හිඟුරක්ගොඩ -ඩබ්. ඒ. පියතිලක
සෝමාවතිය ජාතික උද්‍යානය දිනෙන් දින විනාශ වන ස්ථානයක් හා සතුන් දඩයම් කිරීම ඇතුළු විවිධ ජාවාරම් සිදුකෙරෙන තෝතැන්නක් බවට පත්ව ඇති බව ඒ අවට ප්‍රදේශවල ගම්වාසී ජනතාව පවසති. මෙරට තුළ ඇති ජාතික උද්‍යානවලින් සුවිශේෂී ස්ථානයක් සෝමාවතිය ජාතික උද්‍යානයට හිමිව තිබේ. 1986 දී ජාතික උද්‍යානයක් ලෙස නම් කෙරුණු මෙම උද්‍යානය වර්ග කිලෝ මිටර් 365.5ක විශාල භූමියකට හිමිකම් කියයි.
කවුඩුල්ල, පොළොන්නරුව, මැදිරිගිරිය, බේරිවිල, සෝමාවතිය, සුංගාවිල, වැලිකන්ද, සේරුවාවිල සහ කන්තලේ යන වනජීවී කාර්යාල මගින් මෙම උද්‍යානයට සහ එහි සිටින ගහකොළ සතා සිවුපාවාට ආරක්ෂාව සපයන අතර, මේ උද්‍යානය අවට ජීවත්වන සහ පිට පළාත්වලින් පැමිණෙන මිනිසුන් විසින් ක්‍රමක්‍රමයෙන් උද්‍යානයේ ඉඩම් අත්පත් කර ගැනීමත්, ගස්කොළන් කපා දැමීමත් සහ සතුන් ඝාතනය කිරීම යන කරුණු නිසා වනජීවී නිලධාරීන් තම ජිවිතය පරදුවට තබා දිවා රාත්‍රී වෙහෙස නොබලා තමන්ගේ රාජකාරිය දේව කාරියක් ලෙස ඉටු කරමින් සිටී.
එවන් වතාවරණයක් තිබියදීත් වනජීවී නිලධාරීන් නොමග යවා විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් වන සතුන් ඝාතනයත්, වටිනා වෘක්ෂලතා ඝාතනයත් ඉතා සුක්ෂ්ම ලෙසින් ජයටම කර ගෙන යන බවට එහි ගිය අප හට දැකගත හැකි විය.
දින දෙකක් පුරා ඝන වනාන්තරය තරණය කරමින් අප පොලීසිය සමග විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වූ අතර, මැදිරිගිරිය, වඩිගවැව ප්‍රදේශයෙන් අප සෝමාවතිය ජාතික උද්‍යානයට ඇතුවීම සිදු කළේ කිසිදු ගැමියෙකුට නොදැනෙන ලෙසය.
අප කිලෝ මීටර් 15ක් පමණ දුරක් ඝන වනාන්තරය තුළට ගමන් කිරීමේදී පළමු කිලෝමීටරයේ සිට කිලෝ මීටර් 5ක් පමණ යන තුරු කිසිදු විශාල ගසක් දැකගත නොහැකි විය. එහි දක්නට ලැබුණේ වියළී ගිය කටු පඳුරු සහ කෙවිටකට ගත හැකි කුඩා ගස් කිහිපයක් පමණි.
එතැන් සිට කිලෝ මීටර් 10ක් දක්වා යන විට මීට වසරකට පෙර පමණ කාලය තුළ වසර සියකට වඩා පැරණි කුඹුක්, මී, පාළු, තිඹිරි, මාදම්, වැනි විටිනා ගස් කපා කොටස් කර රැගෙන ගොස් ඉතිරිව තිබූ ඇද වූ කොටස් සහ පිට ලෑලි ලෙස හඳුන්වන කොටස් ඉතිරිව තිබෙන අයුරු දැකගත හැකි විය.
අප තිඹිරි ඇළ අසන්නයට ළගා වනවිට දැකගත හැකි වූයේ ඇළ ඉවුරේ බැරල් 3ක් උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්පැන් පෙරණ අයුරුය. පොලීසිය එම ස්ථානයට ළඟාවන විට ජාවාරම්කරුවන් පැන ගොස් ඇති බවට ඉතිරිව තිබූ එකම සාක්ෂිය බැරැල්වලට ගිනි දමා නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා සියලු දේ සූදානම් කර තිබීමයි.
