විපත් අතෝරක් සමග පැසුණු මෙවර යල් කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට ඇරඹී තිබේ. නූතන ගොවියන් තාක්ෂණික මෙවලම් අනුසාරයෙන් වී අස්වනු නෙළීම සිදු කරනුයේ එය හුදු වාණිජමය කටයුත්තක් සේ සලකමිනි. එහෙත් සාම්ප්‍රදායික ඉපැරණි ලාංකේය ගැමි ජන සමාජය තුළ වී අස්වනු ලබා ගැනීම සිදු වූයේ ගොවීන් විසින්ම සකසා ගත් %කමත^ නම් විශේෂ භූමිය තුළය. එමගින් අනාදිමත් කාලයක සිට ඒ වටා ගෙතුණු කිසියම් උපසංස්කෘතියක් හා මේ ඔස්සේ ගොඩනැගුණු අපූර්ව බස් වහරක් සේම සිරිත්, විරිත් ගොන්නක් අපගේ ජන සංස්කෘතියට එකතු විය. කවිය, සාහිත්‍යය උදෙසාද කමත් සම්ප්රදාය තෝතැන්නක් විය. කෘෂි ආර්ථිකයේ මුදුන් මල්කඩ බඳු වී ගොවිතැන හා බැඳී පවතින, නිර්මල ගැමි වත් පිළිවෙත් පිළිබඳව බොහෝ යමක් දැන කියාගත හැකි, ගැමියාගේ හැදියාව කොතෙක්ද යන්න අපූරුවට හෙළිදරව් වන කමතේ වගතුග සොයා බැලීම ඉතා රසවත් අත්දැකීමක්ව පවතී.
“මේ කාගේ දෝ කමතා
පසේ බුදුන්ගේ කමතා
පසේ බුදුන් දුන්නු බැතා
අද පුරවන් මේ කමතා”
ගොවියා තුළ වූ සාම්ප්‍රදායික වත් පිළිවෙත් කෙරෙහි වූ අවංක භක්තිය හා ළෙන්ගතුකම උතුරා පිටාර ගලන, පාරම්පරික ඇබ්බැහිකම්වල උරුමය හෙළිදරව් කරවන කමත වටා ගෙතී ඇති අව්‍යාජ, නිර්මල ස්වභාවය වත්මන් සංකීර්ණ සමාජ පසුතලය තුළ නොතිත් බිඳවැටීමකට ලක්ව ඇති බව නොරහසකි. කමතේ රාජකාරිය අද නවීන යන්ත්‍ර සූත්‍ර භාරගෙන ඇතත්, එතුළ වූ අපූර්වත්වය තවමත් නොනැසී පවතින්නකි.
අස්වනු නෙළන සමයේ කාර්යබහුල වන ගොවියන් දිවා ආහාරය සඳහා නිවසට නොයන හෙයින්ම ගැමි ලිය දිවා ආහාරය කමතට ගෙන ගියේ ලාලිත්‍යය මුසු ලීලාවෙනි. ගැමි ලිය හිස මත තබාගෙන එන දිවා ආහාරය %ඇඹුල^ හෝ %මුත්තෙට්ටුව^ ලෙස හැඳින්වීය. ඇතැම් විටක අත්තමට වැඩ කරන අවස්ථාවකදී මෙසේ කමතට ගෙන එන ආහාරය කයිය ලෙසද හැඳින්වීය. මෙහිදී %අත්තම^ ලෙස හැඳින්වූයේ හුවමාරු ශ්‍රම දායකත්වයටය. එවක කමතේදී එකිනෙකාගේ වැඩකටයුතුවලට එකිනෙකා දායක වූයේ ගැමි සහජීවනය මොනවට සංකේතවත් කරමිනි.
ගොයම් අස්වනු නෙළන සමය ගොවි පවුල්වල උදවියට ඉතා ප්‍රීතිමත් කාල පරිච්ඡේදයකි. පොහොය දින උදාවක් ඉදිරියට තබා ගොයම් කපන්නට අත නොගැසීම ගොවියන්ගේ සිරිත විය. ගොයම් කපා අවසන් වූ පසුව ලියැදිවල ඉතිරි වන්නේ උප්පිඩිය.
