පසුගිය ඔක්තෝබර් මස සිදු වූ බලපෙරළිය සමග මේ වන විට රටට සහ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන දේශපාලන පාර්ශ්ව දෙකක් බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටියි. මෙම බලපොරය හේතුවෙන් අද වන විට රාජ්‍ය සේවය මෙන්ම ජනතාවද පත්ව සිටිනුයේ දැඩි වික්ෂිප්ත ස්වභාවයකටය. ඒ පිළිබඳ මෙම විග්‍රය ගෙන එනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී, මහාචාර්ය මයුර සමරකෝන් මහතාය.
වර්තමානයේදී ඇතිවී තිබෙන බල අරගලය හා කැඳවා තිබෙන මැතිවරණය ගත්තොත් මේ කිසිවක් ජනතාව බලාපොරොත්තු වූ හෝ ජනතාව ඉල්ලා සිටි දෙයක් නොවෙයි. මෙය සම්පූර්ණයෙන්ම පක්ෂ දේශපාලනයේ බල අරගලයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබෙන අස්ථාවරත්වයක්. මෙය හුදෙක් අස්ථාවරත්වයක් පමණක් නෙවෙයි මෙම තත්ත්වය 2004 සුනාමියටත් එහා ගිය ව්‍යවසනයක් රටට සිදු කරලා තිබෙනවා. මේ තත්ත්වය නිසා රජයේ ආයතන වගේම විදෙස් තානාපතිවරු පවා වික්ෂිප්ත ස්වභාවයකට පත්වෙලා තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට මේ දක්වා තවම රටේ නිසි භාරකාරත්වයක් හෝ නායකත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ.
එක් පාර්ශ්වයක් පවසනවා තමන් තමයි දැන් බලයේ ඉන්නේ කියලා. විරුද්ධ පාර්ශ්වය කියනවා බලය ලබා ගැනීම නීතිවිරෝධී නිසා තමන්ටයි තවමත් බලය තිබෙන්නේ කියලා. මේ දෙපාර්ශ්වයම තරගයට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සහ රාජ්‍ය ආයතන වෙත නියෝග නිකුත් කරමින් තම නියෝග පිළිපදින ලෙස කියා සිටීම තුළ සෑම අංශයක්ම අන්දමන්ද වූ ස්වභාවයකිනුයි පසුවෙන්නේ. මේ තත්ත්වය සමස්ත රාජ්‍ය අංශයම අකර්මණ්‍ය කර තිබෙනවා.
මේ අස්ථාවරත්වයත් සමග සිදුවෙමින් පැවැති සංවර්ධන ව්‍යාපෘති, මහජන සේවාවන් ඇනහිටලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ලැබීමට තිබූ ණය, ආධාර සහ විදෙස් ආයෝජන ආදී සියල්ල මේ අවිනිශ්චිත තත්ත්වයත් සමග නැවතිලා තිබෙනවා. උදාහරණයක් විදියට විශ්වවිද්‍යාල පද්ධතියේ පර්යේෂණ සහ සංවර්ධනයන් සඳහා ලෝක බැංකුව විසින් ලබාදෙන ආධාර මේ වන විට ඇනහිට තිබෙනවා. මේ තත්ත්වයන් පැහැදිලිවම දේශපාලනඥයන්ට කෙසේ වෙතත් රටට සහ ජනතාවට දීර්ඝකාලීනව බලපානවා. අනිවාර්යයෙන්ම ඉදිරියේදී ආර්ථික අර්බුද සමග සමාජ අර්බුද ගණනාවකටම මුහුණ දෙන්න රටට සහ ජනතාවට සිදු වේවි.
රජය අස්ථාවර වීමත් සමග සියල්ලන්ගේම අවධානය වෙනත් දෙසකට යොමුවී තිබියදී අපරාධ කල්ලි, අන්තවාදී හා බෙදුම්වාදී පිරිස් නැවත ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්, මෙය නිසි ලෙස කළමනාකරණය කර නොගත්තොත්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙද්දි කාර්යබහුල වෙන තවත් පිරිසක් තමයි මේ පාතාල කණ්ඩායම් කියන්නෙ. සිය පැවැත්ම සඳහා ආයෝජකයන් සහ අනුග්රාහකයන් සොයා ගැනීමට පාතාල කණ්ඩායම්වලට ලැබෙන සුබ කාලසීමාවක් තමයි මැතිවරණයක් කැඳවා ඇති කාලසීමාව කියන්නේ. ආණ්ඩුවේ නායකත්වය මාරු වීමට සාපේක්ෂව පාතාලයේ නායකත්වයත් මාරු වෙනවා. ඒ තරම්ම මේ රටේ දේශපාලනය සහ පාතාලය අතර කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා.
එක්තරා පිරිසක් ගෙන එන මතයක් තමයි මේ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව මෙම අර්බුදයට මැදිහත්වෙලා පාලනය අතට ගත යුතුයි කියලා. සැබැවින්ම කිසිදු ආකාරයක හමුදාමය මැදිහත්වීමක් මෙම ගැටලුව සඳහා යමෙක් අපේක්ෂා කරනවා නම් පැහැදිලිවම ඔහු දැඩි ප්රජාතන්ත්ර විරෝධියෙක්. රටකට අවශ්‍ය වෙන්නේ ප්රජාතන්ත්රවාදය. ඒ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහායි ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය සිටිය යුත්තේ. ඒ වගේමයි මේ සඳහා කිසිදු විදෙස් මැදිහත්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
රටේ නීතිය මුළුමනින්ම බිඳවැටිලා එය ක්‍රියාත්මක නොවීම, ජන කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙමින් පැවතීම, විනාශකාරී කැරැල්ලක් ඇතිවී තිබීම හෝ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳ තුට්ටුවකවත් විශ්වාසයක් නොමැති වීම වැනි තත්ත්වයක් පවතිනවා නම් පමණයි එවැනි විදෙස් මැදිහත්වීමක් අවශ්‍ය වෙන්නෙ. නමුත් මේ රට එවැනි තත්ත්වයකට පත්වෙලා නැහැ. මෙය රට තුළම විසඳාගත හැකි ප්‍රශ්නයක්. ඒ නිසා යමෙක් කැරැල්ලක්, විදෙස් මැදිහත්වීමක් හෝ හමුදා මැදිහත්වීමක් මේ සඳහා බලාපොරොත්තු වෙනවා නම්, ඔහු දේශපාලනය පිළිබඳ කතාවත් නොකළ යුත්තෙක්.
පසුගිය කාලයේදී අප්‍රිකානු කලාපය සහ මැදපෙරදිග කලාපය ගත්තොත් දේශපාලනික අස්ථාවර වීම් නිසා කැරලි කෝලහල, අපරාධ හා සිවිල් යුද්ධ විශාල වශයෙන් ඇති වුණා. ශ්‍රී ලංකාවේ මේ ඇතිවී තිබෙන තත්ත්වය පක්ෂ දේශපාලනයේ බල අරගලයක් පමණයි. ඒ නිසා මේ හැම පක්ෂයකම ක්‍රියාකාරීත්වය පිළිබඳ අද වන විට ජනතාවට තක්සේරුවක් තිබෙනවා. මේ දේශපාලනයේ නියැළිලා ඉන්න කාඩර්වරුන් හැරුණු විට සාමාන්‍ය ජනතාවට දේශපාලනය සම්බන්ධයෙන් උද්යෝගයක් නැහැ.
පසුගිය කාලයේ අපි දැක්ක දෙයක් තමයි ප්‍රධාන දේශපාලන පක්ෂවල පෙළපාළි සහ රැලි සඳහා ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණයෙන්වත් ජනතා සහභාගිත්වයක් නොතිබීම. ප්‍රධාන පක්ෂ කෙරෙහි සහ දේශපාලන නායකයන් කෙරෙහි ජනතාවට තිබෙන්නේ දැඩි කලකිරීමක්. මේ පක්ෂවල සහ චරිතවල ක්‍රියාකාරිත්වය වගේම පැටිකිරිය ජනතාවට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. මේවා ඇත්තටම ඔබලා බලපු මලු නෙවෙයි ලිහලා බලපු මලු. ලිහලා බලපු මලු නැවත ඔබලා බලන්න තරම් කැක්කුමක් ජනතාවට නැහැ. ඒ නිසා මේ සියලු දෙනාගේම කෙරුවාවන් ජනතාව හොඳින්ම දන්නා බව දේශපාලනඥයන් වටහාගත යුතුයි.
නඳුන් ශ්‍යාමාල්