වීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යෑමට පටන් ගත් නව කොරෝනා වෛරසය නිසා මේ වනවිට මියගිය සංඛ්‍යාව 1000කට අධිකය. මේ අතර මෙම වෛරසය පැතිර යෑමත් සමග චීනය සමග සමීප මිත්‍රත්වයක් ඇති ශ්‍රී ලංකාව තුළද චීනය සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිර යන්නට පටන් ගැනුණි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ චීන ආයෝජනවල සේවය කරන චීන ජාතිකයන් සම්බන්ධයෙන් යම් ඍණාත්මක ආකාරයකින් බැලීමක්ද එම සැලකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ දැඩි කනස්සල්ල පළ වූ බවද වාර්තා විය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සම්බන්ධය සහ නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනය දක්වන ආකල්පය පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා සමග සාකච්ඡා කළෙමු. මේ එහිදී අප යොමු කළ ප්‍රශ්න සඳහා තානාපතිවරයා ලබා දුන් පිළිතුරයි.
වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යන නව කොරෝනා වෛරසය මැඬලීමට චීනයට ඇති හැකියාව කොතරම්ද?
නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා වුහාන්හි දැඩි පියවර ගෙන තිබෙනවා. වුහාන්හි පිටවීමේ හා පිවිසුම් මාර්ග තාවකාලිකව වසා දමා තිබෙන්නේ ද ඒ නිසයි. වුහාන් පුරවැසියන්ට නිවසේ රැඳී සිටිමින් හැකිතාක් දුරට ගමන්වලින් වැළකී සිටින ලෙසට උපදෙස් දී තිබෙනවා. වුහාන්හි ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවක් වී ඇත්තේ සැකසහිත ලක්ෂණ ඇති පුද්ගලයන් පවා ආසාදිතයන් මෙන් නැවත නැවත පරීක්ෂාවට ලක්වීමයි.
මීට පෙර 2003දී සාර්ස් වෛරසය පැතිර ගිය අවස්ථාවේ එය මැඬලීමට චීනය සතුව තිබූ ශක්තිය සහ මේ අවස්ථාව වනවිට චීනයට ඇති ශක්තිය අතර වෙනස ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?
නව කොරෝනා වෛරසය හෝ සාර්ස් වෛරසය වේවා ඒවා ජය ගැනීමට චීනයට පූර්ණ ශක්තිය තිබෙනවා. මීට වසර 17කට පෙර පැවැති වසංගතවලට එරෙහිව සටන් කළ අවස්ථාවේදී තිබූ හැකියාවට වඩා ඉතා විශාල හැකියාවක් වර්තමානයේදී චීනයට වසංගත සමග සටන් කිරීමට තිබෙනවා. අපට ඒ ගැන විශ්වාසයි.
ඔබ කියන්නේ චීනයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව පිළිබඳ බාහිර ලෝකයට පූර්ණ විශ්වාසයක් තැබිය හැකි බවද?
ඇත්තවශයෙන්ම, ආත්ම විශ්වාසය රත්රන්වලටත් වඩා වටිනවා. පසුගිය දශක කිහිපය තිස්සේ ඕනෑම දුෂ්කරතාවක් සෑම විටම පරාජය කිරීමට හැකියාව ඇති බව චීනය ඔප්පු කර පෙන්වූවා. මෙවරද එය එසේමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පසුගියදා පැවසුවේ චීනය මේ අවස්ථාවේදී ක්‍රියාකරන්නේ තම ජනතාව ආරක්ෂා කිරීමට පමණක් නොව මුළු ලෝකයේම ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ආකාරයට බවයි. ඔහුගේ විශ්වාසය වෙන්නේත් අප ගෙන ඇති පියවර මගින් වසංගතය ඵලදායී ලෙස පාලනය කිරීමට හැකි වනු ඇති බව හා මෙම තත්ත්වය ජය ගැනීමට අපට හැකි වනු ඇති බවයි.
මෙම වෛරසය සම්බන්ධයෙන් පැතිරුණු ඇතැම් ප්‍රචාර නිසා බොහෝ ශ්‍රී ලාංකිකයන් අනවශ්‍ය භීතියකට පත්වනු අපට දැකගත හැකි වුණා. මේ ප්‍රචාර ගැන ඔබේ අදහස?
සමහර බටහිර මාධ්‍ය සත්‍ය කරුණු නොදැන කරුණු ඉදිරිපත් කිරීමට පුරුදු වී සිටිනවා. එයින් අනෙක් රටවල් කරදරයටත් බියටත් පත්වෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා ජනතාව ඒ ගැන හොඳින් දන්නවා. එබැවින්, එවැනි ප්‍රකාශ ගැන බිය වීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ.
මෙම වෛරසය චීනය ජීව අවියක් වශයෙන් වුහාන්හි පරීක්ෂණාගාරයක නිර්මාණය කළ එකක් බවත්, එය වැරදීමකින් නිදහස් වූ බවටත් විශාල අනාවරණයක් සිදු වුණා. මෙම අනාවරණය සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක්ද?