ගොයම් එකතු කරන විට උප්පිඩි, මාප්පිඩි බවට පත්වූයේ ගැමි ජන වහරේ අපූර්වත්වයද දක්වමිනි. මාප්පිඩි ගොන්නක් එකතු කොට කැටකඳු හෙවත් වටමළු ගැසීම සමහර ගොවියෙකුගේ සිරිතය. කැපූ ගොයම් කමතට ඇදීමෙන් පසු කුඹුරේ ඉතිරි වනුයේ ඉපනැල්ල පමණකි. කමතට ගොයම් ගෙන ඒමට පෙර කමත වටා බෝල් තැබීම කළ යුතුය. බෝල් තියන්නේ කමත පුරා වැටී ඇති වැලි කැට, දූවිලි ආදිය අතුගා පිරිසිදු කිරීම උදෙසාය. මේ සඳහා භාවිත කළේ බෝල් අත්තය. %බෝල් පනා^ නම් ගස්වලින් කපා ගන්නා අතු කිහිපයක් එකට බැඳීමෙන් %බෝල් අත්ත^ සකස්කර ගත්හ. ඇතැමෙකු මේ සඳහා පිළ ගස් භාවිත කළේය.
කමත් සම්ප්‍රදායන් පිළිබඳව මනා අවබෝධයකින් හෙබි ගොවියෙකු වන තඹුත්තේගම, කුඩා බෙල්ලන්කඩවල ගම්මැද්දේ එච්. අබේරත්න මහතා එවක ගොවිතැන හා බැඳුණු ජීවන සම්ප්‍රදායන් පිළිබඳ අප සමග කරුණු කීවේ මෙසේය.
“අපි ඒ කාලේ ගොවිතැන් බත් කෙරුවේ දෙවියන්ගේ, බුදුන්ගේ රාජකාරියක් විදිහට හිතලා. ඒ හින්දම ඒ කාලේ ගොවිතැන් ක්‍රම එක්ක ලොකු හැදිච්චකමක් තිබුණා. සාමූහික බවක් තිබ්බා. කවුරුවත් යායේ තනියම ගොඩ යන්ඩ හිතුවේ නෑ. මුළු යායම එකට වැපුරුවා. එකට අස්වැන්න නෙළා ගත්තා. ඕකට කිව්වේ කන්නෙට, කතාවට ගොවිතැන් කරනවා කියලා. මේ හින්දම මිනිස්සු අතර ගැටුමක් කියලා දෙයක් තිබ්බේ නෑ. මුළු ගමේම ජීවත් වෙන පිළිවෙළ හැදිලා තිබුණේ ගොවිතැනත් එක්ක. ඒ නිසා හැම මනුස්සයම ගොවිතැනත් එක්ක බැඳිච්ච වතාවත්වලට ගරු කෙරුවා. මිනිස්සුන්ගේ තිබ්බ එකමුතුකම පෙන්නපු පුදුම තැනක් තමයි කමත කියන්නේ. එතැන තිබුණේ වෙනමම සිරිත්, විරිත්, වතාවත් ටිකක්. ඒ කාලයේ ගොවියෝ ඒවා අකුරටම පිළිපැද්දා.”
කමත සමහර ගොවියෙකුට අනුව %කලවිට^ විය. තවෙකෙකුට අනුව එය %පාවරපොළ^ විය. වී අපතේ නොයැවෙන පරිදි කොළ මැඩවිය හැකි බිමක කමත කැපීමට ගොවීහු වගබලා ගත්හ. වැලි, ගල්කැට වීවලට මිශ්‍ර වීම වැළකිය යුතුය. වියළි ස්වභාවයෙන් යුතු බිමක කමත සැකසීමට ගොවියන් කල්පනාකාරී විය. වැසි වැටුණහොත් කඩිනමින් වතුර බැස යන බිමක කමත කැපිය යුතුය. මෙසේ සිවුකොණ බලා කපන කමතෙහි දෙවියන් වැඩහිඳි බව ගැමියෝ ඇදහූහ.
