ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද (12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.
මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක් වූ බවයි.
කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බවද ඔහු පැවසීය. කොරෝනා වෛරසය ආසාදිතව හමුවූ චීන ජාතික කාන්තාවට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළින් ප්‍රතිකාර සේවාවන් ලබාදී සුවපත් කිරිමත්, ඇයව ආදරයෙන් රැකබලා ගැනීමත් පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජය සහ ජනතාව සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.
මෙවැනි ව්‍යසනයකදී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු කිරීම පිළිබදවත් විශේෂ ස්තූතියක් සෞඛ්‍ය අමාත්‍යතුමියට පුද කරන බවද පැවැසීය. ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාව සමග චීනය සැමදාම අත්වැල් බැදගෙන සිටින බවට චීන වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.