ආඝාතය, යනු ලෝකය පුරාම මිනිසුන්ට මරණය කැඳවන රෝග අතරින් තුන්වැනි ස්ථානය ගත් රෝගය බවට පසුගිය වර්ෂයේ නම්කර තිබුණ අතර, එය 2020 වර්ෂය වනවිට දෙවැනි ස්ථානයට පත්ව තිබේ. එමෙන්ම වැඩිහිටියන් ආබාධයට ලක්කරන ප්‍රධානතම හේතුව වන්නේද ආඝාතයයි.
උපතින් ගෙන එන රෝගයක් නොවන ආඝාතය ඇතිවීමට ප්‍රධානතම හේතු වන්නේ අපගේ අහිතකර ජීවන රටාවන් හා ආහාර රටාවන්ය. මේ නිසාම ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වටී.
විශේෂයෙන් කාන්තාවන්ගේ ක්‍රියාශීලීත්වය එදාට වඩා අද අඩුවීමත්, දේහ ස්කන්ධය වැඩි නැතහොත් තරබාරු බව අධික වීමත් හේතුවෙන් කාන්තාවන් මෙම රෝගයට ගොදුරුවීමේ අවධානමක්ද පවතී. සෑම වසරකම පෙබරවාරි 15 වැනිදාට යෙදෙන ලෝක ආඝාත දිනය වෙනුවෙන් සුවැති කාන්තා ඔබගේ අනාගතය ආබාධිත තත්ත්වයෙන් මුදවාලීමට තබන සටහනකි මේ.
ආඝාතය යනු
ආඝාතය යනු හදිසියේ ඇතිවන රෝග තත්ත්වයකි. මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර සැපයුම අඩාළ වීම හේතුවෙන් මෙය ඇතිවේ. එමගින් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්ෂිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යෑමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යෑම සිදුවේ. ආඝාතය හදිසි මරණයන්ට හේතුවන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වේ. එමෙන්ම එමගින් තාවකාලික හෝ ස්ථිර ආබාධිත තත්ත්වයට පත්විය හැකිය. මොළයේ එක් එක් ප්‍රදේශ විවිධ කාර්යයන් සඳහා විශේෂණය වී ඇති බැවින් ලේ ගමනය අවහිර වීමෙන් හානි වන මොළයේ ප්‍රදේශ අනුව ඇතිවන රෝග ලක්ෂණ තීරණය වේ.
ආඝාතය ඇතිවීම කෙරෙහි ප්‍රධාන හේතු දෙකක් බලපාන අතර ඒවා මෙසේ දැක්විය හැකිය.
- රැධිර නාල අවහිරවීම ( Ischaemic Stroke)
- ආඝාත බොහෝමයක් මෙම හේතුව නිසා ඇති වේ. එනම් ලේ කැටියක් හේතුවෙන් ලේ නහරයක් අවහිර වීමයි. ලේ ගමනය අවහිර වීම හේතුවෙන් මොළයේ සෛල මිය යයි.
- රුධිර නාල පිපිරී මොළය තුළට ලේ ගැලීම
- ( Haemorrhagic Stroke) මොළය තුළ ලේ නහරයක් පිපිරීමෙන් මෙය සිදුවේ.
රෝග ලක්ෂණ
හදිසියේ ඇතිවන තද හිසරදය, හදිසියේ ඇතිවන පෙනීමේ වෙනස්කම්, හදීසියේ ඇතිවන ගිලීමේ අපහසුව, හදිසියේ ඇතිවන ඇවිදීමේ අපහසුකම්, කරකැවිල්ල සහ සමතුළිතතාවේ වෙනස්කම්, හදිසියේ ඇතිවන ශරීරයේ එක් පැත්තක පණ නැතිවීම හෝ සංවේදනයේ වෙනස්වීම්, මුහුණේ පැත්තක් පණ නැතිවීම,කට ඇදවීම, එක් අතක් හෝ කකුලක් පණ නැතිවීම, කතාවේ වෙනසක් ඇතිවීම, කතාව පැටලීම යන ඒවාය.
මෙවැනි තත්ත්වයක් දුටු වහාම කලබලයට පත්නොවී, හැකි ඉක්මනින් ක්‍රියාත්මක වී පැය තුනක් ඇතුළත ප්‍රධාන රෝහලක් වෙත රෝගියා ගෙන ආවේ නම් ‘සීටී ස්කෑන්’ පරීක්ෂණයක් මගින් ආඝාත තත්ත්වයට හේතුව පරීක්ෂා කෙරේ. එහිදී මෙම ලක්ෂණ මතුකිරීමට හේතුව ලේ කැටියක් හිරවීම නම් එය දියකර යැවිය හැකි එන්නතක් ලබාදෙනු ඇත.