මහජනතාව හදිසි අවස්ථාවලට මුහුණදෙන සෑම අවස්ථාවකම කටකතා පැතිරෙනවා. මෙම ප්‍රශ්නයෙන් අහන ගොතන ලද කතාව එවැනි සිද්ධියක තවත් එක් පුනරාවර්තනයක් පමණයි. චීන කියමනක් තිබෙනවා බුද්ධිමත් අය කිසි විටෙකත් කටකතාවලට රැවටෙන්නෙ නෑ^ කියලා. මෙම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාගැනීමට ශ්‍රී ලාංකික මිතුරන් බුද්ධිමත් බව මම විශ්වාස කරනවා.
මෙම හදිසි අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගෙන් සිදු වූ අකටයුතුකම් ගැන ඔබ කනගාටු වූ බව මාධ්‍ය වාර්තා පළ වුණා?
අතිගරු ජනාධිපති, ගරු අගමැති, ගරු කථානායක, ගරු සෞඛ්‍ය ඇමතිනී, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා සමාජයේ සියලුම අංශ මේ අවස්ථාව වනවිට චීනය වෙත දක්වන අවංක මිත්‍රත්වය මා මේ අවස්ථාවේදී අතිශය සංවේදීව අගය කරනවා. එයින් දෙරට අතර ඇති සැබෑ මිත්‍රත්වය ඔප්පු වූ බවයි මගේ අදහස.
චීන රජය සහ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට (ශ්‍රී ලංකාව තුළ) ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. සියලුම සංචාරක කණ්ඩායම් චීනයෙන් පිටතට යෑම කල් දමා තිබෙනවා. නිවාඩු සමයේ චීනයට ආපසු පැමිණි විදේශයන්වල සේවය කරන චීන ජාතිකයන්ට චීන රජය දන්වා සිටිනවා තම නිවෙස්වලම රැඳී සිටින ලෙසට. ඔවුන් නැවත ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමට පැමිණෙන්නේ වසංගතය සමනය වීමෙන් පසුවයි
මම ඔබට නැවතත් අවධාරණය කරන්නේ කරුණාකර චීනය ගැන විශ්වාසය තබන්න. අනියත බියක් ඇති කරගන්න එපා.
මා විශ්වාස කරනවා සුළු පිරිසක් නොදැනුවත්කම සිදු කරන ක්‍රියා නිසා දීර්ඝකාලීන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට හානියක් සිදු වී නැතැයි කියා?
ඇත්තවශයෙන්ම, ඔබ සමග මා සම්පූර්ණයෙන්ම එකඟයි. ඒ වගේම ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ නොසන්සුන් වීමද අපට තේරුම්ගත හැකියි. කෙසේ වෙතත්, විශේෂයෙන්ම චීනය වැනි සැබෑ මිතුරෙකුට එරෙහිව ප්‍රමාණය ඉක්මවා ක්‍රියා කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි.
ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් මේ අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය ගැන ඔබ ඔවුන් දැනුවත් කර තිබේද? මේ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර කෙබඳුද?
චීනය කියන්නේ වගකීමෙන් කටයුතු කරන රටක්. තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින සියලුම චීන ජාතිකයන්ට රෝග වළක්වාගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත්, නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දින 14ක් නිරෝධායන කටයුතුවල නිරත වෙන ලෙසත් අප දන්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වැඩිම ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබාදෙන්නේ චීනයයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණි එහෙත් තවදුරටත් චීනයේ අධ්‍යාපනය හැදෑරීමට නියමිත ශ්‍රී ලාංකික සිසුන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?
ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස චීනය සෑම විටම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට උසස් අධ්‍යාපනය ඇතුළු විවිධ අංශවලින් සහයෝගය ලබාදීමට හා උපකාර කිරීමට උපරිම උත්සාහය දරා තිබෙනවා. මේ නිසා තමයි ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට චීනය කටයුතු කරන්නේ. මේ අවස්ථාවේදී චීනයේ ඉගෙනගනිමින් සිටි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යළිත් සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට චීන රජය සුදුසු පියවර ගන්නා බවට මට විශ්වාසයි.
නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චීන ආර්ථිකය කඩා වැටෙයිද?
වෛරසය චීන ආර්ථිකයට යම් දුරකට බලපෑම් එල්ල කරනු ඇති බව පැහැදිලියි. නමුත් එයට දැවැන්ත හානියක් කළ නොහැකියි. අපි 2003දී SARS වෛරසය පැතිරුණ අවස්ථාවේදී මෙවැනි අත්දැකීමක් ලබා තිබෙනවා. SARS වෛරසයෙන් පසුව චීන ආර්ථිකය ඉක්මනින් යථා තත්ත්වයට පත් වුණා. මේ නව කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථිකයට ඇතිවන බලපෑම ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙනු ඇති.