ප්‍රදේශයෙන් ප්‍රදේශයට ප්‍රාදේශීය දෙවිවරු කමතට අධිපතිව වැඩ විසූ බව ගැමියන්ගේ විශ්වාසය වී තිබේ. උතුරුමැද පළාතේ මෙන්ම හත් කෝරළයේ ගැමියන් අයියනායක, පුල්ලෙයාර් හා මින්නේරිය දෙවියන් කමතට අධිපතිව වැඩවිසූ බව විශ්වාස කළෝය. උඩරට ප්‍රදේශවල අභිමානා දෙවියන්ද, ගිරුවාපත්තුවේ උපුල්වන් දෙවියන්ද, මහියංගණයේ සහ වෙල්ලස්ස ප්‍රදේශයේ සමන් දෙවියන්ද කමතට අධිපතිව විසූ බව ගැමියෝ ඇදහූහ.
අපට මුණගැසුණු අනුරාධපුර, තලාව, කුඩාකුඹුක්ගොල්ලෑව පුරාණ ගමේ %ඒ. රණපාල^ මහතාටද අතීත ගොවි සම්ප්රදාය පිළිබඳව ඇත්තේ ඉමහත් ගෞරවයකි.
“අපි ගොවිතැන් කෙරුවේ ඉරයි, හඳයි ගැන විශ්වාසය තියාගෙන. ඕකට කිව්වේ චන්ද්‍ර මාස ගොවිතැන කියලා. ඔය විශ්වාසේ හින්දම හරියටම වහින, පායන කාල වකවානු ගැන හොඳ අවබෝධයක් පරණ ගොවියන්ට තිබුණා. ඇත්තටම දැන් තියෙන්නේ සොබාදහමට විරුද්ධ ගොවිතැන් ක්‍රමයක්. මේ හින්දා අපිටවත් අහස ගැන හරියට අනාවැකි කියන්ඩ බෑ දැන්. මේ කාලේ වහිනකොට හැමදේම අසානාසි වෙන්ඩ වහිනවා. පායනකොටත් එහෙමයි. මට නම් හිතෙන්නේ දැන් තියෙන ගොවිතැන නිකන්ම නිකං ආදායම් හොයන්ඩ බලාගෙන කරන එකක් විතරයි. කමත නැති වෙනකොට කමතත් එක්ක බැඳිලා තිබ්බ මනුස්සකමත් නැති වුණා. බිම හාපු, වී පාගපු, වී ටික ඇදලා දුන්න හරක් අද මරාගෙන කනවා. ලෝකේ හරක් මස් වැඩියෙන්ම කන ජාතියක් අපි. ඉතින් වගතුවක් වෙයිද රටට.”
කමත මැද හාරාගන්නා %මුත්තා වළ^ නම් ස්ථානයට පොල් ගෙඩියක්, යකඩ කැබැල්ලක්, රසකිඳ වැලක් සහ කොහොඹ පොත්තක් දමා අළුවං වැඩීම^ සිදු කිරීම ඉපැරණි ගැමි චාරිත්‍රය වී තිබිණි. අළුවං වැඩීමේදී පළමුව වට තුනක් ඇඳ අනතුරුව අට දිසාවට මුහුණලන සේ රේඛා ඇඳ, ඒ ඒ එක් කොටසේ ඉඩ අවකාශය තුළ විවිධ රූප සටහන් ඇඳීම සිදු කළහ. මෙසේ ඇඳි රූප සටහන් අතරට ත්‍රිශූලය, පාරා වළල්ල, හක් ගෙඩිය, තෝමරය, දුන්න, කඩුව, උදැල්ල හා දැති ගොයියා වැනි දෑ ඇතුළත් විය. මෙසේ අඳින ලද රූප සටහනට සාම්ප්‍රදායික ගැමි ජන සමාජය තුළ අටමඟුල, කමත් යන්ත්‍රය, අළුවීදිය, වංකගිරිය ආදි නම් පටබැඳ තිබිණි.