රෝගියාට ඇතිවිය හැකි සංකූලතා අවම කර ගැනීමට නම් ප්‍රමාද නොවී රෝහල්ගත කළ යුතුය. එසේම ‘පුංචි ආඝාතය’ ලෙස හඳුන්වන ඉහත කී රෝග ලක්ෂණ මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් පැවතීම (පැය 24ක් වැනි කාලයකදී රෝග ලක්ෂණ පහව යයි) හේතුවෙන් රෝහල්ගත කෙරෙන රෝගීන්ව දින කිහිපයක් රෝහලේ රඳවා ගැනීම සිදු කෙරේ. එයට හේතු වන්නේ පුංචි ආඝාතය මරණයට හෝ ස්ථිර ආබාධිත තත්ත්වයට හේතුවන විශාල ආඝාතයක පෙර නිමිත්තක් වන නිසාවෙනි.
ආඝාතය ඇති වීමට බලපාන හේතු සාධක ගණනාවක් පවතී. වෙනස් කළ හැකි හා වෙනස් නොකළ හැකි හේතු වශයෙන් අපට ඒවා බෙදා වෙන් කළ හැකිය. වෙනස් කළ හැකි හේතු ලෙස අධික රුධිර පීඩනය, ලේවල අධික මේදය නැතිනම් කොලෙස්ටරෝල අධිකතාව, දියවැඩියාව, හදගැස්මේ අසාමාන්‍යතාවන්, දුම්පානය, තරබාරුකම, ශාරීරික ව්‍යායාම මද බව, අධික මත්පැන් පානය, සෞඛ්‍ය සම්පන්න නොවෙන ආහාර යන ඒවා සඳහන් කළ හැකිය. අපට වෙනස් නොකළ හැකි හේතු වන්නේ වයස අවුරුදු 65ට වැඩි වීම, පවුලේ ළඟම ලේ ඥාතියෙකුට ආඝාතය සෑදී තිබීම, මින් පෙර අවස්ථාවකදී පුංචි ආඝාතය සෑදී තිබීම යන ඒවාය.
ආඝාත අවධානම අඩුකරගන්නට කළ හැකි දේ
අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝලතාව සහ දියවැඩියාව යන රෝගවලින් තොර වීම හෝ එම රෝග පවතීනම් ඒවා පාලනය කර ගැනීම. අවුරුදු 40 පසුවන විට රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම මැන බැලීම, රුධිරයේ සීනි මට්ටම මැන ගැනීම සිදුකළ යුතුය. තවද පවුලේ අයෙකුට අධික රුධිර පීඩනය, දියවැඩියාව හෝ ආඝාත තත්ත්වයක් පවතීනම් අවුරුදු 30න් පසු ඉහත පරීක්ෂණ සිදු කර ගැනීම යෝග්‍ය වේ.
ව්‍යායාම් අඩුකම
අඩුම තරමේ සතියකට දින 4ක් පැයක් බැගින් සුළු හතියක් හා සිහින් දහඩියක් දැනෙන ලෙස ඇවිදීම හෝ පාපැදියක් පැදීම සිදුකළ යුතුය. තරබාරුව අඩු කරගෙන ශරීර ස්කන්ධ දර්ශකය 25 සීමාවේ තබාගත යුතුය.
හද ගැස්මේ අක්‍රමිකතා Atrial Fibrillation ( AF) ( හදගැස්ම ක්‍රමානුකූලව සිදු නොවෙන රෝගයක්) පැවතීම.
මෙය ඕනෑම වයස් සීමාවකදී ඇතිවිය හැකි නමුත් වයස්ගත පුද්ගලයන් අතර, වඩාත් බහුල රෝගයකි. අධික රුධිර පීඩනය, හෘද රෝග, සහ පෙනහලු රෝග ඇති අය අතරද මෙම රෝගය වඩාත් බහුලය. මෙම රෝගය ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය උපදෙස් මත අදාළ ප්‍රතිකාරවලට යොමුවීම ඉතා වැදගත්ය.
මොළයේ ලේ ගමනය අවහිරවීමට හේතුවන ලේ නහරවල වෙනස්කම් බොහොමයක් දුම්පානය නිසා ඇතිවේ. ආඝාතයට ගොදුරුවන අයගෙන් බහුතරය පිරිමින් බවට පත්ව ඇත්තේ ඔවුන් දුම් පානය හා මත්පැන් පානය සිදුකරන නිසාවෙනි. ආඝාත රෝගයට ගොදුරුවූ පිරිමින්ගෙන් 30%ක්ම දුම් පානය සිදුකරන අය වන අතර, නිවසේ සැමියා දුම් පානය කරයි නම් බිරිඳ හා දරුවන් ඒවා ආඝ්‍රාණය කිරීමෙන් ආඝාතයට ගොදුරු විය හැකිය.
මේ මගින් ආඝාත අවදානම 50% කින් වැඩි කරයි.