පසුව අවට පරීක්ෂා කිරීමෙන් අනතුරුව බැරල් 08ක් සොයා ගැනීමට හැනියාව ලැබුණි. තව තවත් පරීක්ෂා කිරීමේදී තිඹිරි ඇළ අවට කිසිදු විශාල ගසක් ඉතිරි නොකර සියලුම විශාල ගස් කපා දමා තිබෙණු දක්නට ලැබුණි.
එක් දිනක් තුළ පමණක් මීටර් 500ක් පමණ අවට ඇති වටිනා පළු, කුඹුක් සහ තිඹිරි ගස් 20ක් පමණ කපා තිබෙන අයුරු දක්නට තිබේ. උද්‍යානය තුළ ගවයන් දමා සිටින පුද්ගලයන් විසින් ජාවාරම්කරුවන්ට පොලීසිය උද්‍යානයට ඇතුළු වී ඇති බවට තොරුතුරු ලබාදීම නිසා ඔවුන් පැන ගොස් තිබිණි. ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දින දෙකක් රැක සිටියද කිසිදු පුද්ගලයෙකු උද්‍යානයට නොපැමිණි බව පොලීසිය පැවසූ අතර, ලී ජාවාරම්කරුවන්ටත්, දඩයම්කරුවන්ටත්, නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන්ටත් ආරක්ෂාව සපයා දෙනුයේ උද්‍යානය තුළ රැඳී ගවයන් බලා ගන්නා පුද්ගලයන් බව පොලීසිය පැවසීය.
සෝමාවතිය ජාතික උද්‍යානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ අවට මහ වනාන්තරය තුළ විශාල වටිනා ගස් කපා දමා එම ගස් ලී බවට පත්කරගෙන රැගෙන ගොස් තිබෙන අයුරු දැකගත හැකි වූ අතර, මෙම උද්‍යානය තුළ ලී ජාවාරම සහ නීති විරෝධී මත්පැන් ජාවාරමත්, සතුන් දඩයමත් ජයටම සිදුවන බව ප්‍රදේශයේ ජනතාව පවසා සිටී.
මේ වනවිට සෝමාවතිය ජාතික උද්‍යානයේ සියලු කාර්යාලවල වනජීවී නිලධාරීන් දිනපතා වැටලීම් සිදුකළද මුළු උද්‍යානයම ආවරණය වන පරිදි යෙදවීම සඳහා වනජීවී නිලධාරීන්ගේ හිඟයක් පවතින බැවින් ජාවාරම්කරුවන්ට මහත් වාසිදායක තත්ත්වයක් උදා වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
ඉකුත් දිනක පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් දින දෙකක් දිවා රාත්‍රියේ රැක සිට ලී ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද, ජාවාරම් සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. එහිදී ජාවාරම්කරුවන් පලා ගොස් තිබේ.
සෝමාවතිය ජාතික උද්‍යානය තුළ වනජීවී නිලධාරීන් පමණක් නොව පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, යුද හමුදාව සහ වනජීවී නිලධාරීන්ද නිතර නිතර වැටලීම් සිදු කරයි.
සෝමාවතිය ජාතික උද්‍යානයේ විවිධ ප්‍රදේශ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර, එවැනි තවත් ස්ථානයක් වන අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශයේ කලක පටන් වන විනාශයක් සිදු වේ. කිසියම් පිරිසක් විසින් ඉතා රහසිගතව ලොකු කුඩා සියලු ගස්වැල් කපා දමමින් හෙළි පෙහෙළි කර ගිනි තබමින් තිබෙන බවට ලද තොරතුරක් අනුව වනජිවි නිලධාරීන් සහ පොලීසිය සමග අප එම ස්ථානයට ළඟා වන විටත් වසර දහසකට වැඩි දැවැන්ත කුඹුක් ගසකට ගිනි තැබීම හේතුවෙන් බිමට පතිත වී ගිනි ගනිමින් තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය.
උද්‍යානයේ ඉපැරණි ගස් සියල්ලම සහ කුඩා ගස්වැල් සියල්ල සමූලඝාතනය කරම්න් එහි ඇති බක්මී සහ මී ගස් සියල්ලද කපා විනාශ කර තිබෙන අයුරු එහි ගිය අපට දැකගත හැකිවිය. අවුරුද්දෙන් අවුරුද්ද, මාසෙන් මාසේ, දිනෙන් දින, ටිකෙන් ටික, අඩියෙන් අඩිය, ජාවාරම්කරුවන් විසින් සෝමාවතිය ජාතික උද්‍යානය විනාශ කරමින්, අත්පත් කරගනිමින් සිටී.
