ සම්බන්ධතාවක්ද විය යුතුය. තාවකාලිකව තැනින් තැන එල්ලෙන ගැලවෙන හානිකර සම්බන්ධතාවන් නොයෙදිය යුතුය.
පළිබෝධනාශක නිසි ලෙස ගබඩා කළ යුත්තේ ඇයිද, යන්න බොහෝ දෙනෙකු අවධානය යොමු නොකළ කරුණකි. විශේෂයෙන්ම එයින් ඇතිවිය හැකි දිගුකාලීන අවදානම සහ විපාකය බොහෝ ගබඩාකරුවන් සහ අලෙවිකරුවන්ද අමතක කර ඇති බව ඇතැම් අවස්ථාවලදී දැකිය හැකිය.
එමගින් වර්ග පහසුවෙන් හඳුනා ගැනීමටත් එයින් සිදුවන වැරදි වැළැක්වීමත් මෙහිදී ප්‍රධාන තැනක් ගනියි. තවදුරටත් ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමටත් එමගින් පළිබෝධනාශක නිසා ඇතිවිය හැකි පුද්ගල සහ පරිසර හානි අවම කර ගැනීමටත් ඉඩකඩ සැපයේ.
තවදුරටත් සේවකයන් යොදා ගනිමින් කටයුතු කිරීමේදී කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. නිසි ලෙස ගබඩා කිරීමෙන් කල් ඉකුත්වීම පහසුවෙන් හඳුනාගත හැකිය.
තවදුරටත් මේ සියල්ල සම්පාදනයේ අවසාන අරමුණ වන්නේ මිනිසා සහ පරිසරයට සිදුවන හානි වළක්වා ගැනීම බවද අවධාරණය කළ යුතුය.
ගබඩා කිරීම සහ ඇසිරීම
මෙවැනි ගබඩාවක් තුළ පළිබෝධනාශක ගබඩා කරන්නේ කෙසේද? ඒවා මූලික බඳුන තුළම තිබිය යුතුය. එහිදී මෙයට පෙර ගෙනවිත් ගබඩාකර තිබූ දේ කලින් විකිණිය හැකිවන සේ ඒවා ගබඩා කළ යුතුය. එසේම බිම සිට අතින් ගත හැකි උසට පමණක් ඒවා රැස්කර තැබීම කළ හැක. කෙළින්ම හිරු එළියට නිරාවරණය නොවන සේ ඒවා තැබීම වරදකි. කල් පසුවන සහ හානියට පත් ඇසුරුම් වෙනම ස්ථානයක ආරක්ෂිතව ගබඩා කළ යුතුය.
පොදුවේ පළිබෝධනාශක ඇසිරීම හා භාවිතය සිදුකළ යුත්තේද විධිමත් ආකාරයකිනි. එහිදී එක් එක් වර්ග අනුව වෙන වෙනම ගබඩා කළ හැක. වීදුරු අල්මාරි සහ නොසෙල්වෙන රාක්ක මෙහිදී භාවිතයට ගැනේ. එහිදී මෙහි වෙනත් තැනක සඳහන් කර ඇති පරිදි මනුෂ්‍ය සහ සත්ත්ව ආහාර ද්‍රව්‍යවලින් වෙන්වන සේ ලේබල පිටත සිට පහසුවෙන් කියවිය හැකි පරිදි ඇසිරීමද වැදගත්ය.
භාණ්ඩ ප්‍රවාහනයට පැටවීමේදී සහ බෑමේදී හෝ ගබඩා කිරීමේදී අනතුරු සිදුවිම වළක්වා ගැනීමට තම සේවකයන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. පළිබෝධනාශක යනු විෂ වර්ග බව ඔවුන්ට ඒත්තු ගැන්වීමෙන් වඩා ආරක්ෂාකාරී පිළිවෙත් සඳහා ඔවුන් යොමුවනු ඇත.
එහිදී අත් ආවරණය වැනි දේ භාවිතය කිරීමට යොමුවිය හැකිය. ප්‍රවාහනයෙන් පසුද වාහනය හොඳින් සෝදා පවිත්‍රා කිරීම වැදගත්ය.
එසේ හෙයින් හොර රහසේ සහ අන්තරායකාරී ලෙස කෙරෙන තහනම් පළිබෝධ ද්‍රව්‍ය ප්‍රවාහනය ගබඩා කිරීම සහ අලෙවි කරන අවස්ථා සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීම පිරිසිදු පරිසරයක් අපේක්ෂා කරන ජනතාවගේද වගකීමකි.