අළුවං වැඩීමෙන් පසුව ගොයම් උප්පිඩි දෙකක්ද, බෝල් අත්ත, උකුණු දැත්ත නොඑසේ නම් දැති ගොයියා, දෑකැත්ත හිසේ තබාගත් ගොවි මහතා ඉහතින් සඳහන් කළ මුත්තා වළ වටා වට තුනක් ගමන් කර අනතුරුව හිස මත රැඳි සියල්ල මුත්තා වළ මත තැබූයේ උතුරා යන භක්තියෙනි. මේ ආකාරයෙන් අළුවං වැඩීම හෙවත් අළුසං වැඩීමේ ක්‍රියාවලිය තුළ ආරක්ෂාව පිළිබඳ සංකල්පයක් අන්තර්ගතව ඇතැයි ගැමියෝ විශ්වාස කළහ.
බ්‍රිතාන්‍ය ජාතික නැවියෙකු වන රොබට් නොක්ස්ගේ %එදා හෙළදිව^ කෘතියට අනුව එවක මෙරට කන්ද උඩරට කමත් සම්ප්රදාය පහත පරිදි විස්තර කර ඇත.
“ගොවියෝ හරකුන් ලවා ගොයම මඩවති. නොඑසේ නම් පාගවති. ගොයම් බිම දමා හලා පොළා වී ලබා ගැනීමට වඩා මෙම ක්‍රමය පහසුය. ඉක්මන්ය. ගවයන් සයදෙනෙකුගේ උපකාරයෙන් දවසකට යටත් පිරිසෙයින් වී බුසල් සහළිසක් පමණ පාගවා ගනිති. ගොයම් පෑගීම සඳහා කුඹුර සමීපයේ වූ ඕවිටක් හෙවත් කලවිටක් තෝරා ගන්නා ගොවියෝ, එහි අඩි 20ක් හෝ 25ක් පමණ වූ බිම් කොටසක් ලකුණු කොට, වල් හෙළිකොට කලවිට තනා ගනිති. මීළඟට ඔවුහු, ස්වකීය චිරාගත චාරිත්‍ර ක්‍රමය අනුව එක්තරා ආගමික කෘත්‍යයක් පවත්වති.”
රොබට් නොක්ස් මෙහි පෙන්වාදෙන කමතේ චිරාගත චාරිත්‍ර ක්‍රමය නම් %අළුසං වැඩීම^ ම බව නොවලහා කිව හැකිය. කමතේ කාර්යන් ආරම්භ කළ පසුව කිසිවෙක් පාවහන් සහිතව කමතට ඇතුළු නොවූවා සේම කමතේ කාර්යන්වල නියැළෙන අතරවාරයේ ඔවුනොවුන්ගේ කට ප්‍රවේසම් කරගන්නටද ගැමියන් වග බලා ගත්තේ නිරායාසයෙනි. ඇතැමෙකුගේ කට කැඩිච්ච කතා නිසාවෙන් %වස් වදීවිය^ යන විශ්වාසය ගැමියන් තුළ වූ බව එමගින් අනාවරණ වන්නකි.
කමතේ එළන ලද ගොයං පාවරය පෑගීමට එසමයෙහි යොදාගෙන ඇත්තේ මී හරක්ය. මේ වෙහෙසකර කටයුත්තේ නියැළෙන ගැමියෝ වරෙක කවි ගායනා කළහ. ගැමි ජීවිතයේ සිතුම් පැතුම්, චර්යා රටාවන්, ඇවතුම් පැවතුම් උද්දීපනය කරමින් අව්‍යාජ සිතුවිලි තුළින් ජන සමාජය වෙත මතුව ආ ජන කවි වර්තමානයට ශේෂ වන්නට ඇත්තේද ඒ ඔස්සේය යන්න මේ හරහා අනුමාන කළ හැකිය.