නින්දෙන් ගොරවන අයටද ආඝාතය ඇතිවීමේ අවදානමක් පවතී. එලෙස පවතින අයෙක්නම් ශ්වසන රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් ලවා පරික්ෂා කර බැලිය යුතුවේ.
ආඝාතවලින් 80%ක් පමණ වළක්වා ගත හැකිය. නමුත් පුද්ගලයන් මෙම රෝගය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකිරීම හා ආඝාතයට බලපාන සාධක අවම කර නොගන්නා බැවින් මෙම රෝගයට ගොදුරුවේ.
හෙටට යෙදෙන ආඝාත දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම උදෙසා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකදී ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ හිටපු සභාපති, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. ටී. රිෆ්සි මහතා මතුකළ අදහස්වල සම්පීඩනයක් මෙලෙස විශේෂයෙන් ගෙන එනුයේ එය ඉතාම වැදගත් වන නිසාය.
“Transient Ischemic Attack (TIA) මේ තත්ත්වය අපි විග්රහ කරන්නේ රෝග ලක්ෂණ ක්ෂණිකයෙන් මතුවී, ක්ෂණිකව නැතිවී යාමයි. එය අපි සුළු ආඝාත තත්ත්වයක් ලෙස හඳුන්වනවා. එහිදී සිදුවන්නේ මොළයේ කොටසකට රුධිරය ගමන්කිරීම අඩුවී යළි එය ප්රතිශ්ඨාපනය වීමයි. මෙහිදී රෝගින් ලෙඩේ හොඳවී ඇති බව වැරදියට වටහා ගන්නවා. නමුත් එය ඉතාම භයානක පෙර නිමිත්තක්. එයින් පවසන්නේ මේ රෝගී ලක්ෂණ නැවත ඇතිවිය හැකි බවයි.එලෙස නැවත රෝග ලක්ෂණ මතුවන විට පෙර ලෙස ක්ෂණිකව පහව නොයයි. එසේනම් ‘TIA’ තත්ත්වයකදී වහා ප්‍රතිකාර ලබාගත යුතුයි.
‘TIA’ තත්ත්වයකදී සිදුවන්නේ මොළය, සුෂුම්නාව හෝ ඇසේ දෘෂ්ටි විතානයට ලැබෙන රුධිර වහනය අඩුවීමයි. එය ක්ෂණික සිදුවී පහව යනවා. ඒ නිසා බොහෝ දෙනා එය ගණන් නොගෙන සිටිනවා. මිනිසුන් පපුවේ කැක්කුමක් ආ විගස රෝහල්ගත වන්නේ හෘදයාබාධයක් නිසා මියයන බව දන්නා නිසයි. ඒ වගේම කිවයුතුයි ආඝාතය නිසාත් මිනිසුන් මිය යන බව. දැනට පවතින දත්ත අනුව ලෝකයේ මිලියන 18ක් අඝාතයට වාර්ෂිකව ගොදුරු වෙනවා. ඉන් 1/3ක් එනම් මිලියන 6ක් මිය යනවා. ඒ වගේම මිලියන 6ක් දෙනා ජීවිතය බේරා ගන්නා අතරම තවත් මිලියන 6ක පිරිසක් සදාකාලිකව විවිධ අයුරින් දුබල වෙනවා.”
ආඝාත රෝගියෙකුගේ ආහාර වේල
ආඝාත රෝගියෙකුට සාමාන්‍ය සරල ශ්‍රී ලාංකේය ආහාර වේලක් යෝග්‍ය වේ. ඒ අනුව අඬු කෝප්පයක ප්‍රමාණයකට බත්, ප්‍රෝටීනමය මාළු, ධාන්‍ය හා මේදය අඩු කුකුළු මස් වැනි ආහාර, මැල්ලුම් හා කොළ සලාද , ව්‍යාංජන ඇතුළත් කළ යුතුය.
එසේම ගැඹුරු තෙලේ බදින ලද ආහාර භාවිත නොකළ යුතුය. ආහාර පිසීම සඳහා අසංතෘප්ත තෙල් වර්ග භාවිත කළ යුතුය. පොල්තෙල් භාවිත කරන විට හොඳ පොල්තෙල් සුළුවෙන් භාවිත කළ යුතුය. අධික ලුණු භාවිතය නතර කළ යුතුය. දෛනික ලුණු අවශ්‍යතාව වන ග්‍රෑම් 5ක ප්‍රමාණය නොඉක්මවිය යුතුය. රාත්‍රී ආහාරයට පාන්, ඉඳි ආප්ප, රොටී , පිට්ටු වැනි දේ අනුභව කරනවාට වඩා බත්, එළවළු, මස් මාලු හා මැල්ලුම් සමග ආහාරයට ගැනීම වඩාත් සුදුසුය.
(ආඝාත දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරුන් දැක්වූ අදහස් ඇසුරෙණි)
නදීශානි පතිරණ