ඇස් දෙක වගේ රැකගත යුතු යැයි අප ඇතැම් විට උපමා කරන්නේ අතිශයින්ම රැකගත යුතු යමක් පිළිබඳවය. ඒ, එතරම්ම දෑස අපට වටිනා බැවිනි. වියපත්වීම දෑසේ පෙනීම මදවීමේ ආරම්භයක් යැයි ඔබත් සිතනවාද? ඇතැම් විටෙක ඔබත්, ඔබේ දෑසේ පෙනීම ඔබට අවුරුදු හතළිහ ලබන විට මදක් අඩුවේ යැයි නැතිනම් හතළිස් ඇඳිරිය පිළිබඳ ඇති ආකල්ප නිසා හතළිස්වියේදී ඇතිවෙන පෙනීමේ මදකම තාවකාලික යැයි කියා ඒ පිළිබඳව නොසලකා ඉන්නට ඉඩ තිබේ. නැත, හතළිහ වෙන විට ඔබ ඔබේ පෙනීමේ ඇතිවිය හැකි ගැටලු පිළිබඳ වඩාත් අවදියෙන් පසුවීම වැදගත්ය. ඒ ඔබේ දෑසේ පෙනීම උදුරාගෙන යන්නට සැරසෙන ග්ලෝකෝමාව ඔබ නොදැනීම ඔබේ දෑස් ආක්‍රමණය කරන්නට ඉඩ ඇති බැවිනි. මේ සිහිකැඳවීම ඒ පිළිබඳවයි.
ග්ලෝකෝමාව යැයි කීවිට ඇතැම් අයට මේ කතාකරන්නේ කුමක් සම්බන්ධයෙන්ද යන්න යම් ගැටලුවක් මතුවීමට ඉඩ තිබේ. නමුත් ඇහේ ප්‍රෙෂර් නැතිනම් පීඩනය යන වචනය සමග මේ කතාකරන්නේ කුමක්ද යන්න ඔබට යම් අදහසක් ඇතිවෙනු ඇත. ඇසේ පීඩනය නැතිනම් ඇසට ප්‍රෙෂර් ඇතිවීමත් සාමාන්‍යයෙන් අපට ඇතිවෙන අධිරුධිර පීඩනයේම අවස්ථාවක් යැයි ඔබ තුළ වැරදි අදහසක් මතුවීමට ඉඩ තිබේ. නැත, අප මේ කතාකරන්නේ අධිරුධිර පීඩනයේ අතුරු ඵලයක් පිළිබඳව නම් නොවේ. ඇසේ පීඩනය වැඩිවෙන්නේ කෙසේද යන පැනය මේ නිසා අප පළමුව විසඳාගෙන සිටිමු.
සාමාන්‍යයෙන් ඇස තුළ සාමාන්‍ය තත්ත්වයේ පීඩනයක් පැවතීම ස්වභාවිකය. මේ නිසා අප ඇසේ පීඩනයටද සාමාන්‍ය අගයක් දක්වමු. එය 12- 22 mmHg අතර පවතී. සැබවින්ම අපේ ඇසට හොඳ පෙනීමක් ලබාදෙන්නට හැකියාව ඇත්තේ මේ පිඩනය සාමාන්‍ය අගයක පවතින විටය. මේ පීඩනය ඇසට අවශ්‍යද යන්න විමසන විට එයින් සිදුවන කාර්යය කුමක්ද යන්න දැන සිටීමද වැදගත් විය හැකිය. ඇසට ගෝලාකාර බවක් ඇතිකර පෙනීමද උපරිමව පවත්වාගෙන ඇත්තේ ඇත්තේ මේ පීඩනය මගිනි. යම් හෙයකින් මෙම පීඩනය අඩු හෝ වැඩි වුවහොත් එයින් අපේ පෙනීමට ඉතා විශාල බලපෑම් ඇතිවන්නට පුළුවන.
අපේ ඇස පිහිටීමේදී අම්මය රසය නම් ජෙලිමය තරලයක් සම්බන්ධයෙන් අපට අවධානය යොමු කිරීමට සිදුවෙයි. මෙය ඇත්තේ ඇසේ කුණීතයට පිටුපසිනි. මෙම අම්මය රසය ඇස ඉදිරියේ ඇති කුටීරය තුළ සම්පූර්ණයෙන්ම පිරී පවතී.
