මොස්කව් සිය කැලිබර් කෲස් මිසයිල යොදා ගනිමින්, කියෙව් නගරයෙන් පිටත මිසයිල කම්හලකට දැඩි ප්‍රහාරයක් දියත් කළ බව නිවේදනය කර ඇති අතර, යුක්රේනය රුසියානු භූමියට එල්ල කරන ප්‍රහාර දිගටම කරගෙන ගියහොත් එරට අගනුවරට තවත් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටද අනතුරු අඟවා තිබේ.
බ්‍රහස්පතින්දා බෙල්ගොරොඩ් සහ බ්‍රයන්ස්ක් ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර එල්ල කළ බවට රුසියාව මීට පෙර යුක්රේනයට චෝදනා කළේය.
ඊට ප්‍රතිචාර ලෙස ගුවන් යානා නාශක සහ නැව් නාශක මිසයිල නිෂ්පාදනය සහ අලුත්වැඩියා කරමින් සිටි කියෙව් නගරයෙන් පිටත පිහිටි විසාර් හමුදා කර්මාන්ත ශාලාව විනාශ කිරීමට රුසියානු යුද නෞකාවක් භාවිත කළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පැවසීය.
රුසියානු භූමියට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මොස්කව් යුක්රේනයේ අගනුවරට එල්ල කරන මිසයිල ප්‍රහාර සංඛ්‍යාව සහ පරිමාණය වැඩි කරන බවට කොනෂෙන්කොව් අනතුරු ඇඟවීය. ඔහු බදාදාද එවැනිම අනතුරු ඇඟවීමක් කර තිබුණි.
රුසියාව කියා සිටියේ බ්‍රහස්පතින්දා යුක්රේන හෙලිකොප්ටර් දේශසීමා තරණය කර බිමට ආසන්නව පියාසර කර එරටට මායිම්ව පිහිටි බ්‍රයන්ස්ක් කලාපයේ ක්ලිමෝවෝ ගම්මානයට ප්‍රහාර එල්ල කළ බවයි. දෙහැවිරිදි පිරිමි ළමයෙකු සහ ඔහුගේ ගැබිනි මව ඇතුළු ප්‍රදේශවාසීන් අට දෙනෙකු තුවාල ලබා ඇත. යුක්රේන සරණාගතයින් පිරිසක් එම කලාපය හරහා යමින් සිටියදී එදිනම එම කලාපයේ දේශසීමා මුරපොලකට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවද නිලධාරීහු පවසති. කෙසේ වෙතත් එම ප්‍රහාරයෙන් කිසිවෙකු තුවාල ලබා නැත.