පුද්ගලයින්ට මරණය ඇතිකරන ලෙඩ රෝග ගැන අපි කොතෙකුත් කතාකරමු. එමෙන්ම රෝගීවීම යනුවෙන් අප අදහස් කරන්නේ කිසියම් ආකාරයකින් ශාරීරිකව ඇතිවන වේදනාවන් හෝ අස්වාභාවික තත්ත්වයන් නිසා පීඩා විඳිමින් සිටීමය. නමුත් එසේ ශාරීරිකව යම් පිඩාවක් නැතිව සිටින පුද්ගලයින් රෝගීන් නොවන අතර කායිකව යම් ආබාධමය තත්ත්වයන්ට මුහුණ දී සිටින හා ඒවාට පිළියම් ලබමින් සිටින්නන්ට වඩා මරණයට පත්වන්නේ නම් එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ. සැබවින්ම රිය අනතුරු නිසා ඇතිවන මරණ, එවැනි ඒවා බව ඔබ හොඳින්ම දන්නා කරුණක් බවට සැක නැත. රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය දක්වන තරුණ පිරිස් බොහෝ විට හදිසියේ මිය යාමට බලපාන හේතුවක් බවට මේ වන විට රිය අනතුරු පත්ව තිබේ. බොහෝ විට මෙසේ මහමග අනතුරුවලින් මිය යන පිරිස මෙන්ම ආබාධිතවන පිරිසද මේවන විට වැඩි බව අපට හොඳින් පෙනෙන්නට ඇති කාරණයකි. වසරකට මෙවන් පුද්ගල ජීවිත තුන්දහසක් රටට අහිමිකරවන මහ මග අනතුරු සම්බන්ධයෙන් අවධානය දැක්විය යුතු වනුයේ එය අනෙකුත් රෝග නිසා මිය යන රෝගීන් අභිබවන තත්ත්වයක් උදා වී ඇති හෙයිනි. අද සෞඛ්‍ය පිටුව වෙන්වනුයේ එම කාරණය පිළිබඳව වැඩිදුරටත් කතාබහ කිරීම වෙනුවෙනි.
පුද්ගල ජීවිත සම්බන්ධයෙන් කතාකරන විට යමෙකු රෝගීවනුයේ කිසියම් බැක්ටීරියාවකින් ඇතිවන බලපෑමක් වෛරසයකින් ඇතිවන බලපෑමක් හෝ ශරීරයේ ඇතිවන කිසියම් අස්වාභෘවික අර්බුධයක් හේතුකොටගෙනය. මේ නිසා අපට ඖෂධ කියන පිළියම හා සමීපවෙන්නට සිදුවී තිබේ. බැක්ටීරියා ආසාදනයක් නම් අප නිසි පරිදි රෝග විනිශ්චය කිරීමකින් අනතුරුව එය මැඩලීමට හැකි ඖෂධ ලබාගෙන රෝගය සුවවෙන්නට පියවර සලසා ගනිමු. එසේ අප බෝවන රෝග සම්බන්ධයෙන් සුවය ලැබීම ඉලක්ක කොට ගන්නා සේම බෝනොවන රෝග සම්බන්ධයෙන්ද ඒවා මැඩපැවැත්වීම තුළින් මරණයට පත්වන රෝගීන් සංඛ්‍යාව අවම කරගන්නට පියවර ගනිමු . එහිදී අපි බෙහෙත්වලට අමතරව චර්යාත්මක වෙනස්කම් ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද වෙහෙසෙමු. දියවැඩියා සහ හෘද රෝගයක් යැයි දැනගත් පසු ජීවිතය ආරක්ෂා කරගන්නට අප එතෙක් ගත් ආහාර රටාවේ වෙනස්කම් සහ චර්යාවන් වෙනස්කර ජීවිතය ආරක්ෂාකර ගැනීමට මහත් වෙහෙසක් දරමු. නමුත් හෘදයාබාධ සහ දියවැඩියාවෙන් අපේ රටේ වසරකට මරණ තුන් දවසක් සහ ආබාධිතවීම් වාර්ථාවෙන්නේ නැත. එම මරණ සංඛ්‍යාව තුන්දහසට වඩා අඩු නමුත් කිසිම නිදන්ගත රෝගයකින් දුක්විඳිමින් නොසිට වුවත් මේ කියන කාරණය සම්බන්ධයෙන් ඔබ දැනුවත් නොවේ නම් වසරේ තුන් දහසක් පමණ වන හදිසි අනතුරුවලින් සිදුවන මරණවලට ඔබද ගොදුරුවීමට ඉඩ ඇත. එයින් ඔබට බේරීම සඳහා ඖෂධ නොපවතින අතර ඇත්තේ චර්යාත්මක වෙනස්කම් තුළින් ප්‍රවේශම සලසා ගැනීම සහ ආරක්ෂාවීමය.