කෙසේ නමුත් මෙම උද්‍යානයේ මේ වනවිට අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශයේ පමණක් මහා දැවැන්ත කුඹුක් ගස් ගිනි තබා ඇති අතර, විශාල මීගස් සහ බක්මී ගසක් කපා එහි ලෑලි ජාවාරම්කරුවන් විසින් රැගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෝමාවතිය ජාතික උද්‍යානයේ භාරකරු අඩවි ආරක්ෂක ඩබ්.එම්.එල්.කේ. වාසල මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මුලින්ම කියලා ඉන්න ඕනි මේ අක්කර ගාණක් ලොකු කුඩා සියලුම ගස් කපලා කුඹුරු කරලා තියෙන්නේ සෝමාවතිය ජාතික උද්‍යානයේ තමයි. ආය රක්ෂිතයේවත්, ප්‍රේරණ කලාපයේවත් නෙවේ. මේවාට කවුරු අවසර දුන්නාද කියලා මං දන්නේ නෑ. කවුරු අවසර දුන්නත් මං මේ අයට නීතිය ක්‍රියාත්මක කරනවා. මේ වන කොට මේ උද්‍යානය තුළ අක්කර ගණනාවක විශාල ගස් කොළන් කපලා විනාශ කර දමලා කුඹුරු කරනවා. ඒ විතරක් නෙවේ ඊට අමතර දැන් අලුතින්ම ලී කණුවලින් වැටවල් ගහලා අක්කර ගාණක් වැඩ කරන්න තමයි මේ ගස් ගිනි තියලා කපලා සූදානම් වෙන්නේ.
මේ අය තව ටික කාලයක් මේ විදිහට කටයුතු කළොත් සෝමාවතිය ජාතික උද්‍යානයක් නැති වෙනවා. ඒ නිසා මෙවැනි දේ කළ බවට විවිධ අවස්ථාවල සැකපිට පුද්ගලයන් අපි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. තවත් තොරතුරු රැසක් අප වෙත ලැබෙමින් පවතිනවා.
ඒ අනුව කිසිදු පුද්ගලයෙකුගේ තරාතිරමවත් ජාතියවත් ආගමවත් අපිට ආදාළ නෑ. වැරදි සිදුකරන කොයි යම් හෝ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ උද්‍යානය
තුළට කාටවත් ඇතුළු වෙන්න බෑ.
නමුත් යම් පිරිස් විසින් ව්‍යාජ ආකාරයට ලියකියවිලි බලධාරීන්ගේන් ලබාගෙන උද්‍යානය තුළ පරිසරය විනාශ කරමින් කුඹුරු අස්වැද්දීමට සූදානම් වෙනවා.
මේ අය අත්අඩංගුවට ගන්න ගියාම අපේ නිලධාරීන්ට පහර දීම් සිදු කරනවා. කාගේ හයියක්ද කියලා අපි දන්නේ නෑ. මේ කලාපයේ හරියට රාජකාරි කරන නිලධාරියාට වැඩි කාලයක් ඉන්න දෙන්නේ නෑ. මොන හේතුවක්ද කියලා අපි දන්නේ නෑ. නමුත් මම කියන්නේ මම හෙට ගෙදර ගියත් මේ වන විනාශය කරන්න දෙන්නේ නෑ.
ඇතැම් ඉහළ නිලධාරීන් මේ ප්‍රදේශය මොකක්ද, කොහේද තියෙන්නේ කියලාවත් දන්නේ නෑ. නමුත් කියනවා උද්‍යානය ඇතුළේ නෙවේයි කියලා. අපි කියනවා පරිසරවේදීන්ට සහ අපේ ආයතනයේ නෙවෙන වෙනත් ආයතනවල නිලධාරීන්ට සහ බලධාරීන්ට මේ වන විනාශය කරන ස්ථාන පරීක්ෂා කරන්න එන්න කියලා.
මේ විනාශය කරන්නේ සෝමාවතිය ජාතික උද්‍යානය තුළ බව පැහැදිලිවම පේනවා විතරක් නෙවේ ඒ ස්ථානවලට ගියාම එය තේරෙනවා. වනජීවී නිලධාරීන් විදියට අපට හරියට රාජකාරිය කරන්න බැරි නම් රජය මගින් ගෙවන වැටුප් අපි ලබාගෙන වැඩක් නෑ. ඒ නිසා අපිට අපේ රාජකාරිය කිරීමට සුදුසු වටපිටාවක් සකසා දෙන්න කියලා තමයි කියන්නේ.
මෙහි සිදුවන වන විනාශය පිළිබදව අදහස් දැක් වූ ශ්‍රී ශාඛිය බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමියෝ මෙසේ පැවසූහ.
“මේ සෝමාවතිය ජාතික උද්‍යානය තුළ විශාල ලෙස ගස් කපා විනාශ කිරීමත්, සතුන් දඩයමත්, වැලි ජාවාරමත් සිදුවෙනවා. නමුත් දැන් දක්නට තිබෙන තත්ත්වය නම් කනගාටුදායකයි. කැලේ ඔක්කෝම ගස් කපලා අලුතින් වගා කරන්න බිම් සකස් කරලා. ඒ මදිවට ඇළවල් කපලා. සෝමාවතිය ජාතික උද්‍යානයේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් කියන්නේ අවසර නැතුව මේ උද්‍යානයට ඇතුළු වීමටවත් අවසරයක් නැති බවයි. නමුත් වන විනාශය සිදු වෙනවා. මේ කැලේ රකින්න තරම් වනජීවී නිලධාරීන් මදි.
අවශ්‍ය තරම් නිලධාරීන් ඉන්නවා නම් යම් තරමකටවත් පාලනය කරන්න පුළුවන්. ඒ නිලධාරීන්ට රාජකාරියට අවශ්‍ය පහසුකම් ලබා දීමත් සිදු කළ යුතුයි.
යුද්දේ කාලේ ඉඳලා මේ සෝමාවතිය ජාතික උද්‍යානය රැක ගන්න මම පුදුම කැපකිරීමක් කළා. රෑ දවල් නැතුව කොටි එක්කත් සටන් කළා. හැබැයි දැනට මේ සෝමාවතිය ජාතික උද්‍යානය විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයන් වහාම අත්අඩංගුව ගන්න නිසි ක්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලා සිටිනවා.”
මේ පිළිබඳව පොළොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතාගේන්ද අප විමසා සිටි අතර ඒ මහතා මෙසේ පැවසීය.
“අපේ නිලධාරීන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ මේ ජාතික උද්‍යානය ආරක්ෂා කර ගන්න තමයි. නමුත් අපිට වඩා ජාවාරම්කරුවෝ ඉතා සුක්ෂ්ම ලෙස උද්‍යානයට ඇතුළු වෙලා සතුන් දඩයමත්, ලී ජාවාරම ඇතුව විවිධ නිතී විරෝධී කටයුතුත් සිදුකරනවා. ලද තොරතුරු හෝ අපි විසින් දිනපතා කරන ලද වැටලීම්වලින් දිනපතා වාගේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා.
නමුත් ජාවාරම්කරුවන් කෙසේ හෝ ක්‍රියාත්මක වෙනවා. මීට වසර ගණනාවක සිට මේ උද්‍යානය විශාල ලෙස විනාශ කරලා තිබෙනවා. නමුත් දැන් අපි ටික ටික අඩු කරමින් තමයි තිබෙන්නේ.
ඒ නිසා අපි මුලින්ම සිදු කරන්නේ මොනම හේතුවකටවත් උද්‍යාන තුළට කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීමට ඉඩක් නොතියන්න කටයුතු කිරීම. ඉන් පසු කිසිවෙකුට උද්‍යානයට ඇතුළු වීමට ඉඩක් නැති වෙනවා. එතකොට සියලු ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට පුළුවන් වෙනවා.
උද්‍යානයේ සිටින කෙනෙක් අත්අඩංගුවට ගත්තාම ඒ අය කියන්නේ හරකුන්ට තණකොළ කවන්න ගියා හෝ කිරි ගන්න ගියා කියලා. ඒ නිසා තමයි මුලින්ම අපි උද්‍යානයේ සිටින සියලු ගවයන්ගේ අයිතිකරුවන්ට එම ගවයන් උද්‍යානයෙන් ඉවත් කරගන්නා ලෙසත්, එසේ නොකරනවා නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් දන්වා සිටින්නේ.
ඒ වාගේම දැන් දිනපතා මෙහෙයුම් දියත් කර සියලු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.”