පූර්ව කුටීරයට ඇතුල්වෙන තරලය එය පුරා පැතිරෙන අතර අවසානයේදී පූර්ව කුටීරයේ පිටත කෙළවරේ පිහිටා ඇති දැලක් වැනි ව්‍යුහයක් තුළින් ගමන් කර රුධිර නාලිකාවලට උරාගැනීමක් සිදුකෙරෙයි. මේ ආකාරයට අම්මය රසය ගමන් ගන්නා දැලක් වැනි ව්‍යුහය ට්රැබක්යුලම් ලෙස හඳුන්වනු ලබයි. එම ව්‍යුහය දැලක් වැනි ස්වභාවයෙන් පිහිටා තිබුණත් එය සෛල ස්ථර කිහිපයක් ලෙස සකස් වී ඇත. මුලින් දැලේ ඇති විවරවල ප්‍රමාණය විශාලව ඇති නමුත් කෙෙමන් පසුකාලීනව එය අඩුවී යයි. එසේ ගමන් ගන්නා අම්මය රසය පසුව නාලයකට එකතුවී ඇස තුළින් පිටතට ගෙනයන අතරම ශිරාවලට සම්බන්ධ වී මොළය වෙත ගමන් කර පසුව හෘදය දක්වා ගමන් කරයි. මේ ආකාරයෙන් අම්මය රසය ඇස තුළ සංසරණය වෙයි. එමෙන්ම මෙසේ සංසරණය වන අම්මය රසයට යම් බාධාවක් ඇතිවුවහොත් එයින් සිදුවන්නේ ඇසේ පීඩනය වැඩි වීමයි. එයට හේතුව නිපදවෙන අම්මය රසය පිටතට යාම අවහිරවීම නිසා ඒවා ඇස තුළ එක් රැස්වීමයි. නමුත් ඇතැම් අවස්ථාවල ඇසේ පීඩනය වැඩිවීමට බලපෑ හේතුව සොයා ගැනීමට දුෂ්කරවිය හැකිය. මෙහි ඇති භයානකම තත්ත්වය වෙන්නේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමයි. ෙමමගින් ලක්ෂ ගණනක් වූ ස්නායු ඉතා සෙමින් සෙමින් වුවද විනාශවීම ආරම්භ වෙයි. මේ තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් ඇස අනිවාර්යයෙන්ම අන්ධවෙයි.
නමුත් මෙසේ විනාශවන ස්නායු, ප්රතිකාරවලින් අනතුරුව නැවත යථාතත්ත්වයට පත්කර ගත හැකි නොවේදැයි ඔබට සිතෙන්නට පුළුවන. නැත, කිසිම ආකාරයකින් විනාශ වූ ස්නායු නැවත ප්‍රකෘතිමත් කළ හැකි ප්‍රතිකාරයක් නොවේ. මේ නිසා ග්ලෝකෝමාවට ඇති එකම පිළියම මුල් අවස්ථාවේදීම හඳුනාගෙන තවදුරටත් ස්නායු විනාශවීම පාලනය කර ගනිමින් පෙනීම ආරක්ෂා කර ගැනීම පමණි. යම් හෙයකින් ග්ලෝකෝමාව ඔබේ පෙනීම විනාශ කළහොත් එය නැවත කිසිදු ප්‍රතිකාරයකින් ගොඩනැංවිය හැකි නොවේ. එය ස්ථිර අන්ධභාවය ඇතිකරවීමට සමත් රෝගයක් බව සනාථ කිරීමට මේ අනුව වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.
තමන්ම ග්ලෝකෝමාව ඇත්දැයි පරීක්ෂා කරගන්නේ කෙසේදැයි දැන් ඔබට ගැටලුවක් මතුවිය හැකිය. මෙය ඔබ ඔබේ ශරීරයේ රුධිර පීඩනය මැන බලන ආකාරයෙන් මැන බලන්නට නොහැකිය. අනෙක් කරුණ නම් ශරීරයේ රුධිර පීඩනය ඇසේ පීඩනය හා කිසිදු සම්බන්ධයක් නොදැක්වීමයි. මෙය හදුනාගත හැකි එකම ක්‍රමය අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී මේ සඳහාම පවතින මානයක ආධාරයෙන් ඇසේ පීඩනය මැන බලවා දැනගැනීමයි. මෙය සාමාන්‍යයෙන් යමෙක් අවුරුදු හතළිහ ලැබූ පසු වසරක් පාසා සිදුකරන ලේ මුත්‍රා පරීක්ෂණ ආදියට අමතරව අඩුම තරමේ වසර දෙකකට තුනකට වතාවක්වත් සිදුකරවා ගත යුත්තකි. සාමාන්‍යයෙන් මුල් අවස්ථාවේදී යමෙකුට රෝගය හදුනාගැනීම ඉතාමත් අපහසුවනු ඇත. ග්ලෝකෝමාවට පත් රෝගියාගේ තත්ත්වය මුල් අවස්ථාවේ හඳුනාගැනීමට අපහසු වන්නේ රෝගියාට දුර හෝ ළඟ නොපෙනීමේ අඩුවීමක් සිදුනොවෙන බැවිණි. ග්ලෝකෝමා රෝගියාට පෙනීමේ අඩුවී යන්නේ දෙපස ක්ෂේත්රයන්වලිනි.මෙය වඩාත් පැහැදිලි කළහොත් යම් කිසිවක් රෝගියාට දර්ශනය වෙන්නේ අවට ඇති දෑ සමග නොවේ. මේ ආකාරයෙන් කළක් ගතවන විට බටයක් ආධාරයෙන් බලන විට යම් නියත ස්ථානයක් පෙනී ඒ දෙපස ඇති දෑ නොපෙනෙන්නාක් මෙන් වූ තත්ත්වයකට පත්වන අතර එසේ වූ විට එය නැවත ප්‍රකෘතිමත් කළ නොහැකි නමුත් සම්පූර්ණයෙන්ම නොපෙනී අන්ධභාවයට පත්වීමට ඇති ඉඩ පමණක් පාලනය කළ හැකිය. මෙය යමෙකුගේ ඇස් දෙකටම වුවද දැනිය හැකි තත්ත්වයකි. කෙසේ නමුත් පවුලේ යම් කෙනෙකුට මේ තත්ත්වය පැවතියේ නම් එය අනෙක් අයටත් ඇතිවීමේ අවදානමක් පැවතිය හැකිය. එමෙන්ම වයස අවුරුදු 40 ට වැඩි වන විටද මෙම අවදානම වැඩි වශයෙන් පවතී. කලින් ඇසට අනතුරක් සිදුවී ඇති විට හෝ තුවාලයක්, තැල්මක් ඇතිවූ අයෙක්, අධික අවිදුර දෘෂ්ථිකත්වය සහිත පුද්ගලයන්, ස්ටීරොයිඩ වර්ගයේ ඖෂධ බොහෝ කලක් භාවිත කළ අය අනිවාර්යයෙන් ඇසේ පීඩනය පරීක්ෂා කරවා ගත යුතුය.
එමෙන්ම දෙමාපියන් හෝ පවුලේ සහෝදර සහොදරියන්ගෙන් කෙනෙකුට රෝගය ඇතිවිට සහ වයස අවුරුදු 60 ට වඩා වැඩි අය, දියවැඩියා රෝගය ඇති අය, ඉතා ඝනකම් උපැස් පලඳින අය වසරකට වරක් වත් ග්ලෝකෝමාව සඳහා ඇස් පරීක්ෂා කරගැනීම වැදගත්ය. එමෙන්ම මේ රෝගය සුවකළ නොහැකි බව සැබෑ වුවද මුල් අවස්ථාවේ හඳුනාගත හොත් ඖෂධ ප්‍රතිකාර තුළින් හෝ ශල්‍යකර්මයක් මගින් සුවය කරා ළඟාවිය හැකිය. එහෙත් විනාශ වූ ස්නායු ප්‍රකෘතිමත් කළ හැකි නොවේ.
ග්ලෝකෝමාව රෝග ලක්ෂණ නොපෙන්වන රෝගයක් නමුත් ඇතැමුන්ට හිසේ වේදනාව මෙන්ම ඇස්වල වේදනාව ඇතිවිය හැකිය. නමුත් මේවා වෙනත් රෝග ලක්ෂණවලදීත් දැනෙන බැවින් නොසලකා නොසිට ඇසේ පීඩනය මැන ගැනීමට යොමුවන්න. එමෙන්ම යමක් කියැවීම සදහා නිතර නිතර කණ්නාඩි වෙනස් කරන්නට සිදුවීමත් මූලික ලක්ෂණයක් විය හැකිය.
නාලිකා රාජපක්ෂ -