බ්‍රිතාන්‍යයේ තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 633ක් තහවුරු වී ඇති අතර, එය රට තුළ කොවිඩ්-19 ප්‍රභේදය අනාවරණය වීමෙන් පසු විශාලතම දෛනික වැඩිවීම බවත්, රට තුළ හමු වූ සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 1,898ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු පවසති.
අතිරේක ක්‍රියාමාර්ග ගෙන නොගියහොත් අප්‍රේල් මස අවසානය වන විට එංගලන්තයේ ඔමික්‍රෝන් මරණ 25,000ත් 75,000ත් අතර ප්‍රමාණයක් ඇති කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවන පසුබිමක මෙම නවතම දත්ත වාර්තා විය.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) ඇස්තමේන්තු කර ඇත්තේ ඔමික්‍රෝන් වත්මන් අනුපාතයෙන් දිගටම වර්ධනය වුවහොත්, ප්‍රභේදය ප්රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇති අතර, දෙසැම්බර් මැද වන විට රට තුළ ඇති සියලුම කොවිඩ්-19 ආසාදනවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරනු ඇති බවත්ය. වත්මන් ප්රවණතා නොවෙනස්ව පැවතුනහොත්, මෙම මාසය අවසන් වන විට බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් ආසාදන මිලියන 1ක් ඉක්මවනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ.
සෙනසුරාදා නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 54,073ක් වාර්තා වන අතර, රටේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 10,771,444ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොරෝනා වෛරස් ආශ්රිත මරණ 132ක්ද රට තුළ වාර්තා වී ඇති අතර, බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය ආශ්රිත මුළු මරණ සංඛ්‍යාව දැන් 146,387ක් වන අතර, කොවිඩ්-19 රෝගීන් 7,413ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 89%කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 81%කට වැඩි පිරිසකට මාත්‍රා දෙකම ලැබී ඇත. 39%කට වඩා වැඩි පිරිසකට බූස්ටර් මාත්‍රාව හෙවත් කොරෝනා මර්දන එන්නතක තුන්වැනි මාත්‍රාවද ලැබී ඇත.