මේවන විම ලෝකය පුරාම හදිසි අනතුරු නිසා ඇතිවන මරණ සංඛ්‍යාව බහුලවී ඇති අතර එයට එක් හේතුවක් ලෙස මත්වතුර පානය දක්වා ඇත. මත්වතුර භාවිතය අනතුරක් ඇතිකිරීමට සාධාරණ හේතුවක් ලෙස සැලකීම මේවන විට මෝස්තරයක්ව පැවතීම කණගාටුදායක තත්ත්වයකි. රිය අනතුර ඇතිවීමට හේතුව බීමත්බව හුවා දැක්වීම තුළින් බීමත්වීම අනතුරක් ඇතිකරන්නට සාධාරණ හේතුවක් සේ සැලකීමට යම් යම් පුද්ගලයින් විසින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. මත් පැන් යනු කිසිම විටක ශරීරයට හිතකර ශක්තියක් සපයන්නක් නොවන බව ඒ හැඟීම තුළම ඔබට ඒත්තු යනු ඇත. දවසේ ඔබ ගන්නා ආහාරවේල් ඔබේ ශරීරයේ ශක්තිය සහ නිරෝගීභාවය ඇතිකරන්නට හේතුවන අතර මත්පැන් නිසා ඔබට වාහනය හසුරුවාගන්නටවත් බැරි අඩපණබවක් දනවන බව ඔබ වටහා ගෙන ඇත්නම් එසේ ඔබ අනතුරේ හෙලන්නේ මහ මග ගමන් කරන අන් අය පමණක් නොවේ. ඔබේ මත්පැන් භාවිතය නිසා අඩපණවෙන සහ අක්‍රියවන සිරුරේ ශක්තීන් ඔබේම ජීවිතයද අකාලයේ විනාශ වෙන්නට ඉඩ හරියි. එම අනතුරුවලින් ජීවිතය බේරුණත් එයින් ඇතිවන ආබාධ හෝ අත පය ඉවත් කිරීම් නිසා ආබාධිතවීම ඔබේ මුළු ජීවිතයටම අහිතකර අයුරින් බලපෑමට ඉඩ ඇත. එසේ වුවහොත් ඔබෙන් යැපෙන්නන්ද යම් ආකාරයකින් කඩාවැටිමකට ලක්වන බව මෙහිදි ඔබ මතක තබාගත යුතුම කරුණයි. එමෙන්ම ඔබ විසින් අනතුරක් සිදුකරන අවස්ථාවක එයට ලක්වන අනෙකුත් පුද්ගලයින්ද එම පවුලේ ඔබ මෙන්ම වගකීම් දරන්නා වීමට ඉඩ තිබේ. එසේවුවහොත් යම් ආකාරයකින් පදිකයා මිය ගියොත් හෝ ආබාධිත වුවහොත් එයින් එම පවුලට සිදුවන පාඩුව ඔබට මුදලින් තක්සේරු කිරීමට ඉඩ නැතිවාක් මෙන්ම වන්දි ගෙවීමෙන් සියල්ල නිවැරදිවීමක් සිදුවන්නේද නැත.
