කතරගම වන්දනාවේ යන එන සංචාරකයන්ට ආරක්ෂිතව හා සුන්දර පරිසර පද්ධතියක සිට මැණික් ගංගාවේ දිය නෑමට නිර්මාණය කළ අපුරු තොටුපොළක් පිළිබද පුවතක් පසුගිය දින අපට වාර්තා විය. ඒ අනුව අපි එම ස්ථානය සොයා කතරගමට ගියෙමු. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රජමහා විහාරය අසලය. මේ අපූරු දිය නාන ස්ථානය නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික වතුරුවා රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති දෙනගම ධම්මරතන හිමියන් හා සෙල්ලකතරගම සැළලිහිණි යෞවන සමාජයේ දුවා දරුවන් විසින් වීමද විශේෂත්වයකි.
බහුතරයක් බැතිමතුන් අතර තවමත් මේ අපූරු ස්ථානය ප්‍රචලිත නැතත් දැනටමත් කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් 40%ක ප්‍රමාණයක් දිය නෑම සඳහා පැමිණෙන්නේ මෙම ස්ථානයටය. මෙම ස්ථානයේ නිර්මාතෘ දෙනගම ධම්මරතන හිමියන් අප සමග පැවසුවේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා මැණික් ගංගාවේ ආරක්ෂිතව දිය නෑමට ඉදිවූ එකම ස්ථානය මෙය බවයි.
එමෙන්ම මෙය ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථානයක් වීමද විශේෂත්වකි. ඒ දුටුගැමුණු මහ නිරිඳුන් දස මහා යෝධයන්ද ඇතුළු යුද සේනාව පිරිවරා මාගම සිට එළාර රජු සමග යුද වැදීමට අනුරාධපුර මහ සටනට යන අවස්ථාවේ මැණික් ගංගාවෙන් එගොඩ වී ඇත්තේ සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා තොටුපොළෙනි.
මෙම අපූරු ස්ථානය පිළිබඳව ඓතිහාසික වතුරුවා රජ මහා විහාරාධිපති දෙනගම ධම්මරතන හිමියෝ මෙලෙස අදහස් දැක්වූහ.
කතරගම වන්දනාවේ යන එන බැතිමතුන්ට මැණික් ගංගාවේ ආරක්ෂිතව දිය නෑමට ස්ථානයක් නෑ. ඒ වගේම තමයි මැණික් ගඟට දිය නෑමට යන බැතිමතුන්ට කුඩුකාරයින් නිසා තමන්ගේ රෙදි කෑලි ටිකවත් අද වන විට ආරක්ෂා කර ගැනීමට අපහසු වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල වන්දනාවේ ඇවිත් මැණික් ගඟට බැහැලා දිය නාගෙන ගොඩට එනකොට රෙදි ටික නැහැ, බෑග් එක නැහැ. මේ නිසා අපි කල්පනා කළා බැතිමතුන්ට මැණික් ගඟේ දිය නාන්න, කෑම ටිකක් කන්න, නිදහසේ ටිකක් ඉන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය කරන්න. ඒ අනුව තමයි අපි සෙල්ලකතරගම සැළලිහිණි යෞවන සමාජයේ දුවාදරුවන් එක්ව මේ ස්ථානය නිර්මාණය කරන්න හිතුවේ. මේ කටයුත්ත සඳහා අපිට තරුණ සේවා සභාවෙන් විශාල දායකත්වයක් ලැබුණා. ඒ තරුණ සේවා සභාවේ තුරුණු ශ්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ. මේ දිය නාන ස්ථානය අපි නිර්මාණය කළෙත් ඓතිහාසික වශයෙන් වැදගත් වූ ස්ථානයක. දුටුගැමුණු මහ රජු ඇතුළු සේනාව අනුරාධපුර මහ සටනට යද්දී මැණික් ගඟෙන් එගොඩ වුණේ මේ ස්ථානයෙන්. එවන් වැදගත් ස්ථානයක තමයි අපි මේ දිය නාන ස්ථානය නිර්මාණය කළේ. මෙය ගමේ දරුවන්ගෙන්ම ආව යෝජනාවක්. මෙහි සියලුම වැඩ කළේ ගමේ තරුණ දුවා දරුවන්. ඉතා සුන්දර පරිසරයක තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. මෙහි දිය නාන්න එන්න කිසිම කෙනෙකුට වියදමක් යන්නෙ නෑ. කවුරුවත් මෙතන නාන්න සල්ලි අය කරන්නෙත් නැහැ. ඉතා ආරක්ෂිතව බැතිමතුන්ට ඇවිත් දිය නාන්න වගේම ආහාරපාන ගන්න හා විවේකීව ඉන්නත් පුළුවන්. ඒ වගේම යන එන බැතිමතුන්ගෙන් අපි ඉල්ලනවා මේ ස්ථානයේ හැමතැනම කැළි කසළ දමන්නේ නැතිව ආරක්ෂා කර ගැනීමට දායක වන්න කියලා.
මෙම අපූරු ස්ථානය පිහිටා ඇත්තේද දකුණු ආසියාවේ විශාලතම ස්වර්ණ මහා සෑය පිහිටා ඇති සෙල්ලකතරගම වතුරුවා රජ මහා විහාරය අසල වීම තවත් විශේෂත්වයකි. මහානාග රජ සමයේ ඉදිකෙරුණු වතුරුවා රජ මහා විහාරයද බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වූ විහාරස්ථානයකි. මෙම විහාරස්ථානයේ ඉදිකර ඇති රන් දාගැබ අඩි 72ක් උස් වන අතර, ස්ථූපයේ වට ප්‍රමාණය අඩි 136කි. ස්ථූපයට පලඳවා ඇති චූඩාමාණික්‍යය චෙක් ජනරජයෙන් ගෙන්වා සිංගප්පූරුවේදී ඔපදමන ලද අඟල් 32ක් වූ ලෙඩ් ක්‍රිෂ්ටල් පාෂාණයෙන් නිමවා තිබේ. සම්පූර්ණ ස්ථූපයම රන් කුඩු මිශ්‍ර මොසැක් වර්ගයේ ටයිල් අල්ලා තිබේ. දකුණු ආසියාවේ උසම චූඩාමාණික්‍යය ඇත්තේද මෙම ස්ථූපයේය.
ඓතිහාසික වතුරුවා රජමහා විහාරස්ථානයට මඳක් නුදුරින් පිහිටා ඇති මෙම වතුරුවා තොටුපොළ බැතිමතුන්ට නිදහසේ ස්නානය කළ හැකි ආරක්ෂිත තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල ප්‍රසාදයක් හිමිව තිබේ. ඓතිහාසික වතුරුවා රජමහා විහාරස්ථානය කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසන විහාරස්ථානයක් ලෙසද ප්‍රචලිතය.
සූරියවැව - නුවන් ජයසේකර