එසේම කොළේ යන ගොනා කොළෙන්ම මැඩුවං ඇද කන්නේ වෙනකක් කළ නොහැකි හේතුවෙනි. පිදුරු, කමත් භාෂාවට අනුව මැඩුවං බවට පත්විය. කොළේ යන හරකා කොළෙන්ම කෑ යුතු බැව් දන්නා ගැමියෝ කරබාගෙන සිටියහ. මැඩුවං බාන්නේ ගොයම් මැඩීමෙන් පසුවය. මැඩුවං බෑම නොඑසේනම් පිදුරු ඉවතට විසි කරලීම සඳහා දැති ගොයියා භාවිත කළහ. මෙහිදී දැති ගොයියා යන්න දැත්ත, උකුණු දැත්ත ලෙසද හැඳින්වූහ. කමතේදී දැත්ත දැති ගොයියාය. උදැල්ල උදැලු ගොයියාය. මෙහි ගොයියා යන්න ගෞරවාර්ථය දැනවීම සඳහා භාවිත කළ පදයක් ලෙස සැලකිය හැකිය.
මැඩුවං බෑම හෙවත් කොළ හොල්ලා අවසන් වූ පසු කමත වටා විහිදී ඇති බැත ඇට නොමැති නම් වී ඇට බෝල් තැබීම කළ විට බැත ගොඩ දිස්වන්නේ වලාකුළු මතින් ඈත් වූ පුරා හඳ පරිද්දෙනි. මේ දසුනෙන් ගොවියාගේ හද පිනා යන්නේ නිරායාසයෙනි.
දැති ගොයියාගෙන් ඉවත් කළ නොහැකි සිහින් කාටු ඉවත් කරනුයේ කාටු බෝල ආධාරයෙනි. කාටු බෝල තනාගන්නේ කටුපිල අතු දෙක තුනක් ඉදලක හැඩේට ගැට ගසා ගැනීමෙන්ය. අනතුරුව බැතේ තවදුරටත් පවිත්‍ර කරගැනීම සඳහා කොක්ගෑම සිද්ධ කළහ. දැති ගොයියෙකු ගෙන කමතට බසින අයෙකු දැත්තේ වක් වූ පැත්ත තමන් දෙසට හරවා පහත් වී මැද සිට රවුමට කොක්ගෑම සිදු කළහ. එවිට බැත ගොඩට යට වී ඇති මානකාටු මතු වී විසි වී යන්නේ ගොවි දෑතින් නික්මෙන දහදිය මුගුරුද සමගිනි.
කොක්ගෑමෙන් අනතුරුව සිදුවනුයේ බැත රාහී කිරීමය. බැත රාහී කිරීම ලෙස හැඳින්වූයේ කමත පුරා විහිදී ඇති බැත එක් ස්ථානයකට එකදු පහදු කිරීමටය. බැත ගොඩ ගැසීමේදී ගොයි පෝරුව, මඩ පෝරුව හෝ උදලු ගොයියා ඒ සඳහා යොදා ගත්හ. බැත කඳු ගහන්නේ සුළං හමන දිසාව අනුවය. බැත පෑහීමේ පහසුව සැලසීම එහි අරමුණය. සුළං හමන දිසාව බලා වීසි බැතේ ගැහීමෙන් බැත ගොඩ පවිත්‍ර කර ගැනීම එවක සිරිත වී තිබේ. බැත යාල්ලන්නේ ඉනික්බිතිවය. ඉන් අදහස් වූයේ වී මැනීමය. බැත ගොඩ වටා යන ගොවියා එයට වැඳ සිවුකොණින් දෙවියන්ගේ කොටස වෙන් කළහ. බැත මනින විට එක හෝ නවය වැනි ඉලක්කම් අසුබ ඉලක්කම් ලෙස සැලකූ අපේ ගොවියන් එක වෙනුවට ලාබයි කියාද, නවය වෙනුවට අට හොඳයි යනුවෙන්ද භාවිත කළහ.
මේ හේතුවෙන් නූතන තාක්ෂණික ලෝකය තුළ නැවත කමතේ වී අස්වනු එකලස් කරමු යැයි අපි යෝජනා නොකරමු. එතුළ වූ නිර්මල, නිර්ව්‍යාජ මානව දහම උකහා ගන්නැයි අපි යෝජනා කරමු. එහෙත් වෛරයෙන් මත් වූ, රැවටීම්, මවාපෑම් සපිරි මේ නූතන සමාජය ඒ සඳහා සූදානම් නැති බව නම් අවසන ඉඳුරාම කිව හැකිය.
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග