ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාව අනුව මුළු රටම එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකා මැතිවරණයකට යන්නේ නම්, ඒ ජනාධිපතිවරණයකටය. එම ව්‍යවස්ථාව මගින් රටේ දේශපාලනය තුළ ජාතිවාදී නායකයෙකුට බලයට පත්වීම සම්පූර්ණයෙන් වැළැක්වීමට කටයුතු කර තිබිණි. මන්ද රටේ ප්‍රධාන පක්ෂ දෙක සිංහල ඡන්ද පදනම හා අනිකුත් ජාතීන් අතරද 50-50 ලබා ගනිති^යි පූර්ව නිගමනයක් අනුව 1978දී ජනාධිපති ධුරය බිහිකෙරිණි.
1978දී රටේ සිවිල් යුද්ධයක් නොතිබුණු අතර, ප්රභාකරන්ද දේශපාලනය තුළ නොසිටියේය. එවැනි තත්ත්වයක් තුළ ප්‍රධාන පක්ෂ දෙකට ළඟ ළඟ ප්‍රබල තරගයක්දී ආකර්ෂණීය නායකයා ජනාධිපතිවරණයක් දිනනු ඇත. 1982 දීත්, 1989 දීත්, ගාමිණී දිසානායක ජීවත්ව සිටියේ නම්, 1994දීත් සිදුවන්නේ එයයි. නමුත් 1989 ජනාධිපතිවරණයෙන් පසු, 2010 වසර දක්වා සියලු ජනාධිපති මැතිවරණවල ජයග්‍රාහකයා තීරණය කරන ලද්දේ ප්රභාකරන් විසිනි. එහිදී රනිල් ඉදිරිපත් වූ 2001 හා 2005 මැතිවරණවල තීරක බලය වූයේ ප්රභාකරන්ය. එනම් 2001 මැතිවරණයේදී වැරදුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට චන්ද්‍රිකා මැතිනිය නිරායාසයෙන්ම දිනුවේය. එසේම 2005දී මහින්ද හා ප්රභාකරන් හවුල උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවට මැතිවරණ වර්ජනයකට බල කර වැඩි ඡන්ද හතළිස්දහසකින් රනිල් පරාජය කළේය. ප්රභාකරන් නොසිටියේ නම්, එම මැතිවරණ දෙකම ජය ගන්නේ රනිල් වික්‍රමසිංහය.
ඉන් පසු එළඹි යුගය තුළ සිංහල ජාතිකවාදී පදනමකින් රාජපක්ෂවරු ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකුණේ වැඩි බලයක් ගොඩනගා ගත්තේය. සැබැවින්ම රටේ සියලු සුළු ජාතීන්ට රනිල් වික්‍රමසිංහ හැර සියලුම ජාතික මට්ටමේ නායකයන් කොකා පෙන්වමින් ඔවුන්ගේ දේපොළ හා ජීවිත අනතුරේ හෙළන්නේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 31%ක් වන සිංහල නොවන ජන කොටස්වල විශ්වාසය 80%කටත් වඩා දිනාගත් නායකයා රනිල් වික්‍රමසිංහය. එසේම එක්සත් ජාතික පක්ෂයේ සිංහල ඡන්ද පදනම ඕනෑම තත්ත්වයක් යටතේ 35෴කි. මේ අනුව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන අවස්ථාවක කිසිදු වෙනත් අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයක් ජය ගත නොහැකිය. සැබැවින්ම 2015 ජනාධිපතිවරණයේදී ලංකාවේ දකුණේ සියලු සිංහල ආසනවලින් ජනාධිපති සිරිසේන පරාජයට පත් වූ අතර, ඔහු ජයග්‍රහණය කළේ උතුරු නැගෙනහිර ඡන්දවලිනි. එම ඡන්ද සියල්ල ලැබුණේද රනිල් වික්‍රමසිංහට වන අතර, උතුරු, නැගෙනහිර ජනතාවගෙන් 33%ක් සිරිසේනගේ නමවත් අසා නොතිබුණු බව එවකට සමීක්ෂණයකින් හෙළිවිණි. මා පෞද්ගලිකව කල්පනා කරනුයේ 2015 මැතිවරණයද රනිල් ඉදිරිපත් කර එක්සත් ජාතික පක්ෂයට ජය ගැනීමට හැකිව තිබූ බවයි.
රටේ ආර්ථිකය පිළිබඳ දැක්මක් ඇති, ප්රජාතන්ත්රවාදය හා යහපාලනය වෙනුවෙන් ජීවිතයම කැප කළ, ජාත්‍යන්තරය දිනා ගත්, රටේ සියලු ජන කොටස් එක මිටකට ගොනු කළ හැකි පරිණත නායකයා රනිල් වික්‍රමසිංහය. ඔහු දේශපාලන භූමියෙන් අතුගා දැමීමට සතුරන් දශක ගණනාවක් තිස්සේ උත්සාහ කළද, ඔහු නොදැවී දශක හතරක් දේශපාලන භූමියේ ප්‍රධාන භූමිකාව ඉටු කරයි.