ඔබට වාහනයක් තිබූ පමණින් ඔබ එය පැදවීමට සුදුසුකම් ලද පමණින් සියල්ල සම්පූර්ණවන්නේ නැත. අනතුරක් සිදුනොකරන තවත් අයෙකුගේ ජීවිතය අනතුරට පත් නොකර වගකීම දැරිය යුතුවනුයේ ඔබමය. බොහෝ විට වාහනයක් පදවන විට සිදුවන වැරදි අතරින් එකක් වනුයේ බීමත් බව නමුත් අවධානය නොමැතිවීමද මහ මග අනතුරුවලට ප්‍රභලව බලපෑ හැකි තත්ත්වයකි. ඔබ කිසියම් චිත්ත පීඩාවක කිසියම් ගැටළු කාරී තත්ත්වයක පසුවන විට ඔබට එය හොඳින් කල්පනාකිරීම අවශ්‍ය යැයි හැගෙන මොහොතක වාහනය පැදවීම නොකරන්න. එයින් මහමගට ඇති අවධානය ගිලිහී යාම ඇතැම්විට ඔබගේ මරණය මෙන්ම ආබාධිතබවට සහ නීතිය ඉදිරියේ දඩුවම් ලබන වරදකරුවෙකු බවට පත්කරවීමට ඉඩ ඇත. ඊළඟ කරුණ වනුයේ ඔබ කිසියම් ඖෂධයක් භාවිතාකරන අතර ඒ නිසා ඔබට නිදිමත ඇතිවන බව වෛද්‍යවරයා විසින් දැනුම් දී ඇත්නම් හෝ ඔබ විසින් අත්විඳ ඇත්නම් වාහන පැදවීමෙන් වළකින්න. ඒ නිදිමත හේතුවෙන් තවත් ජීවිත වන්දි ගෙවිය යුතු දැයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න. ඇතැම්විට ඔබටම ඔබේ ජීවිතය උකසට තැබි ම නිසා එය සදහටම සින්න වී යා හැකිය.
අනෙක් කරුණ නම් වේගයයි. වේගය අධික කම නිසා ඇතිවන මරණ සහ අනතුරු තනිකරම ඔබේ නොසැලකිල්ල මත ඇතිවන්නකි. ඔබට එය පහසුවෙන්ම නවත්වා ගන්නට හැකියාව තිබේ. ඒ ඔබට සාමාන්‍ය වේගයකින් වාහනය පැද යා හැකි ආකාරයේ වේලාව නිර්ණය කර මදක් කලින් ඔබේ ගමන පිටත්වීමය. එවිට මහ මග ඇතිවන තද බදය නිසා සිදුවන පමාව පාලනය කරගන්නට ඔබට හැකියාව තිබේ.මෙයට ඔබට කිසියම් අමතර මුදලක් වැය නොවන අතර මේ තත්ත්වය ජයගන්නට ඇති එකම පිළියමයි. බොහෝ විට යතුරු පැදිකරුවන් පා පැදි කරුවන් සහ ත්‍රි රෝද රථ අනතුරුවලට ප්‍රභලම හේතුව වනුයේ මෙසේ මහමග අනෙක් වාහන අතරින් රිංගා යමින් ගමන ඉක්මන් කරන්නට මිස අනතුරු වලක්වා ගන්නට අවධානය නොදැක්වීමයි. අනතුරු සම්බන්ධයෙන් බොහෝ රියදුරන්ගේ මතය බවට මත් පැන් තරමටම හේතුව බව පවසන තවත් කරුණක් තිබේ. ඒ නිදිමතයි. ඔබේ නිදිමත ඔබ පදවන වාහනයේ ඔබ ඇතුළුව ගමන් කරන සියළු දෙනාගේ මරණ වරෙන්තුව බවට පත්වන්නේ නම් එයින් ඵලක් තිබේද? ඇතැම් පුද්ගලයින් උදේ රැයින් පිටත්වන ගමන් එමෙන්ම රැය පුරා කරන ගමන්වලදි නිදිමත සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව වාහන පදවයි. නමුත් එසේ ඔබට නිදිමතවීම මහමග ගමන් කරන සෙසු පුද්ගලයන්ගේ ජීවිත අනතුරට පත්කිරීමට හෝ දේපල හානියට පත්කිරීමට ලබාදුන් බලපත්‍රයක් නොවේ .මේ නිසා මහමගට පිළිපන් පසු ඔහු අතට ගත් සුක්කානම සෙසු ජීවිත ආරක්ෂා කළ යුතුය යන සිතුවිල්ල සමගද බැඳී තිබිය යුතුය.
