රුසියානු හමුදා ඩොන්බාස් කලාපය අත්පත් කරගැනීමේ සටන ආරම්භ කර ඇති නමුත්, යුක්රේනය ආරක්ෂා වනු ඇතැයි යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි.
"දැන් අපට කියන්න පුළුවන් රුසියානු හමුදා ඩොන්බාස් සඳහා සටන ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගු කලක් පුරා සූදානම් වෙමින් සිටියා. සමස්ත රුසියානු හමුදාවේ ඉතා විශාල කොටසක් දැන් මේ ප්‍රහාරය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා" සෙලෙන්ස්කි සඳහන් කළේය. "රුසියානු හමුදා කොපමණ ප්‍රමාණයක් එතනට එව්වත් අපි සටන් කරනවා." ඔහු තවදුරටත් පැවසීය.
යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලොව් විසින්ද පවසා තිබුණේ, රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනය ආශ්‍රිතව ප්‍රහාරයේ සක්‍රීය අදියරක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ඩැනිලොව්ට අනුව, ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවල සමස්ත ඉදිරි පෙළ දිගේ රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මෙහෙයුම් අරඹා ඇත.
මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගුවනින් දියත් කරන ලද මිසයිල මගින් යුක්රේන හමුදා කඳවුරු 16ක් එක රැයකින් විනාශ කළ බවත්, ඒවාට අණදෙන තනතුරු පහක්, ඉන්ධන ගබඩාවක් සහ පතොරම් ගබඩා තුනක් මෙන්ම යුක්රේන සන්නාහ සහ හමුදාවන්ද ප්‍රහාරයට ගොදුරු වූ බවත්ය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳුදා නැවතත් යුක්රේනයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටියේ ජීවිතාරක්ෂක ආධාර සැපයීමට මෙන්ම, සිවිල් වැසියන් ඉවත් කිරීම්වලට ඉඩ සැලසීමටය.