පසුගිය දශක හතර තුළ ඔහු රටේ ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල, ගුවන්විදුලියේ, රුපවාහිනියේ හා අද සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන නායකයාය. දශක හතරක් අඛණ්ඩව දේශපාලනය තුළ මධ්‍යගත වීම ඉතා අසීරු කාරණයකි. පසුගිය දශක තුන තුළ ඔහුගේ නම මාධ්‍යවල නොකියැවුණු දවසක් නොමැති තරම්ය. එවැනි නායකයෙකු සතු එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන හා ලැබිය යුතු, ජයග්‍රහණ කළ හැකි නායකයා රනිල්ය.
එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයක් පවත්වාගෙන යෑම ඉතා අසීරු කාර්යයකි. එහි පූර්ණ කාලීන සේවකයන් සිය ගණනකි. ඔවුන්ට පඩිනඩි ගෙවිය යුතුය. පැමිණෙන සෑම මැතිවරණයකටම මුදල් වියදම් කර තරග කළ යුතුය. දේශපාලන අර්බුදවලදී වුවද, බොර දියේ මාළු බාන ජනතා සේවකයන්ට කෝටි ගණනින් ගෙවිය යුතුය. පක්ෂ සම්මේලන, මැයි දින පැවැත්විය යුතුය. මේවාට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අවශ්‍ය වන අතර, එම මුදල් ලබා දෙන පාක්ෂිකයන් සිය ගණනක් සමග ළඟ සම්බන්ධයක් පවත්වාගත යුතුය. එවන් භාරදූර තනතුරක් ආණ්ඩුවේ මුදල්වලින් උදේට කෑම වේල ගන්නා, දාන මාන දෙන හිස් මිනිසුන්ට කළ නොහැකි වේ. එසේම ලක්ෂ 40ක් ඡන්දය දෙන පක්ෂයක දිනපතා දහසකුත් ප්‍රශ්න ඇති වේ. ඒවාට මුහුණ දිය යුතුය. ආණ්ඩුවේ කටයුතු, පක්ෂයේ කටයුතු, සතුරු කරදර සමග කටයුතු කිරීමට ඉතා දියුණු දැක්මක් හා හැකියාවක් තිබිය යුතු අතර, රනිල්ට එය හොඳින්ම තිබේ. මාධ්‍යවේදී ළමයෙකුගේ මයික් එකකට ප්‍රකාශයක් දුන් පළියට නායකයෙකු වී, පක්ෂයක්, ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකිය. රුපියලක් වියදම් නොකොට, මිනිසුන් සියයක් කැඳවාගෙන නොපැමිණ, විනාඩි පනස්පහක් ජනතාව ඇමතිය හැකි ලජ්ජා නැති නායකයන්ද සිටින පක්ෂයක් පවත්වාගෙන යෑම ඊටත් වඩා අභියෝගයකි. රටේ මාධ්‍ය මාෆියාව කකුලෙන් අදිමින් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් එයට අඩු වැඩි වශයෙන් කුමන්ත්රණකාරී ලෙස පක්ෂ අභ්‍යන්තරයේ ප්රතිගාමී බලවේග සම්බන්ධ වෙද්දීත්, පක්ෂයත්, රටත්, තමනුත් ආරක්ෂා වෙමින් ඉදිරියට යෑම සෑහෙන අසීරු, දක්ෂ වැඩකි. බොහෝ සීනි බෝල නායකයන් වීරයන් වන්නේ මයික් ඉදිරියේය. සැබැවින් ඔවුන් පුස් වෙඩිය, ගැලරි සර්කස්වරුය.
මේ මොහොතේ මේ රටේ හා ජාත්‍යන්තරයේ දේශපාලනය කළමනාකරණයට මෙන්ම, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකි, එමෙන්ම ඒවා විශ්වාස කරන නායකයා රනිල් වික්‍රමසිංහය. එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පෙනෙනතෙක් මානයක තවම නැත. නමුත් ආණ්ඩුව පවතින මොහොතේ නායකයන් බිහිවනු ඇත. එසේ බිහිවන නායකයන්ට පක්ෂයේ වගකීම් පවරා දෙමින් හතළිස් වසර නොදැවුණු දේශපාලන ඉනිමක් ක්‍රීඩාකළ රනිල් නම් පරිණත නායකයාගෙන් මෙරට සුක්කානම ලබාදී, හැකි උපරිම සේවය ලබාගත යුතුය.
කවුරුන් කෙසේ කීවද, කෙතරම් කුමන්ත්‍රණ තිබුණද, රටේ ආර්ථිකය 2014 තිබුණාට වඩා නිරෝගීය. එය නැවත බලාපොරොත්තු තබාගත හැකි මට්ටමට පත්ව තිබේ. එම ක්‍රියාවලිය සාර්ථක කිරීමට විභවහාත්මක හැකියාවක් ඇති නායකයා රනිල්ය. මේ මොහොතේ පක්ෂයත්, ආණ්ඩුවත් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනුයේ එහි සතුරන්ය. එමෙන්ම මිතුරු වෙසින් සිටින සතුරන්ය. එබැවින් පක්ෂයේ ශක්තිය රනිල්ට ලබාදිය යුතු වේ.
එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් බිහි කර රටේ මුළු බලය ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලා සිටිය යුතුය. එසේම ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු පක්ෂයේ තරුණ පිරිස් වෙත බලය ලබාදිය යුතුය.