කිසියම් තුවාලයක් වූ පසු එයින් ඇතිකරන වේදනාව, ඒ අනතුරු නිසා අකර්මණ්‍යව ගත කරන කාලයේ පුද්ගලයෙකුගේ ජීවිතය සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවිතය ආදී ප්‍රායෝගිකව මතුවිය හැකි ප්‍රශ්න පිළිබඳ කළින් සිතා තිබීම අවශ්‍ය වනුයේ මනුෂ්‍යයෙකු වූ ඔබ මනසින් උසස් අයෙකු බවට ඔබේ සහතිකයට ලක් නොවී රියදුරු බලපතකට ඉල්ලුම් කිරීම නිවැරදි නොවන බැවිණි.අප රෝගීවන්නට අකමැතිය. එසේම අන් අයද ඊට අකමැතිය. අප අපේ පවුලේ අයව ජීවත් කරවන එකම පුද්ගලයාවිය හැකිය. නමුත් අප මෙන්ම අන් අයද තම පවුල්වල අය ජීවත් කරන පුද්ගලයා විය හැකිය. වාහනය පදවන අතර නිදිමතක් ඇතිවීම ශාරීරික කාරණයකි. එය බලෙන් නවත්වා ගනිමින් වාහනය පැදවීම අනතුරකට අතවැනීමකි. කළ යුතු හොඳම දේ මහ මග ඉඩ ඇති තැනකට ඔබේ වාහනය ගාල් කර මදක් නිදාගැනීමයි. ඒ පිළියම ඔබව සහ මහ මග ගමන් කරන්නන්ගේ ආරාක්ෂාව වෙනුවෙන් ගත හැකි පිළියමකි. වාහනවල අබලන් බවද ඇතැම් අනතුරුවලට හේතුවකි. එහෙයින් ඔබේ වාහනයේ තිරිංග ආදිය හොඳින් ක්‍රියාකරන්නේද යන්න පිළිබඳව මහමගට වාහනය දමන්නට පෙර සහතික කරගන්න. එමෙන්ම ගෙවුණු ටයර ආදිය සම්බන්ධයෙන් අවධානමක් නැතැයි විශ්වාසයක් ඇතිකර ගන්න. අනතුරකට තුඩුදෙන්නට හැකි කිසිම ගැටළුවක් නැතැයි ඔබ වටහා ගන්නා තුරු වාහනය මහමගට එක් කිරීමෙන් වළකින්න.
අප මේ කීවේ වාහන පදවන්නන් ගැනයි. නමුත් පොදු වාහනවල ගමන් ගන්නා ඔබටද අනතුරු වළකා ගන්නට වගකිමක් තිබේ. පා පුවරුවේ ගමන් කිරීම ගමන් ගන්නා බසයෙන් බැසීම නැගීම මෙන්ම ඔබේ ගමන් මළු ආදිය නොසැලකිලිමත් ලෙස එල්ලාගෙන සිටීමෙන් අනෙක් අය එහි පැටලීමට ඇති ඉඩ කඩ වළක්වා ගන්න. මහමග ගමන් කරන විට තමන්ට නියමිත පැත්තෙන් පාරේ ගමන් කිරීමට ඇති ඉඩ කඩ පමණක් භාවිත කරමින් පාර මාරුවීම සදහා අදාල මාර්ග සලකුණු භාවිතකරමින් අවධානයෙන් ගමන් කිරීමද අනතුරු වළක්වා ගැනීමට භාවිත කළ හැකිය. ඔබ රෝගීවෙනවාට බය දක්වන්නාක් මෙන්ම කිසිවෙකු මහමග හදිසි අනතුරුවල ගොදුරක්ව මිය නොයා යුතු බවට ඔබේ ප්‍රවේශම පිළිබඳ සහතිකයක් ගොඩ නගා ගන්න. සාධාරණ සහ වැදගත් පුරවැසියෙකු ලෙස අන් අයව සහ තමන්ව අනතුරට පත්කරන ලෙස වාහන නොපදවන අයෙකු වෙන්න. මේ මාර්ග අනතුරු බහුලව සිදුවිය හැකි කාලයයි. ඒ මත්පැන් සාද බහුල නිසා යැයි එය සාධාරණීය කරණය කරන්නට ඉදිරිපත් නොවන්න.වාහනවල වටිනාකම ඔබට ඔබ තක්සේරු කළ හැකිය. නමුත් ජීවිත යනු වටිනාකම තක්සේරු කරන්නට බැරි දෙයක් බව අමතක නොකරන්න. ඔබ ලබාදෙන තක්සේරුවට වඩා ජීවිත බොහෝ වටී.
නාලිකා රාජපක්ෂ
ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය විසින් පවත්වන්නට යෙදුණු මාර්ගාරක්ෂාව පිලිබඳ වාර්ථාකරණ වැඩමුළුව ඇසුරෙනි.