අනතුරු සඳහා අනුබල සැපයීම
පළිබෝධනාශක ඇසුරෙන් හදිසි අනතුරු සිදුවන්නේ කෙසේද? නිසි අවබෝධයක් නොමැතිව ඒවා භාවිත කිරීම මූලික හේතුවකි. හැම පළිබෝධනාශකයක්ම නියමිත සහ අනුමත ප්රමාණයන්ට වඩා භාවිතයෙන් ඒවා තවදුරටත් හානිකර විය හැකිය. අනෙක් අතට ප්‍රවාහනය, ගබඩා කිරීම, අලෙවියට තැබීම පමණක් නොව ක්ෂේත්‍ර භාවිතයේදීද එවැනි නොසලකා හැරීම නිසා හදිසි අනතුරුවලට ඇති අවකාශය අපමණය.
අනතුරු සහ සම්භාවිතය
ඒ සමගම එක් එක් අංශ අනුව පළිබෝධනාශකවලින් අනතුරක් සිදුවී තිබෙන සම්භාවිතය පිළිබඳ කර ඇති අධ්‍යයනයන් පිළිබඳ එය සාරංශ කරමු.
එහිදී හදිසි වැරදීම් නිසා සිදුවන අනතුරු ප්‍රමාණයට වැඩි අනතුරු ප්‍රමාණයක් පළිබෝධනාශක ඉසීමේදී සිදුවෙයි.
ගබඩාකරුවන් සහ අලෙවිකරුවන් අතින් සිදුවන අනතුරු ප්‍රමාණය එයට වැඩි ප්රතිශතයකි. එයටත් වැඩි අනතුරු නිෂ්පාදන කර්මාන්තශාලා කම්කරුවන් අතින් සිදුවීමට ඇති අවකාශය වැඩි බව දත්ත දක්වයි.
මෙහිදී ලංකාවේ පළිබෝධනාශක කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් නොමැති හෙයින් ඒ අවදානමට වඩා ගබඩා කිරීම සහ අලෙවිය සම්බන්ධයෙන් පවතින අවදානම ඉහළ මට්ටමක් දක්වයි.
නමුත් ගෘහ මට්ටමේ පවා කෘමි සහ කැරපොත්තන් නාශක ලෙස හෝ මීයන් වඳ කිරීමට රසායනික් වර්ග ඇසුරුම් කරන බව අමතක නොකළ යුතුය. එහි ඇති ආදීනවද අතිභයානකය.
ඉහත කරුණු අනුව ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී, අලෙවියේදී පමණක් නොව ඒවා ක්ෂේත්රයේ භාවිතයට ගැනීමේදීද ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුය. එහිලා මේ වනවිට පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය මගින් වඩා ආරක්ෂාකාරී ඇඳුමක් හඳුන්වාදී තිබේ. එමගින් පළිබෝධ යන්ත්‍රානුසාරයෙන් ඉසීමේදී සිදුවන හානි රැසක් අවම කරගත හැකි බව පළිබෝධ රෙජිස්ටාර් කාර්යාලය පවසයි.
විශේෂයෙන්ම ව්‍යාජ සහ හොර පළිබෝධනාශක මේ වනවිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල භාවිත වන බවට පැවසෙන තොරතුරු නිවැරදි දැයි අප පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් විමසවෙමු.
“දිවයිනේ තැනින් තැන මෙවැනි දේ සිදුවන බවට ආරංචි ලැබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වැටලීම් නිරතුරු සිදුකරනවා.
මෙතෙන්දී වඩා වැදගත් වන්නේ මෙවැනි දේ හොර රහසේ අලෙවිය සිදුවන්නේ නම් ඒවා ප්‍රවාහනය, ගබඩා කිරීම, රැස් කිරීම සම්බන්ධයෙන් ඉහත ප්රමිතීන් අනුව සිදුවන්නේද යන සැකය සාධාරණයි.
