එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක් විනාශ කළ බලවත් ටොනේඩෝවලින් මියගිය සංඛ්‍යාව ඉරිදා දිනය වනවිට තවත් ඉහළ ගිය අතර, ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ව්‍යසනකාරී සිදුවීම ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම ටොනේඩෝ කුණාටු තත්ත්වය බවයි.
කෙන්ටකි හි මේෆීල්ඩ් හි ඉටිපන්දම් කම්හලකට ටොනේඩෝ පහරදීමෙන් විනාශ වූ අතර, එහි සේවය කළ පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මිය ගිය බව ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් පැවසුවේ, කලින් සඳහන් කළ මරණ 70ක අගය තවදුරටත් ඉහළ නංවමිනි.
"මට ලැබී ඇති වාර්තාවලින් මට ඔබට කියන්න පුළුවන්, අපේ ජනතාව 80කට වඩා අහිමි වෙලා කියලා" ඔහු රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. "එම සංඛ්‍යාව 100 ඉක්මවනු ඇති." කම්හලේ 110දෙනෙකු වැඩ කරමින් සිට ඇති බව බෙෂියර් පැවසීය.
සිකුරාදා රාත්‍රියේ ටොනේඩෝවකින් ඉලිනොයිස් හි ඇමසොන් ගබඩා ගොඩනැගිල්ලක අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බව ආණ්ඩුකාර ජේ බී ප්‍රිට්ස්කර් පැවසීය. ප්‍රාදේශීය පොලිසිය පැවසුවේ සේවකයින් කොපමණ සංඛ්‍යාවක් අතුරුදන් වී ඇත්ද යන්න තවමත් නොදන්නා බවයි.
ඇමසොන් ප්‍රධානී ජෙෆ් බේසෝස් සෙනසුරාදා ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ සිය ගබඩාවේ සිදු වූ මරණ ගැන දැනගත් පසු තමා දැඩි කම්පාවකට පත්වූ බවයි.
"එඩ්වර්ඩ්ස්විල් වෙතින් ලැබුණු ප්‍රවෘත්තිය ඛේදජනකයි," බෙසෝස් එම පහසුකම තිබූ නගරය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. "අපගේ කණ්ඩායමේ සාමාජිකයන්ට එහිදී දිවි අහිමි වීම ගැන අපගේ හදවත් කම්පාවට පත්වෙලා. අපගේ සිතුවිලි සහ යාච්ඤාව ඔවුන්ගේ පවුල් සහ ආදරණීයයන් සමගයි."
ආකන්සාස්, මිසුරි සහ ටෙන්නසී ඇතුළු අනෙකුත් එක්සත් ජනපද ප්‍රාන්තවල ටොනේඩෝ ආශ්රිත මරණ අවම වශයෙන් 08ක් වාර්තා වී ඇත.