හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කෙරුණු ගැබෝන් ජනාධිපති අලි බොන්ගෝ නිවාස අඩස්සියේ පසුවෙමින් තමන් වෙත උදව් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා පවසයි.
බදාදා ඔහු තම නිල නිවසේ සිට අදහස් දක්වමින් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ “ඔබේ හඬ නඟන්න” යනුවෙනි.
මීට පෙර එරට හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තමන් රටේ බලය ලබා ගත් බව පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේදීද බොන්ගෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් වුවත්, එම ප්‍රතිඵලය ඔවුන් අවලංගු කළ බව හමුදාව පැවසීය. එසේම එරට විපක්ෂය මැතිවරණ ප්‍රතිඵලය වංචනික බව කියා සිටියේය.
මේ අතර, බොන්ගෝගේ පුත්‍රයෙකු රාජද්‍රෝහී චෝදනාවකට අත්අඩංගුවට ගත් බවද හමුදාව ප්‍රකාශ කළේය.
බොන්ගෝ බලයෙන් පහ කිරීමත් සමග ඔහුගේ පවුලේ වසර 55ක කාලයක් ගැබොන්හි බලය අල්ලාගෙන සිටීම අවසන් විය.