අනෙක් අතට ඇතැම් පළිබෝධනාශක වර්ග හොර රහසේ අලෙවි කරන විට ඒවායේ නියමිත ප්‍රමිතියක් නැහැ. අඩුම තරමින් ඒවා ඇසුරුකර ඇති ඇසුරුමේවත් එම ද්‍රව්‍ය හඳුනාගත හැකි නමක් නොමැති ඒවා අප අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය නීති විරෝධී මෙන්ම යම් හෙයකින් කෙනෙකුට ශරීර ගතවුවහොත් කිසියම් ප්‍රතිකාරයක් ලබාදිය නොහැකි තරමට අවදානමක් ඇති කරනවා. ඒ නිසා වගකිවයුතු විශ්වාසවන්ත තැනකින් එවැනි පළිබෝධනාශක ලබාගැනීමේ වගකීම ජනතාව සතුයි.* යනුවෙන් පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය උපදෙස් ලබාදුන්නේය.
මේ අතර භාවිතයෙන් ඉවතලන ඇසුරුම් බෝතල් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීමද, ඒවා යොදාගන්නා පාර්ශ්වයන්ගේ වගකීමකි. එහිදී ඉවතලන බෝතල් සහ සේදීමට යොදා ගන්නා ජලයද නිසි ලෙස ඉවත් කිරීමේ ක්‍රමයක් කෙරෙහි ගොවියාගේ වගකීමකි. මේවා ගලන දොළකට, ඇළකට, විසිකිරීමෙන් හෝ මහපොළවට ගලායන ලෙස හැලීම නොකළ යුතු දෙයකි.
එහිදී ඉවතලන බෝතල් රැස්කර විනාශ කිරීමේ ක්‍රමයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් සිදුකරයි. ඒ වෙනුවෙන් ඒවා ගබඩා කර තැබිය හැකි සුවිශේෂී ගබඩා කිහිපයක් මේ වනවිට වැඩි වශයෙන් පළිබෝධනාශක ද්‍රව්‍ය භාවිතවන ප්‍රදේශයන්හි ඉදිකර ඇති බවද පළිබෝධනාශක රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත් එහිදී මේ වනවිට ග්ලයිපොසේට් භාවිතය සම්බන්ධයෙන් යම් නෛතික අලෙවි ක්‍රියාදාමයක් පවතින බැවින් මොනයම් ආකාරයකින් හෝ සාමාන්‍ය ගොවියා අතර ග්ලයිපෝස්ට් භාවිත විය නොහැකි බවද එම කාර්යාලය අවධාරණය කරයි.
සටහන- පළිබෝධනාශක සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විවිධ මතිමතාන්තර ගැටුම්කාරී මත නිර්මාණය කිරීමටද අනුබලයක් බව අප අධ්‍යයනයේදී පෙනී ගිය හෙයින් එහිදී වැඩිමනත් නිවැරදි තොරතුරු වෙනුවෙන් පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යලය සමග ජනතාව දැනුවත් වීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කරන්නෙමු.
අත්අඩංගුවට ගත් ව්‍යාජ පළිබෝධනාශක
මේවා පරිසරයට එකතුවන්නේ නම් සිදුවන හානිය කෙතරම් විය හැකිද?
ඉහතින් ඇති කොළ පැහැති ඇසුරුම බලන්න. එහි ඇතුළතින් ඇත්තේ කවුරුත් දන්නා ලංකාවේ එක් සංස්ථාවක භාණ්ඩ ඇසුරුම් හා යොදා ගත් බැගයකි. එහෙත් ඒ බෑගය පිටතින් පළිබෝධනාශක නම සඳහන් ව්‍යාජ ලේබලයක් අලවා ඇති බව පැහැදිලිව දැකගත හැකිය. එසේනම් එහි ඇතුළත අන්තර්ගතය පිළිබඳ දකුණු පැත්තේ කහ, තැඹිලි ව්‍යාජ ඇසුරුම අනුව සෑහීමකට පත්විය හැකිද? මෙවැනි අනීතික ව්‍යාජ දේ ප්‍රවාහනය, ගබඩා කිරිම, අලෙවිය සහ භාවිතය තුළ පුද්ගලයාටත් පරිසරයටත් සිදුවන හානිය ගැන සිතන්න.
කෘමි මර්දනයට යැයි දක්වා වෙළෙඳ පොළේ හොර රහසේ අලෙවි කරන පැකට්ටුවකි මේ. මෙහි අදාළ නිෂ්පාදනයේ නම දක්වා නැත. හදිසියේ ශරීරගත වුවහෙත් දියයුතු ප්‍රථමාධාර සහ ප්‍රතිකාර දක්වා නැත.සඳහන් ලිපිනය ද සදොස් එකකි. සමස්තයක් ලෙස මෙම ඇසුරුම සදොස් බව අප කළ විමසීමේදී පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd